කොළඹ නගරය ලාංකිකයින්ට ඇති ප්‍රධානතම නගරය වේ. රටේ ප්‍රධාන වරාය සහ ගුවන්තොට පිහිටා ඇති කොළඹ, වෙළඳාමේ මෙන්ම පරිපාලනයේද කේන්ද්‍රය වේ. මෙම කොළඹ පැහැය පසුගිය කාලයේ පැහැදිලි ලෙසම වෙනස් වුණි. අලුතින් විශාල ගොඩනැගිලි ඉදිවන්නට විය, අලුතින් උද්‍යාන වටපිටාවන් ඇති විය, නවීන විනෝදාස්වාද චිත්‍රපට ශාලා ආදිය ඇති විය. දැන් තියෙන තත්ත්වෙට වඩා තව අවුරුදු දහයකින් මොන විදියේ අලුත් දේවල් කොළඹ දී දකින්නට, අත් දකින්නට තියේවිද? අපි ඒ ගැන ටිකක් බලමු.
1. කොළඹ වරාය නගරය

Image Source – yamu.lk
චීනය විසින් ගොඩනංවන මේ වරාය නගරය අලුතින්ම සියල්ල ඉදිකරන නගරයක්. ගොඩබිම පවා ඉදිකරන්නේ මුහුදෙන් පොම්ප කළ වැලි වලින්. ඒ මත ගොඩනැගෙන නගරය ලංකාවෙන් කොළඹට ආසන්න වෙනස්ම නගරයක් වේවි කියලා තමයි ව්‍යාපෘතිය දිහා බැලුවාම පේන්නේ. මේ චීන වරාය නගරය සඳහා ඉඩම් ගොඩකිරීමේදී අපේ පෞරාණික ගෝල් ෆේස් එකෙන් බාගයක්ම වගේ නැතිවුනා. ඉස්සර කාලතුවක්කු මුහුදට එල්ල වෙලා තිබුණු තැන්වල දැන් තියෙන්නේ චීනයෙන් ගොඩනැංවූ වැලි කඳු. කොළඹ හැඩය විතරක් නෙමෙයි, ලංකාවේ සිතියම පවා වෙනස්කරන මේ මහා ඉදිකිරීම කොළඹ තුළ නව වෙනසක්, අලුත් කාල පරිච්ඡේදයක් ඇතිකරාවි.
2. කැළණිවැලි මාර්ගය ද්විත්ව මගක් කිරීම

Image Source – railwaypro.com
දකුණු අධිවේගී මාර්ගයෙන් කොට්ටාවට එන අයට තිබුණු ලොකුම ගැටළුව තමයි කොළඹ නගරයට පිවිසීම. මාතර සිට කොට්ටාවට පැය එකහමාරකින් එන්න පුලුවන් වුනත්, හොඳට ට්‍රැෆික් තියෙන වෙලාවට කොට්ටාව සිට කොළඹ කොටුවට එන්න පැය එකහමාරෙනුත් බැහැ. මේ නිසා රජය ඒකට එක් විකල්පයක් විදියට කැළණිවැලි දුම්රිය මග පුළුල් කරන්නට පටන් ගත්තා. දැනටම අවට ජනතාව අයින් කරලා වැඩ පටන් අරගෙන තියෙන කැළණිවැලි දුම්රිය මග ද්විත්ව මගක් කිරීමට තමයි හදන්නේ. පාරවල් දෙකක් දැම්මාම දැනට උදේට කොට්ටාව සිට කොළඹ පැත්තට එන කෝච්චි 7, 8ට වඩා වැඩි ගණනක් කෝච්චි එන්න පුලුවන් වේවි. ඒ වගේම මහරගම, නුගේගොඩ, පන්නිපිටිය, නාරාහේන්පිට වගේ බොහෝ ජනාකීර්ණ තැන්වල සිටින අයටත් තමුන්ගේ ගමන් අවශ්‍යතාවයන් සපුරාගන්නට පුලුවන් වේවි.
3. කොළඹ ලයිට් රේල් ව්‍යාපෘතිය

Image Source – roar.media/yamu.lk
කොටුවේ සිට කෝට්ටේ මාලිගයේ සිටි රජතුමාව බැහැදකින්නට පරංගියාව වටේ පාරකින් එක්කරං ගිය බව ඉතිහාසයේ සඳහන්. එදා වටේ ගිය ඒ ගමනටත් වඩා කාලයක් අද කාර්යාල දවසක කෝට්ටේ සිට කොටුවට එන්න යනවා කියලා හිතෙනවා ඒ පැත්තෙන් උදේම එද්දි. මේකට විකල්පයක් විදියට අලුත් ලයිට් රේල් මාර්ගයක් කෝට්ටේ බත්තරමුල්ල පැත්තේ ඉඳලා බොරැල්ල මරදාන, කොළඹ කොටුව දිහාට හැදෙන්න නියමිත වෙලා තියෙනවා. අදියර කිහිපයකින් සමන්විත ලයිට් රේල් මංමාවත් ජාලයේ පළමු අදියර විදියට තමයි මේ ලයිට් රේල් මඟ එන්නට තියෙන්නේ. ලයිට් රේල්, මෙට්‍රො රේල්, ට්රෑම් කාර් කියන්නේ ලෝකයේ නගර වලට අලුත් දෙයක් නෙමෙයි. මාර්ග වලින්, රිය වලින් ගෙනයන්නට බැරි තරම් ජනතාවක් මාර්ග පාවිච්චි කරද්දි විකල්ප විදියට මේවැනි ව්‍යාපෘති එනවා. කියන විදියට 2025 වෙද්දිවත් මේ ලයිට් රේල් මාර්ග හැදුනොත් ඇත්තටම කෝට්ටේ දෙසින් කොළඹට පිවිසෙන ජනයාට එය ලොකු පහසුවක් වේවි.
4. ද වන් කළම්බෝ

Image Source – youtube.com
කොළඹ කොටුව මෙතෙක් ජනප්‍රිය වෙලා තිබුනේ පැරණි යුරෝපීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව හැදුණු පෞරාණික ගොඩනැගිලි නිසා. ඒත් අලුතින් ඉදිවෙන ‘ද වන්’ යටතේ කොළඹ කොටුවේ අලුත් වෙනසක් දකින්නට හැකි වේවි. තට්ටු 89ක, 73ක සහ 60ක උසින් යුත් ගොඩනැගිලි තුනකින් සමන්විත ද වන්, හෝටල්, ව්‍යාපාරික අවකාශ සහ සුපිරි නිවාස වලින් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ලක් වේ. මෙය සැලසුම් කර ඉදිකරන්නේද චීන සමාගමක් වන අතර, දැනටම එහි ප්‍රධාන කුළුණේ ඉදිකිරීම් කටයුතු වලින් කොටසක් නිමවී අවසන් වී තිබේ. ඒ ආසන්නයේම තිබූ පැරණි තැපැල් ගොඩනැගිල්ලද දැන් අලුත් පෙනුමකින් නවීකරණය වී, අලුත් චීන ගොඩනැගිල්ල එනතුරු මග බලාගෙන මෙන් සිටී.
5. අලුත් කැළණි පාලම

Image Source – lankadesha.com
පාරු පාලමින් කොළඹට ගැල් පේළිය සැපත් වුනා…
ගෑස්පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුනා…
කියා සුනිල් එදිරිසිංහ ගායනා කරන්නේ 20වන සියවසේ මුල් භාගයේ අවධියක් ගැන විය යුතුය. ඒ කාලයේ කොළඹ සිටින අය කැළණි ගඟ තරණය කළ යුතුව තිබුනේ පාරු පාලමකින්ය. පසුකලෙක කැළණි ගඟ හරහා පාලම් 5ක් පමණ කොළඹ දිසාවේ ඉදිවී තිබේ. අලුත් අධිවේගී මාර්ග කොළඹට ඇතුල් කරන්නට පැරණි නුවර කොළඹ පාරේ තිබෙන කැළණි පාලම ආසන්නයෙන්ම තවත් අලුත් පාලමක් ඉදිවේ. එය විශාල ව්‍යාපෘතියකි. එල්ලෙන කේබල් මතින් සවිමත් වූ විශාලතම පාලමක් වෙන මෙම නව පාලම මංතීරු හතරකින් යුක්තය. වඩාත් උසින් ඉදිවෙන මෙම නව කැළණි පාලම හරහා වරායේ කන්ටේනර් බහාලුම් ගෙන යෑම මෙන්ම බේස්ලයින් මාවත සහ කටුනායක අධිවේගී මග කෙලින්ම සම්බන්ධ කිරීම සිදුවේ. මේ අනුව බේස්ලයින් මාවතට ආසන්නව තිබූ පරමාණුක ශක්ති අධිකාරිය සහ ඔරුගොඩවත්ත මෝටර් කාර්මික ආයතනය වෙනත් තැන්වල ඉදිකර, ඒ අවකාශය නව පාලම් සහ මාර්ග දියුණු කිරීම් වෙනුවෙන් පාවිච්චි වනු ඇත.
6. අලුත් අලුත් දුම්රිය

Image Source – silumina.lk
ඈත දුරබැහැර පළාතකින් කොළඹ එන අයෙක්ට ලැබිය හැකි තවත් එක් අත්දැකීමක් නම් අපේ සියවස් එකහමාරකට වඩා පැරණි වෛර්ණ දුම්රිය සේවාවයි. විවිධ දුම්රිය එන්ජින්, විවිධ දුම්රිය බලවේග කට්ටල ඇතුළත් අපේ දුම්රිය සේවය විවිධත්වයෙන් යුත් දුම්රිය රැසක් ඇති දුම්රිය සේවාවකි. එහි එන්ජින්ම වර්ග 20කට වඩා තිබේ. මේ දුම්රිය පද්ධතියේ හැඩය ඉදිරියේදී වෙනස් වීමට නියමිතය. ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් වෙතින් එන්ජින් 12ක් එන්නට නියමිත අතර තවත් දුම්රිය මැදිරි රැසක්ද ඉන්දියාවෙන් සහ චීනයෙන් ලංකාවට ඇනවුම් කර තිබේ. ඒ අනුව අපිට දැනට දකින්නට තිබෙන දුම්රිය වලට වඩා වෙනස් නවීන හැඩහුරුකමකින් යුත් අලුත් දුම්රිය රැසක් ඉදිරියේදී මරදාන, කොටුව ආදී දුම්රිය ස්ථානයන් හරහා ගමන් කරනු දකින්නට හැකි වනු ඇත.
7. මැනිං මාකට්, මාළු මාකට් නැති පිටකොටුවක්

Image Source – fr.dreamstime.com
මෙයින් සාන්ත ජෝන් මාළු වෙළඳපොල දැන් කලින් තිබුන කොළඹ 11 හෙට්ටි වීදිය ආසන්නයේ නැත. එතැන මාළු කුණු ගඳ ගසමින් තිබූ අප්‍රසන්න වටපිටාව වෙනුවට අද රත්රන් බඩු වෙළඳපොලක් ඉදිවී තිබේ. මාළු වෙළඳපොල වඩාත් ක්‍රමවත්ව පෑලියගොඩ දෙසට ගොස් තිබේ. කොළඹ නගරයේ ජනාකීර්ණම ස්ථානය වෙන පිටකොටුව පෙදෙසේ මැනිං මාර්කට් එකද එවැනි කාලයේ තාලයට නොගැළපෙන ඉතා වටිනා භූමි භාගයක්. ඒ මැනිං මාර්කට් එකද ඉදිරියේදී තවත් ස්ථානයකට යොමු වීමට නියමිත යැයි තොරතුරු වාර්තා වලින් දැක්වේ.
කොළඹට කිරි ගමට කැකිරි යයි කීවද කොළඹ ජීවත් වන ජනයාටද විශාල ව්‍යාපාරිකයින්ටද පොදු වූ ගැටලු තිබේ. ව්‍යාපාරික මට්ටමින් සැලකූ කළ ඔවුන්ට අවශ්‍ය වරාය නගර, ද වන් වැනි අවකාශ නිර්මාණය මෙන්ම සුවපහසු ප්‍රවාහන ක්‍රම ප්‍රචලිත වීමද ව්‍යාපාරිකයින් රටට ආකර්ෂණය වීමට හේතු වේ. ව්‍යාපාරිකයින්, ආයෝජකයින් කැමති, ඔවුන්ට රිසි සිරියෙන් යුතු වටපිටාවක් ඇතිවීම හරහා අනේක ජනතාවට රැකියා සොයාගත හැකි, තිබෙන රැකියාවට වැඩි මිලක් නියම විය හැකි වටපිටාවක් ඉබේම නිර්මාණය වේ. පැරණි වාමාංශික පොත් වල තිබෙන අධිරාජ්‍යවාදී සූරාකෑම් සඳහා සිදුකරන ඊනියා කොන්ක්‍රීට් සංවර්ධනය යන පටු රාමුවෙන් සියලුම ඉදිකිරීම් දැකිය යුතු නැත. මේ නව ඉදිකිරීම්, නිමැවුම් මගින් අනාගත ලෝකයට කොළඹ නගරය විවර කරදීමට තැනීම අප සියලු දෙනා සතුටු විය යුතු කාරණයකි.
Cover Image Source – uda.gov.lk/skyscrapercity.com
Leave a Reply