ලංකාවේ බොහෝ දේ රජයන් වෙනස් වීම සමඟ අඩුවන්නේ නැත. සිදුවන්නේ වැඩිවීම පමණි. අපි ආවාම අඩුකරනවා යැයි කීවද එසේ අඩුවන්නේ ස්වල්ප කාලයකට පමණි. නැවතත් යථා තත්ත්වයට පත් වී පෙර අන් කවරදාකවත් නොතිබූ ආකාරයට මිල ඉහළ යෑමට පටන් ගනී. එසේ අපේ රජයන්හි වැඩි මිස අඩුනොවන දේ මොනවාද? අපි ටිකක් සොයාබලමු.
1. තෙල් ගෑස් මිල
“බලන්න ලෝක වෙළඳපොලේ තෙල් මිල. ලංකාවේ කීයද? මේ කාලේ තෙල් මිල අඩුවෙලා. ඒත් ජනතාවට ඒ සහනය නෑ…” කියා විපක්ෂයේ සිටියදී කියන අයම ආණ්ඩු පක්ෂයට ආවිට අනෙක් පස පෙරලෙති. “ලෝක වෙළඳපොලේ තෙල් මිල අපිට පාලනය කරන්න බැරිබව මේ පොඩි ළමයි පවා දන්න සත්‍යයක්. ලෝකේ ඇතිවෙලා තියෙන යුධ වාතාවරණ නිසා තෙල් මිල එන්න එන්නම ඉහළ ගිහින්. ඉතිං අපිට ඉතාම අකමැත්තෙන් වුනත් මේ විදියට තෙල් මිල වැඩිකරන්න සිද්දවුනා” යැයි ඔවුන් ආණ්ඩු පක්ෂයට පැමිණ තෙල් මිල වැඩිවන විට කියති.
2. බඩු මිල
රථවාහනවලින් පාරවල් බේරාගැනීමට රජය වාහන වලට ටැක්ස් ගසති. විටෙක අල ගොවියා රැක ගන්නට යැයි කියමින් අල වලටත්, ළූණු ගොවියා රැකගන්නට කියමින් ළූණු වලටත්, වී ගොවියා රැක ගන්නට කියමින් සහල් වලටත් රජය අමතර බදු එකතු කර තිබේ. ඒ අනුව විදෙස් වලින් අඩු මිලට ගෙන්වා ගැනීමට හැකි ආහාර ද්‍රව්‍ය වලට පවා දේශීය ගොවියා රැකගන්නට යැයි කියමින් බදු වැඩිකරනු ලැබේ. එහෙත් සුදු ළූණු, පරිප්පු, හාල්මැස්සෝ වැනි ලංකාවේ ගොවීන් වගා නොකරන බඩු වලට පවා ඇතැම් විට බදු එකතු කරති. එවිට රැකගන්නේ කිනම් ගොවියාදැයි මහජනයාට ඇත්තේ ප්‍රශ්නයකි. කෙසේ වෙතත් රුපියලේ අගය අඩුවනවා සේම බඩු මිල වැඩිවීමත් මෑතකාලීන ලාංකික රජයන්හි සාමාන්‍ය තත්ත්වයකි.
3. මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වැටුප්
මන්ත්‍රී වැටුප් වැඩිකරන්නට එක් පාර්ශවයක් කටයුතු කරන අතර රජයේම අනෙක් පාර්ශවයේ ලොකු තැන විසින් එය වහාම නවත්වන්නට අණ දෙනු ලැබේ. එහෙත් කාටත් හොර රහසේ වැඩිවෙන දීමනා ආදිය වැඩිකරගන්නට කාගෙන්වත් තහනමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැත. මන්ත්‍රීවරුන්ට වැටුප් වලට අමතරව වරප්‍රසාද රැසකි. මන්ත්‍රීවරුන් තනාගන්නා විශාල කාර්යාල, භාවිතා කරන සුපිරි යාන වාහන සහ මන්ත්‍රී වරප්‍රසාද හරහා ඔවුන් ලබාගන්නා විදෙස් සංචාර දුටුවිට මන්ත්‍රී පට්ටම යනු මිහිපිට දිවියලෝකේ ගියා වැනි තනතුරකැයි හුදී මහජනයාට සිතේ.
4. වංචා දූෂණ
අසුවල් ආණ්ඩුවෙන් දූෂණ වුනාය, වංචා වුනාය, ඒ ලොක්කන්ට ප්ලේන් තියෙනවාය, ඩුබායි ගෙවල් තියෙනවාය, රට ගිණුම් වල සල්ලි තියෙනවාය, අපි ආවොත් අල්ලනවාය කියා පිරිසක් බලයට එති. ඉන් පසු ඒ එන අය පෙර අයගේ වැරදි සෙවීම පසෙකලා ඔවුන් වංචා දූෂණ වැඩ පටන් ගනිති. වංචාව දූෂණය නවතන්නට නම් මුලින්ම බලය ඇති අය සිය ආදායම් වියදම් ආදිය විවෘත කළ යුතුය. එහෙත් එසේ වන පාටක් නැත. පසුගිය රජයන්හි ඇතැම් ලොකු තැන්වල දූ පුතුන් තවමත් කිසිදු රැකියාවක් කරන්නේ නැතිව බොහොම සනීපෙන් විදෙස් සංචාර වල යති. ඔවුහු කොළඹ ඉහළ පෙළේ හෝටල් වල සාද වලට යති. ඒ මුදල් ඔවුන්ගේ පිනට පහළ වූවා විය නොහැකිය. මේ වංචා දූෂණ ෆයිල් ප්‍රමාණය එන්න එන්නම වැඩිවනවා මිස අඩුවෙන ආකාරයක් නොපෙනේ.
5. උද්ඝෝෂණ සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්
වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්නා සංගම් වලට වඩා ලංකාවේ ඇතැම් ප්‍රකට ආයතන වල ඇත්තේ වෘත්තිය කරන පිරිසගේ දේශපාලන සංගම් වේ. ඔවුහු සිය රජයක් පැමිණි කල වාසි යෝජනා ආදිය හොර පාරෙන් අනුමත කරගන්නා අතර, විරුද්ධ පක්ෂ ආ කල වී අයි ලෙනින්, ෆිදෙල් කැස්ත්‍රෝ එකවර ආවේස වුනා සේ කම්කරු අරගල හැකි සෑම විටම පටන් ගනී. වැටුප් විෂමතා, වැටුප් වැඩිවීම්, අතිකාල ආදී බරපතල ඉල්ලීම් ඉල්ලන වෘත්තිය සමිති ක්‍රියාකාරකම් කවර රජයක් වුවද මුහුණදිය යුතු තත්ත්වයකි. එහෙත් රජය තරමක් ප්‍රබල මර්ධනකාරී ස්වභාවයක් ගන්නා විට, ඇතැම් වෘත්තිය සමිති ඉබේම තරමක් හැකිළුණු ස්වභාවයකට පත්වෙන බව පසුගිය කාලේදී අපිට පෙනුණි.
6. බස් ගාස්තු
එදා 1990 ගණන්වල මුල් කාලයේ සිටි අයට බස් ගාස්තුව එදා තිබූ තත්ත්වයෙන් අද වනවිට පස් හය ගුණයක් වැඩිවී ඇති බව මතකයට නගාගත හැකිය. එනම් දශක තුනක කාලයක් තුළ ඉතා වේගයෙන් බස් ගාස්තු ඉහළ ගොස් තිබේ. බස් ගාස්තු නිතර ඉහළ ගියත් අපිට ඇති ගොඩක් බස් තවමත් ලොරි චැසියට බොඩිය ගැසූ මූලික මට්ටමේ බස් රිය වේ. ගාස්තු වැඩිවීම ගැන හැමෝම අදහස් දැක්වූවත් බස් සේවාවේ තත්ත්වය ගැන කතාකරන්නට ඉන්නේ ඉඳහිට අයෙක් දෙන්නෙක් පමණි.
7. කැලෑ කැපීම
එදා යටත්විජිත සමයේ වගාවන් සඳහා ලංකාව එලිකරගෙන කරගෙන යනවිට එවකට රට පාලනය කළ සුද්දෝ රක්ෂිත සහ වගා නොකළ යුතු යැයි, එලි නොකළ යුතු යැයි කොටස් ඉතුරු කළෝය. ඒ ඇතැම් තැන්හි වගා කටයුතු කළ හැකි වුවත්, ජල පෝෂක ප්‍රදේශ සහ ආරක්ෂිත පළාත් වශයෙන් ඔවුහු වනය වෙන්කළෝය. එහෙත් අද කවර රජයක වුවද ප්‍රබලයෝ කිහිප දෙනෙකු වනයට කෙසේ වෙතත් වනයේ ඇති විශාල ගස් වලට ආදරය කරති. ඒ වනාන්තරයේ තිබෙන ඉඩම් වලට ආදරේ කරති. එය වැඩිවනවා මිස අඩුවීමක් නම් නොපෙනේ.
8. කුණු ප්‍රශ්නය
කුණු කඳු කඩා වැටුනත් තවමත් අපේ කුණු ප්‍රශ්නයට ඇත්තේ ප්‍රසන්ටේශන් විසඳුම පමණි. ගම්පහ දිස්ත්‍රික්කය වැනි කොළඹට නුදුරු පළාතක් ගත්තද තත්ත්වය එසේමය. කසල බැහැර කිරීමේ නිවැරදි ක්‍රමවේදයක් නැත. ගොඩ කිරීමට පහත් බිම් ඉවර වූ පසු ඒ කසල තොග කඳු වශයෙන් ගොඩගැසී අවට පරිසරයටම වදයක් වේ. පිරිස් මේ දිනවල ක්‍රිකට් තරඟ, පෙරහැර, මූදු වෙරළ ආදිය කණ්ඩායම් වශයෙන් පිරිසිදු කළත්, රජය පාර්ශවයෙන් ඒ එකතුකරන කුණු නිසි පරිදි බැහැර කරන සාර්ථක ක්‍රම සකසා ඇත්තේ අඩුවෙනි. අපේ තැන ලස්සන කරන්නට එකතු කරන කුණු තවත් ලස්සන තැනක් අවලස්සන කිරීමට යොදාගැනීම අපේ කුණු එකතුකිරීමේ ක්‍රියාදාමවලදී සිදු වේ.
9. මිනීමැරුම්, අපරාධ සහ ස්ත්‍රී දූෂණ
සමාජයේ ඇති නැති පරතරය වැඩිවීම අපරාධ වලට හොඳ අවකාශයකි. යුරෝපා රටවල මෙන්ම අපිට යාබද භූතානයේද මිනිසුන් සතුටින් සිටීම රටට වටිනාකමක් යැයි දැක්වේ. එනම් ඇති නැති පරතරය අඩුකොට මිනිසුන්ට ඇතිවන කලකිරීම් අඩු වූ විට ඒ සමානව අපරාධ අඩුවෙයි. අප රට ගතහොත් බොහෝ පාතාල නායකයන් බිහිවන්නට දේශපාලනය හරහා දිරිය ලැබේ. කවර රජයක් පැමිණියද මෙම අපරාධ අඩු කිරීමට සාර්ථක උපාය පාවිච්චි කරන බවක් නොපෙනේ. සැබැවින්ම මරණ දණ්ඩනය වැනි යෝජනා සමාජය කුල්මත් කිරීමට සමත් වුවද, මරණ දඬුවම දෙන රටවල අපරාධ, නොදෙන රටවල් වලට සාපේක්ෂව ලොකු අඩුවක් පෙන්නුම් නොකරයි.
10. ඉටු නොවන පොරොන්දු
“අපි දැන් ආයෝජකයන් ගේන්න ඔක්කොම සැලැස්ම හදලා තියෙන්නේ. ඉතාම ස්වල්ප කාලෙකින් ආයෝජකයෝ ඇවිල්ල අපේ රටේ තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය, ජනතාවගේ දුප්පත්කම ඔක්කෝම විසඳෙනවා.” යැයි කීවද ඒ එනවාය කියන ආයෝජකයෝ කිසිදාක එන පාටක් නැත. විශාල ව්‍යාපෘති අවසානයේ අහවල් ප්‍රතිලාබ ජනයාට ලැබෙනවාය කිවුවත්, වසර ගණනාවකට පසු නැවත ඒ පුවත් බැලූවිට ඒ තැන්වල සිදුව ඇත්තේ ව්‍යාපෘතිය පමණි. ජනයාට ලැබුණු දියුණුවක් නැත. මෙසේ වසරකට එක් එක් දේශපාලක පක්ෂ කණ්ඩායම් සහ දේශපාලකයින් දෙන පොරොන්දු සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙනවා මිසක අඩුවීමක් නම් නොපෙනේ.
මේ දේවල් වැඩිවුනත් මහාමාර්ග වල ඉඩකඩ, පොදු සේවාවන් වල තත්ත්වය, රාජ්‍ය සේවයේ තත්ත්වය ආදී රජයෙන් සැපයෙන සේවාවන් වල නම් විශාල වැඩිදියුණුවක් පේන්නට නැත. යන්ත්‍රවලින් බිල්, ටිකට් නිකුත් කිරීම ලොවට ඇවිත් දශක කිහිපයක් ගෙවී ගියත් අපේ දුම්රිය සේවාව ඉපැරණි කාඩ් බෝඩ් කෑලි රැසක් පෝරුවක තබාගෙන, එක් ටිකට් පතක් දීමට විනාඩියක් පමණ වැයකර ටිකට් නිකුත් කිරීම සිදුකරයි. අපි නිරන්තරයෙන් වැඩිපුර බදු ගෙවමින් රජයේ දෑත් ශක්තිමත් කළද රජයෙන් අපිට වැඩි විශාල ගුණාත්මක සේවයක් නම් මේ කල්පයේදී ලැබෙන බවක් නොපෙනේ.
Cover Image Source – adsoftheworld.com
Leave a Reply