රට යෑම ගොඩක් ලේසි දෙයක් වීමත් එක්ක රැකියාවලට ලංකා දිවයිනෙන් නික්ම යන පිරිස වැඩි වුනා. ඔසී, නවසීලන්ත, ඉතාලි සහ යුරෝපා රටවලට ගියපු ඇතැම් අය ඒ රටවලම පදිංචි වුනා. කොහොම වුනත් ලංකාවේ අවුරුදු විස්සක් තිහක් ඉඳලා ඒ රටවලට ගිහින් ඒ රටවල භාෂාව හුරු වුනාට මිනිසුන් විදියට ඔවුන් බොහෝදෙනා ලාංකිකයින්. ලංකාවේ විදියට උයන්න පිහන්න, ලංකාවේ විදියට ආගම් ආදිය සලකන්න වගේම ලංකාවේ විදියට ජීවත් වෙන්නත් එයාල ඒ රටවලදීත් ආසයි. ඉතිං ලංකාවෙන් විදෙස් රටවලට ගියා කියලා අපේ කට්ටියගේ වෙනස් නොවන දේවල් මොනවද? අපි ටිකක් ඒ ගැන බලමු.
1. කේන්දර බැලීම
සති අන්ත පත්තරයක දැන්වීම් තීරු බලාගෙන යනවිට යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් විවිධ දේවල් කරදෙන අයගේ දැන්වීම් දකින්නට තියෙනවා. මේ යන්ත්‍ර මන්ත්‍ර කේන්දර ආදී ගුප්ත දේවල් කරන අය දැන් පිටරට ඉන්න ලංකාවේ අයටත් සේවාවන් සපයනවා. ඉතාලි, ඔසී වැනි දුර රටවලටත් ඒ යන්ත්‍ර යවන්න ක්‍රම සහ විදි තියෙනවා. වශී ගුරුකම් ආදිය ලංකාවේ සිට ඒ රටවල සිටින අයට බලපාන පරිදි කරන්නත් හැකියාව තියෙනවා. තරමක් මිල මුදල් තියෙන සමහර අය ලංකාවෙන් මෙහෙම කේන්දර බලන ගුරුන්, මන්ත්‍රාචාර්යවරුන් ගෙන්වාගෙන වඩාත් සුපිරි සේවාවන් ලබාගන්නවා.
2. එකතු වී පාටි දමා, වලි දමා ගැනීම
ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන් සහ නළු නිලියන්ට ඇතැම් වෙලාවට ලංකාවටත් වඩා කොරියාව, කටාර්, ඩුබායි, ඇමරිකා, ලන්ඩන්, සිඩ්නි ආදී ලෝකයේ නගර වල ප්‍රසංග සෙට් වෙනවා. මේ ප්‍රසංග වලට අපේ අය එකතු වෙලා හොඳට විනෝද වෙලා යනවා. ඒත් ඉතාලියේ, කොරියාවේ සහ මැදපෙරදිග මේ විදියට තියෙන ප්‍රසංග වලදී පොඩි පොඩි වලි ඇතිවෙනවා. ඉතාලියේ නම් මේ ශෝ වල වලි ඇතිවීම සාමාන්‍ය වෙලා. ලංකාවෙදි ප්‍රසිද්ධ ප්‍රසංග වේදිකාවේදී රණ්ඩු දබර ඇතිවෙන ආකාරයටම ඒ රට ගිය ඇත්තනුත් වලි දමාගෙන කා බීගෙන නටන්නේ ඇත්තටම අපේ උරුමය ජාත්‍යන්තරයට ගෙන යෑමේ අදහසින්ද කියලාත් වෙලාවකට හිතෙනවා.
3. ආගමික මධ්‍යස්ථාන ඇතිකර ඒවා නඩත්තු කිරීම
මව් රටින් ටිකෙන් ටික ඈත් වුනාට පස්සේ මව් රටේ තිබෙන දේවල් නැවත ඇතිකරගන්නට අපේ අයට ඕනි වෙනවා. ඒ අතර ආගම විශේෂයි. පංසල්, පල්ලි, කෝවිල් ආදිය ඇතැම් විට ඒ රටවල තිබුනත් අපේ අයට ඕනා විදියට නැහැ. ඉතිං මේ පංසල් ආදිය නැවත ඇතිකරගෙන, ඒ රටේ සිටින සිංහල පිරිස් සතියකට වතාවක් දෙකක් එකිනෙකා හමුවෙනවා. ඇතැම් තැනක ලංකාවේ සිට පූජා බඩු, නැටුම් උපාංග ගෙන්වාගෙන නර්තන කණ්ඩායම් සහිත පෙරහැර පවත්වන අවස්ථාවනුත් තියෙනවා. මේ ඇතැම් තැන් සිතට සහනයක් ගැනීමේ අරමුණින් තිබුනත්, ඒවායේද ලංකාවේ පරිදි පංසල් පංසල් අතර, ගුරු හිමිවරුන් ගෝල හිමිවරුන් අතර, හිමිවරුන් සහ දායක සභාවන් අතර ගැටුම් ඇතිවෙන වෙලාවල්ද තියෙනවා.
4. පවුල් අවුල්
ලංකාවෙන් එක්කෝ ගැහැණිය නැතිනම් පුරුෂයා පමණක් විදෙස් ගත වීම කොහොමත් පවුල් ගැටලු ඇතිවන්නට හේතු වෙනවා. එහෙත් දෙදෙනාම විදෙස් ගත වුවත් විදේශයන්හිදි නොබෝ කලකින් පවුල් සංස්ථා බිඳ වැටී විසිරෙන අවස්ථා ලංකාවේ පරිදිම වාර්තා වෙනවා. ඇතැම්විට ලංකාවේ අයම සාද වලදී, ප්‍රියසම්භාෂණ වලදී හමුවී, ඒ සම්බන්ධකම් ගොඩක් තියුණු වී පවුල් බිඳවැටෙන්නට ගිය අවස්ථා විදෙස් හි ජීවත් වෙන ලංකාවේ ප්‍රජාවන්ට අලුත් දේවල් නෙමෙයි.
5. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්ටි, රූපවාහිනී බැලීම
ලංකාවේ විකාශය වෙන නාට්‍ය ගොඩක් දැන් කෙලින්ම අන්තර්ජාලයේ යූටියුබ් එකේ බලන්න පුලුවන්. ලංකාවේ කූඹියෝ විකාශය වෙද්දි ඒ එක්කම යූටියුබ් එකේ යනවා. ඒ නිසා විදෙස්ගත අයත් එදා එපිසෝඩ් එක රිලීස් වෙනකල් බලාගෙන ඉන්නවා. ඒ රටවල ටෙලිනාට්‍ය සහ සිනමාවන් තිබුනත්, කොහේ ගියත් අපේ ටේස්ට් එකට හරියන කතා සෙට් එක බලන්න වෙන්නේ අපේ ටීවී චැනල් වලින්. ඇතැම්විට ලංකාවේ සිටියදී කතා බලන්නට උනන්දු නැතිව සිටි අය පවා විදෙස් ගත වූ විට නැවත ලංකාවේ කතා වලට, ලංකාවේ රූපවාහිනී නාලිකාවලට හුරුපුරුදු වෙනවා.
6. ලංකාවේ වෙසෙන අයටත් වඩා දේශපාලනය ගැන උනන්දු වීම
ප්‍රධාන පක්ෂ දෙකට පමණක් නොවේ, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය හෙළ උරුමය ආදී පක්ෂ වලටත් විදෙස් ශාඛා තියෙනවා. ඇතැම් පක්ෂ වලට අනුගාමිකයින් සොයාගන්නට අපහසු වූ විට එකම පුද්ගලයාම නිදහස් පක්ෂයේ රැස්වීම් වලටත් එක්සත් ජාතික පක්ෂ රැස්වීම් වලටත් සහභාගි වෙන අවස්ථා තියෙනවා. කොහොම වුනත් ලංකාවේ ඉන්න අයට වඩා විදෙස්ගත අය ලංකාවේ දේශපාලනය ගැන හොඳට අවදියෙන් ඉන්නවා. ඒ ඒ මැති ඇමතිතුමා කරන්නේ මොකද්ද? ඒ ඒ පක්ෂයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ මොනවාද කියලා අන්තර්ජාලයෙන් දැනගන්නා ඔවුන් ලංකාවේ දේශපාලන විවාද බලන්නත් අමතක කරන්නෙ නැහැ.
7. ලංකාවේ කෑම බීම වලට ඇති පෙරේතකම
රට ගිහින් කොච්චර දේවල් කන්නට ලැබුනත් ලංකාවේ අපේ රහට බත් ටිකක් කන්න ලැබෙන එක තරම් ඒ කිසිම විශේෂ කෑමක් හරියන්නේ නැහැ. විවිධ කෑම වර්ග වුනත් ටික දවසක් කද්දි අපේ ලංකාවේ ගෙදර උදේ පාන්දර අම්මා හදන හොද්දක්, පොල්සම්බෝලයක්, මාලු ඇඹුල් තියලක් කන්න තියේනම් කියලා හිතෙනවා. ඉතාලිය, ඔසී, ඇමරිකා, යුරෝප් වගේම කොරියා ඉන්න අයත් ලංකාවට යන කෙනෙක්ට කියලා තමුන් ආස කරන කෑම බීම ටිකක් ලංකාවෙන් ගෙන්නාගන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඉඳහිට පංසල්, දේවාල, පල්ලි ආදියේ ලංකාවේ අය එකට එකතු වුනාමත් යාන්තමින් හරි ලංකාවේ ක්‍රමයට හදාගනිපු මොනාහරි කාලා බඩ පුරවාගන්න එකත් විදෙස්ගත ලංකාවේ අයගේ පුරුද්දක්.
ලංකාවෙන් පවුලම ගියත්, එහෙදි ළමුන් ලැබිලා ඔවුන් ලොකු වෙද්දි නම් බොහෝවිට ඔවුන් ඒ රටේ තිබෙන සංස්කෘතියට, සමාජයට කෙලින්ම අනුගත වෙනවා. ඒත් ලංකාවේ අවුරුදු විසිතිස් ගාණක් ඉඳලා ගියපු අය ගොඩක් වෙලාවට ලංකාවත් එක්ක තමුන්ගේ බැඳීම තියාගන්න කැමතියි. මේක ලංකාවෙ අයට විතරක් තියෙන දෙයක් නෙමෙයි, යුරෝපේ සුද්දෙක් ලංකාවට රස්සාවකට ආවත් එයාලත් කැමතියි ඒ රටේ සංස්කෘතියෙ විදියට ලංකාවෙ ජීවත් වෙන්න. ඉතිං ලංකාවේ වගේ පවුල් බැඳීම්, දේශපාලනික බැඳීම් එක්ක ජීවත් වෙන අය දියුණු රටකට ගියත් දියුණු රටේ සතුටින් ඉන්නවා වගේම, ලංකාව දියුණු කිරීම ගැනත් ලොකු හීනයක් එයාල දකිනවා. ඇතැම්විට කවදාවත් ලංකාව සංවර්ධිත වෙන්නේ නැතත්, ලංකාවත් ඒ දියුණු රටවල් වගේ සංවර්ධනය වෙලා නැවත ලංකාවට එන්න වාසනාව ලැබේවි කියලා ලංකාවෙන් විදෙස් ගතවෙලා ඉන්න අයගේ හිතේ කොනක හරි තියෙනවා ඇති.
Cover Image Source – thuppahi.wordpress.com
Leave a Reply