කාන්තාවන්ට නිවසේදීම ආරම්භ කළ හැකි ස්වයං රැකියා 7ක්

home business ideas for women

“ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ මොනා හරි රස්සාවක් නැද්ද අනේ කරන්න?” ගොඩක් නිවසේ සිටින කාන්තාවන්ට තිබෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි ඒ. සුදුසුකම් ගොඩක් තිබුනත්, කාර්යාලයක තිබෙන සුවපහසු රක්ෂාවක් ලබාගන්නට අපහසුයි. ඒ ලබාගත්තා වුනත් ගමනාගමන අපහසුකම්, ගෙදර දොරේ වැඩකටයුතු ආදිය නිසා රැකියාවේ නිරත වීම ගැටලුවක් වෙනවා. ඉතිං මේ කාන්තාවන්ට නිවසේදිම පටන් අරගන්න පුලුවන් ස්වයං රැකියා තියෙනවා. මුලින්ම විශාල ණය මුදලක් අරගෙන, විශාල ව්‍යාපෘති ලෙස නොව, කුඩාවට පටන් අරගෙන කරන්න පුලුවන් මේ දේවල් ඔයාලටත් අලුත් අත්දැකීමක් එකතු කරාවි.

 

1. රෙදි මැසීම, සාරි බ්ලවුස් මැසීම

home business ideas for women

Source – youtube.com

අලුතින් ලස්සන ඇඳුමක් ගන්නට කොළඹ සුපිරි පෙළේ ශොපින් මෝල් එකකට ගියොත් අපේ ඇස් උඩ යන ගණන් තමයි ඒ ඇඳුම් ටැග් වල තියෙන්නේ. ටිකක් අඩුවට ඇඳුම් තිබුනත් ඒවායේ රෙදි වගේම මැහුනුත් ඒ තරම් කොලිටියට නැහැ. අපිට දකින හැම ඇඳුමක්ම, ඩිසයින් එකක්ම මහන්න බැහැ. ඒත් ලස්සන ගවුමක්, බ්ලවුස් එකක්, අලුත් මාදිලියේ සායක් නිවසේදීම මහන්න පුුරුදු වුනොත් අපිට ඕනි ඇඳුම් පැළඳුම් අපිට ඕනි විදියට ඩිසයින් කරගෙන මහගන්න පුලුවනි. ටික කාලයක් පුරුදු පුහුණු වුනොත් ඉන් පස්සේ සාරි බ්ලවුස්, අලුතින් එන ෆැෂන් අනුවත් මහන්න හැකියාව ලැබෙනවා. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කාන්තාවට ගෙදර ගතකරන කාලයේ කීයක් හරි හොයාගන්න මේ මැහුම් වැඩ පාවිච්චි කරන්නත් පුලුවන්.

 

2. ගෙවතු වගාව, මල් වගාව

home business ideas for women

Source – msshomes.com

ලස්සන මල් තියෙන වටපිටාවක ඉන්න අපි හැමෝම ආසයි. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එකවගේ ඉඩ කඩ නැහැ. යම්තාක් දුරකට වැවුණු මල් පෝච්චියක් සෑහෙන මුදලකට අලෙවි කරන්නට පුලුවන් හොඳ වෙළඳපොලක් හදාගත්තොත්. අද අන්තර්ජාලයෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන හරහා වගා කටයුතු පිළිබඳ දැනුම ලෙහෙසියෙන් ගන්නට පුලුවන්. මල් ඇට, කුඩා මල් පැල වගේම මල් පෝච්චි විදියටත් මල් පැල විකිණීමේ ව්‍යාපාරය කරන්න හැකියි. තරමක විශාල ඉඩකඩක් වත්තේ තිබෙනවා නම් ගෙවතු වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. බණ්ඩක්කා ගස් පනහක් හැටක් හිටවගෙන සාත්තු කරලා, ටික කලකින් වැඩිපුර හැදුණු බණ්ඩක්කා ටික කඩේකට ගෙනිහින් දීලා කීයක් හරි ගන්න කාන්තාවන් ලැජ්ජ වෙන්න ඕනා නැහැ.

 

3. විවිධ ආකාරයේ අත්කම් නිර්මාණ

home business ideas for women

Source – timeout.com

ලස්සන දේට හැමෝම කැමතියි. ලස්සන දේවල් තෑගි දෙන්න, ලස්සන සිහිවටන තියාගන්න පෙම්වතුන් වගේම වැඩිහිටි බොහෝ පිරිසුත් ආශා කරනවා. මේ ලස්සන ලස්සන අත්කම් නිර්මාණ ෆේස්බුක් වගේ දාලා පොඩියට විකුණන අයත් ඉන්නවා. එයාල පොඩියට අයිටම් කිහිපයක් හදාගෙන, ඒවායේ ෆොටෝ එෆ් බී දානවා. ඉන් පස්සේ ඒවා ගන්න කැමති අය යාලුවෝ අතරින්ම එකතු වෙනවා. මේවා හදන ආකාරය සමහරුන්ට නම් ඉබේම ඇඟේ තියෙනවා. කුඩා සෝමසිරි බෝනික්කන් සෑදීම, තොප්පි සකස් කිරීම ආදිය නම් කුඩා වැඩමුළු සහ පාඨමාලා විදියට උගන්වන තැනුත් තියෙනවා.

 

4. අන්තර්ජාලයෙන් පාට් ටයිම් ජොබ්ස්

home business ideas for women

Source – gsb.stanford.edu

අන්තර්ජාලය කියන්නේ ෆේස්බුක් හා වෙනත් සෝෂල් මීඩියා එක්ක එක්කහු වෙලා යාලුවෝ එක්ක කාලේ කන දෙයක්ම නෙමෙයි. අන්තර්ජාලය හරහා මුදල් උපයන විවිධ ක්‍රම තියෙනවා. සමහරු කියන තරම් මාසෙකට ලක්ෂ ගණන්, කෝටි ගණන් නම් හම්බකරගන්න හැකිද කියන එක සැකයි. ඒත් තමුන්ට යම් ස්කිල් එකක් තියෙනවා නම්, උදාහරණ විදියට ලිපි සකස් කරන වැඩ, ග්‍රැෆික් සහ වෙබ් ඩිසයින්, ටයිප් සෙටිං ආදිය කරන්න යම් දක්ෂතාවයක් තියෙනවා නම්, අන්තර්ජාලයේ ෆ්‍රී ලාන්ස් වැඩ හරහා මුදල් උපයන්නට හැකියි.

 

5. රසකැවිලි සෑදීම, ආහාර නිපදවීම

home business ideas for women

Source – videoblocks.com

ලංකාවේ රසට උයන නමගිය කෝකියන් බෙහොම දෙනෙක් පිරිමි අය වුනාට බහුතරයක් නිවෙස් වල කෑම උයන්නේ ගෘහණිය. මේ ආහාර සැකසීම කියන්නේ හැමෝම ආසා කරන දෙයක් නෙමෙයි. සමහර ගැහැණු අය කොහොමත් අලුත් කෑම වර්ග හදන්න, අලුත් දේවල් කරන්න ආසයි. ඒ වගේම කොච්චර කෑම කඩ තිබුනත් රසට ෂෝටීට්ස් එකක් කන්න කඩයක් හොයාගන්නට ටිකක් අමාරුයි. ඉතිං මුලින් වඩේ දහය පහලොවක් හරි නියම පදමට, නියම රසට හදලා ළඟපාත කඩේකට දාන්න පුලුවන් නම් එතනින් පොඩි ගාණක් අතට ගන්න පොටක් පාදගන්න පුලුවන්. බයිට් වර්ග සෑදීම, ජෑම් සෑදීම, රසකැවිලි සෑදීම ඒ විදියට කුඩාවට ගෑණු ළමයෙක්ට වුනත් පටන් ගන්න පුලුවන් රස්සාවන්. විකිණීම සඳහා කෑම සෑදීමේදි රසය ඉතාම වැදගත් සාධකයක්. ඇත්තටම හොඳට රහට තියෙනවා නම් ඒ රෝල්ස් එක, එලවලු රොටි එක, වඩේ එක කන්න මිනිස්සු බයික් වලින්, කාර් වලින් පවා කඩවල් හත අට පාස් කරගෙන එනවා අපි කොතෙකුත් දැකලා තියෙනවා.

 

6. ග්‍රැෆික් සහ සේයාරූ සංස්කරණ කටයුතු

home business ideas for women

Source – april.onthemarch.co

පරිගණක පැත්තෙන් ඉගෙනගන්නා ගෑණු ළමයෙක්ට ග්‍රැෆික් කියන්නේ හොඳ පැත්තක්. ග්‍රැෆික් වලදී ඒ ඒ මෘදුකාංගයේ ඇති ටූල්ස් ඉගෙනගැනීමෙන් නොනැවතී, ඒ දේවල් අත්හදා බලන්න, අලුත් වැඩ කරන්න පුරුද්දක් ඇතිකරගන්න එක හොඳයි. ඉස්තරම්ම පින්සල්, ඉස්තරම්ම කොළ, ඉස්තරම්ම වෙලාවක් සහ තැනක් තිබුන පලියට හැමෝටම සිත්තරුන් වෙන්නට බැහැ. ඒ සඳහා යම් ආකාරයක ඉගෙනගැනීමක් වගේම පළපුරුද්දකුත් අවශ්‍ය වෙනවා. ඒ ආකාරයට නිර්මාණශිලී දෑතක් නිර්මාණය කරගත්තොත් පරිගණකය හරහා ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් විදියට කාන්තාවට නිවසේ සිටම යම් ආදායම් මාර්ගයක් හදාගන්න පුලුවන්.

 

7. ඡායාරූප ශිල්පය

home business ideas for women

Source – myphotographyclasses.com

බාලිකා විද්‍යාලයක තිබෙන ආදිසිසුවියන්ගේ ගෙට් එකක් ගනිමු. එතැනදී කාන්තාවක්ම ෆොටෝග්‍රැෆර් විදියට ගන්න පුලුවන්නම් ඒකට ඒ අය ගොඩක් කැමතියි. ඒ වගේම කුඩා දරුවකුගේ ෆොටෝ ගැන්මකදීත් කාන්තාවන්ට දරුවා සමග ගනුදෙනු කිරීමට හොඳට තේරෙනවා. වෘත්තිය සේයාරූ ශිල්පීන් බොහොමයක් පිරිමි වුනත්, කාන්තාවකටත් ටිකක් හොඳින් හුරුපුරුදු වුනොත් ඡායාරූප ශිල්පය කියන්නේ හොඳම ක්ෂේත්‍රයක්. ඡායාරූප ශිල්පිනියක් වීම සාම්ප්‍රදායික කාන්තාවන්ට උරුම රූපලාවන්‍ය ශිල්පය ආදී දේට වඩා එහා ගිය එකක් වුනත්, ෆොටෝ ගහන්න ආස, ෆොටෝ ගන්න හැකි යුවතියකට ඡායාරූප ශිල්පිනියක් වීම කියන්නේ සැබෑ කරගන්න අමාරු හීනයක් නෙමෙයි.

ගෙදර දොරේ වැඩ ටිකට උනත් අද කාලේ සල්ලි කීයක් තිබුනත් මදි. සැමියා සෙනෙහෙබර ලෙස මුදල් උපයා දුන්නත් තමුන්ටත් කීයක් හරි හොයාගන්න පුලුවන් නම් හොඳයි කියලා ගොඩක් කාන්තාවන්ට හිතෙනවා. ඉතිං මොනාහරි පොඩියට පටන් ගන්න ඔයාලට මේ පෝස්ට් එක හරහා අදහසක් එන්නට ඇති. අදහස අදහස විදියටම තියාගෙන ඉන්නේ නැතිව ක්‍රියාත්මක කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ලයිෆි අපි කාන්තා ඔබට ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

Cover Image Source – platzermarine.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *