දේශපාලනයට එකතු වූ දෙස් විදෙස් ක්‍රීඩා තරු

sportsmen who became politicians

දේශපාලනයේ ඉදිරියට යන්න නම් ඡන්දේ දිනන්න ඕනි. ඡන්ද ගන්න නම් ජනප්‍රිය වෙන්න ඕනි. ජනප්‍රිය වුණු සිනමා ටෙලි තරු සහ ක්‍රීඩකයින්ට මුල් කාල වකවානුවේදී ඔවුන්ගේ ජනප්‍රියත්වය දේශපාලනයට ශක්තියක් වෙනවා. ඒත් මෑතකදී අගමැති පුටුවත් පත් පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් ක්‍රිකට් ගැහුව වගේම කාලයක් තිස්සේ කැපවීම් කරමින් දේශපාලනය කළ අයෙක්. ඔහුගේ දේශපාලන සාර්ථකත්වය පිටුපස ඒ කැපකිරීම් සලකුණු හැමදාම නොමැකී තියේවි. ඉතිං ක්‍රීඩාවෙන් පොලිටිකල් ග්‍රවුන්ඩ් එකට බැහැපු චරිත මොනවද? අපි ටිකක් බලමු ඒ ගැන.

 

1. සනත් ජයසූරිය

sportsmen who became politicians

Source – dnaindia.com

ක්‍රිකට් පිටියේදී මෙන්ම පසුවද ආන්දෝලනාත්මක චරිතයක් වූ සනත් ගායන නර්තනයන්ට දායක වීම, පෙම් පලහිලව් ආදියෙන් මෙන්ම දේශපාලනයේද විටින් විට පෙනී සිටි නිතර පුවත් මවන චරිතයකි. එහෙත් 1995 වනවිට ක්‍රිකට් ලෝකයේ ලංකාවට තිබුන තැන උඩු යටිකුරු කළ අපේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ සනා යනු හොඳ ප්‍රහාරකයෙක්ම විය. ඒ සනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය මෙන්ම ඔහුගේ පන්දු යැවීමද ලංකාවේ කිසිදා නොමැකෙන ක්‍රිකට් සලකුණකි. සනත් මැතිවරණයට ඉදිරිපත් වූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඔහුගේ ක්‍රිකට් පෞරුෂයට වහ වැටී සිටි තරුණ තරුණියෝ සනත් වටා දහස් ගණනින් එකතු විය. එවර වාර්තාගත අන්දමින් ජයග්‍රහණය කරමින් සනත් පාර්ලිමේන්තුවට ගියද සනත්ට පිටියේදී මෙන් දේශපාලනයේදී එතරම්ම විස්කම් දක්වන්නට හැකියාවක් නොලැබුණි. සනත් කාලයක් නියෝජ්‍ය තැපැල් ඇමති ලෙසද කටයුතු කළේය.

 

2. අර්ජුන රණතුංග

sportsmen who became politicians

Source – thecricketmonthly.com

ලංකාවේ ක්‍රිකට් වල වසන්ත සමය වූ 1996 ලෝක කුසලාන අවදියේ නායකත්වය දැරූ අර්ජුන තරමක් දැඩි චරිතයක් විය. අර්ජුනගේ පියා රෙජී රණතුංග නිදහස් පක්ෂයේ පැරණිතම ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. ප්‍රථමයෙන් රණතුංග පවුලෙන් දේශපාලනයට පිවිසි ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාතේ මහ ඇමති බවටද පත් විය. අර්ජුන වර්තමාන රජයේද ප්‍රකටම ඇමතිවරයෙකි. ඔහුගේ එකල ක්‍රිකට් නායකත්වය මෙන්ම දේශපාලනයේදීද අර්ජුන තරමක් කලහකාරී ගතිස්වභාවයක් ඇති, කියන්නට තිබෙන දේ කෙලින්ම මූණටම කියන ජාතියේ දේශපාලකයෙකි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ තත්ත්වයන් ගැන නිතර අදහස් දක්වන අර්ජුන දේශපාලනයෙන් කෙතෙක් ඉදිරියට ගියද තවමත් ක්‍රිකට් ගැන හොඳ අවධානයකින් කටයුතු කරයි.

 

3. ජෝජ් වියා

sportsmen who became politicians

Source – independent.co.uk

වර්තමානයේ ලයිබීරියාවේ ජනාධිපති වන ජෝජ් වියා හිටපු දීප්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු පාපන්දු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානයක් වන වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි Ballon d’Or ත්‍යාගය 1995 වර්ෂයේදී දිනාගත්තේය. ක්‍රීඩා කරන කාලයේදී ලයිබීරියාව වෙනුවෙන් ගෝල 22ක් රැස් කිරීමට ජෝජ් වියා සමත් වී තිබේ. පාපන්දු ක්‍රීඩාවේ 1985 සිට 2003 දක්වා වසර 18ක කාලයක් ක්‍රීඩා කළ ජෝජ් වියා, මැන්චෙස්ටර් සිටි, මිලාන්, මාර්සේ ආදී ප්‍රකට යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන්ද ක්‍රීඩා කළේය. පාපන්දු ක්‍රීඩාව තුළද තිබෙන සුදු කලු වර්ණභේදවාදයට එරෙහිව ජෝජ් වියා ක්‍රීඩා කරන කාලයේදීම පෙනී සිටියේය. 2018 ජනවාරියේදී ජනාධිපතිවරයා ලෙස පත් වූ වියා ඉතා මෑතකදී ඉම්රාන් ඛාන් පාකිස්ථාන් අගමැති පුටුවට පත් වෙන තුරු රාජ්‍ය නායකයකු වූ ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය වූ එකම ක්‍රීඩකයා ලෙසට වැජඹුණි.

 

4. මොහමඩ් අසාරුදීන්

sportsmen who became politicians

Source – scoreline.asia

මොහමඩ් අසාරුදීන් 1990 දශකයේ ඉන්දියානු කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියාකළේය. ලංකාවේ ප්‍රේක්ෂකයින්ටද හොඳින් මතක අසාර් එක්දින ලකුණු 9378ක් රැස්කර තිබුණි. 2000 දී ක්‍රිකට් වලින් සමුගත් අසාර්ගේ නමට ඉදිරියෙන් තරඟ පාවාදීමේ චෝදනාද එල්ල වී තිබුණි. ඔහු 2009 ඉන්දීය මැතිවරණයට ඉදිරිපත් වූ අතර කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අසාර් සමත් විය.

 

5. ඉම්රාන් ඛාන්

sportsmen who became politicians

Source – publicseminar.org

1992 දී පාකිස්ථාන කණ්ඩායමට ලෝක කුසලානය ලබාදුන් කණ්ඩායමේ නායකයා වූ ඉම්රාන් ඛාන් වර්තමානයේ පාකිස්ථානයේ අගමැති පුටුවටද තේරී පත් වී තිබේ. ඔහුගේ දේශපාලන දිවිය ක්‍රිකට් වලින් පසු එකවර පිබිදුණු එකක් නොවේ. ඔහු නව පක්ෂයක් ගොඩනගා ගනිමින්, වසර 20ක් තිස්සේ මැතිවරණ වලට ඉදිරිපත් වෙමින්, ජනයාට සේවය කරමින් පාකිස්ථාන දේශපාලනය තුළ ඛාන් සලකුණ නිර්මාණය කරගැනීමට සමත් විය. පාකිස්ථානයේ හමුදාමය බලපෑම් ඉම්රාන්ගේ අගමැති පත් වීමට වාසිදායක යැයි මත පළවුවත් ඔහු පාකිස්ථාන මැතිවරණයෙන් සැලකිය යුතු ජයක් අත්කරගැනීමට සමත් විය.

 

6. ආනෝල්ඩ් ශ්වාට්සෙනගර්

sportsmen who became politicians

Source – titaniumsuccess.com

ලාබාල අවදියේ පටන් බර ඉසිලීමේ ක්‍රීඩා වල නිරත වූ ආනෝල්ඩ් ඔහුට වයස විස්සේදී අයෝමය පුරුෂයා ලෙස සම්මාන දිනාගත්තේය. ඉන්පසු මිස්ටර් ඔලිම්පියා කිරුළද සත් වතාවක් දිනාගන්නට සමත්විය. පසු කලෙක කමාන්ඩෝ, ටර්මිනේටර් වැනි චිත්‍රපට හරහා ලෝකයේ ජනප්‍රියතම සිනමා තාරකාවක් බවට පත්වූ ආනෝල්ඩ් 2003 දී ඇමරිකානු කැලිෆෝනියා ජනපදයේ ආණ්ඩුකාරයා ලෙස පත් විය. ක්ෂේත්‍ර කිහිපයකදීම සාර්ථක වූ ආනෝල්ඩ් ශ්වාට්සෙනගර් පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදනයටද දායක විය.

 

7. මැනී පැකියාවෝ

sportsmen who became politicians

Source – bankrate.com

වසර කිහිපයකට ඉහතදී බොක්සින් වළල්ලෙන් සමු ගත්තත් වර්තමානයේ පවා ලෝක බොක්සින් වළල්ල තුළ මැනී පැකියාවෝ නම අමතක කරන්නට බැහැ. බර පන්ති කිහිපයක් යටතේ තරඟ කර ඇති පැකියෝවෝ ඉන් වැඩි තරඟ ප්‍රමාණයකම ජයග්‍රහණය වාර්තා කර ඇත. පසුගිය වසර විසිපහ තුළ ක්‍රීඩා කළ ලොව ජයග්‍රාහී බොක්සින් තරු අතර ඉහළින්ම සිටින මැනී පැකියාවෝ කුඩා කල ඉතා අපහසුවෙන් ජීවත් වූ අයෙකි. ආහාර, ඇඳුම්, නිවාස පහසුකම් අඩු ඉතාම දුප්පත් පසුබිමක ඉපදුණු මැනී පැකියාවෝ සැබැවින්ම වීදි දරුවෙක් විය. වර්තමානයේ පිලිපීන ජනාධිපති වීමට සිහින දකින මැනී පැකියාවෝ සිය ක්‍රීඩා දිවියෙන් උපයාගත් මුදල්ද මහජන සුබසිද්ධිය තකා වියදම් කර තිබේ. ඔහු දැනට පිලිපීන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු ලෙස තේරී පත් වී මහජනයාට සේවය කිරීම තවදුරටත් පුළුල්ව කරගෙන යෑමට අදහස් කරගෙන සිටී.

ක්‍රීඩාවේදී ලැබෙන පැහැදිලි ඉලක්ක වලට වඩා දේශපාලනයේදී මුහුණදෙන්න වෙන අපැහැදිලි ඉලක්ක බොහෝයි. එහිදී මහජනතාව, ප්‍රභූන්, වෙළඳපොල, විදෙස් සබඳතා වගේ විවිධ පාර්ශව ගණනාවක් සමග හොඳ ගනුදෙනුවක් තිබෙන්නට ඕනා සාර්ථක දේශපාලකයෙක් වෙන්න. ඒ නිසා ක්‍රීඩාවෙන් ජනප්‍රිය වී ආසාවට දේශපාලනයට ආවත් ටික දවසකින් හැරිලා යන අයත් ගොඩක් ඉන්නවා. ඒත් කොහොමහරි කලින් පිටියේදී ගහපු ගේම් වගේම දේශපාලනයේදීත් රියල් ගේම් දෙන්න පුලුවන් අය දේශපාලනයෙනුත් ඉදිරියට යන්නේ එක ශක්තිමත් මිනිසෙක්ට ක්ෂේත්‍ර දෙකක් නම් වැඩි නැහැ කියන්නා වගේ.

 
Cover Image Source – Lifie.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *