අපේ ලංකාවේ ඉන්න හොරු ලෝකෙත් රවට්ටපු, ලෝකයාගේ කනිනුත් රිංගපු පට්ට වැඩකාරයෝ ටිකක් ය කියලනේ කතාවට කියන්නේ. එහෙවු රටේ හොරු ගැන චිත්‍රපටි නොහැදුණාට අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙ නම් යමරෙට හොරු ගැනයි වංචාකාරයෝ ගැනයි චිත්‍රපටි හැදෙනවා. අපි අද මේ ඔබත් එක්ක බෙදා හදාගන්න යන්නේ අන්න ඒ වගේ තේමාවන් ඔස්සේ හැදුණු හින්දි සිනෙමාවේ චිත්‍රපටි ගැනයි.
1. ධූම් චිත්‍රපට මාලාව
බොලිවුඩ් වල මේ තේමාව ගැන කතා කරද්දී ධූම් ගැන කතා නොකරනම් බැහැ. ධූම් චිත්‍රපට මාලාව කියන්නේ හොරා පොලිස් චිත්‍රපට මාලාවක්. මේ චිත්‍රපට මාලාවේ මේ වෙනකොට චිත්‍රපටි තුනක් ඇවිල්ලා තියෙනවා. ජෝන් ඒබ්‍රහම්, රිතික් රෝශන් සහ අමීර් ඛාන් තමයි පිලිවෙලින් චිත්‍රපට තුනේ ප්‍රධාන චරිත රඟපාන්නේ.
2. ඩොන් චිත්‍රපට මාලාව
ඩොන් කියන්නේ බොලිවුඩයේ රජු වෙච්ච ශාරුක් ඛාන්ට ඔටුණු පැලැන්දුව තවත් චිත්‍රපට මාලාවක් කිවුවොත් මම වැරදි නැහැ. මේක අතින් පයින් වගේම මොළෙනුත් ගේම් එක දෙන චිත්‍රපටයක්. ඩොන් එකේ පළවෙනි චිත්‍රපටයට වඩා දෙවැනි චිත්‍රපටය නැගලා ගියා. තුනක් ගැනත් දැන් දැන් කනින් කොණින් ආරංචි ඇහෙනවා.
3. ප්ලේයර්ස්
ප්ලේයර්ස් කියන්නේ සාමූහිකව හොරකම් කරන හොර කණ්ඩායමක් ගැන කියවෙන චිත්‍රපටයක්. හොර කණ්ඩායමක් කිවුවට මේකේ ඉන්නේ එසේ මෙසේ පොරවල් නෙමෙයි. වෙන්න නලුවෙක්, හැකර් කෙනෙක්, චිත්‍ර අඳින්නෙක් සහ පිපුරුම් විශේෂඥයෙක් එකතු වෙලා තමයි මේ හොර කණ්ඩායම හැදෙන්නේ. අභිශේක් බච්චන්, සෝනම් කපූර්, නීල් නිතින් මුකේශ් සහ බිපාශා බාසු මේ සිනෙරුවේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා.
4. රාඊස්
රාඊස් චිත්‍රපටයේ දිවෙන්නේ ටිකක් පරණ වංචාකාරයෙක්ගේ කතාවක්. හැබැයි පොලිස් ඇස් වහලා හැම වංචාවක්ම ගාණට කරගෙන යන්නත් මිනිහා දක්ෂයෙක්. ගොඩක් අය කියන විදිහට මේ කතාව ඉන්දියාවේ ගුජරාටය හොල්ලගෙන හිටපු අබ්දුල් ලතීෆ් ගේ ජීවිත කතාවට සමානයි. රාඊස් අධ්‍යක්ෂකතුමානම් ඒ කතා ප්‍රතික්ෂේප කළා. කොහොම වුණත් මේකත් සුපිරිම “හොර” චිත්‍රපටියක්.
5. ආන්ඛේන්
“ආන්ඛේන්” කියන්නේ 2002 අවුරුද්දෙ කල එළි බැහැපු සුපිරිම සිනෙමාපටයක්. මේකෙ කතාව යන්නේ රැකියාව අහිමි වෙච්ච බැංකුකරුවෙක් වටා. මේ බැංකුකරුවා තමයි අමිතාබ් බච්චන්. ඔහු බැංකුවෙන් පළිගන්න ගහන ගේම් එක තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කතාව විදිහට ගලාගෙන යන්නේ. ආක්ශේ කුමාර්, අර්ජුන් රාම්පාල් සහ ශුස්මිතා සෙන් මෙහි සෙසු චරිත වලට පණ පොවනවා.
6. කෑශ්
කෑශ් කියන්නේ 2007 ආපු සිනෙරුවක්. අජේ දේවුගන්, සයෙඩ් ඛාන් සහ ඊශා ඩියොල් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. හොර කණ්ඩායම් දෙකක් අධික වටිනාකමකින් යුතු දියමන්තියක් තමන් සතු කරගන්න වෙර යොදන ආකාරය තමයි සිනෙරුව පුරාම බලන්න තියෙන්නේ. කුතුහලයනම් උපරිමයෙන් චිත්‍රපටය තුළ රඳවාගෙන තියෙනවා කියලනම් කියන්න පුලුවන්.
7. ස්පෙශල් 26
2013 අවුරුද්දේ ආපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආක්ශේ කුමාර් සහ අනුපම් ඛේර් කියන ප්‍රකට බොලිවුඩ් තාරකාවන්. ඉන්දියාවේ මධ්‍යම රහස් පරීක්ෂක ආයතනය එහෙමත් නැත්නම් CBI විදිහට වෙස් වලාගන්න හොර කණ්ඩායමක් සිදු කරගෙන යන හොරකම් මාලාවක් ගැනයි කතාවේ කියවෙන්නේ. සැබෑ සිදුවීමක් යම් තරමකට පාදක කරගෙන හැදුණ මේ චිත්‍රපටය ඉන්දියාවෙන් බිහිවුණ මෑත කාලීන හොඳම හොරකම් සම්බන්ධ චිත්‍රපටයක්.
8. කාන්ටේ
කාන්ටේ කියන්නේ තවත් “හොර” චිත්‍රපටයක්. හොර කියන්නේ තවත් හොර කණ්ඩායමක් ගැන චිත්‍රපටයක්. මේ කතාව දිවෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය පාදක කරගෙනයි. ඒ කියන්නේ මේ කට්ටිය ගැටෙන්නේ එසේ මෙසේ පොලීසියක් එක්ක නෙමෙයි. ඇමරිකානු පොලීසියත් එක්කයි. අමිතාබ් බච්චන්, සන්ජේ දත්, සුනිල් ශෙට්ටි ඇතුලු ප්‍රකට බොලිවුඩ් තරු රැසක් මෙහි රංගනයේ යෙදෙනවා. සුප්‍රකට බටහිර චිත්‍රපටයක් වෙච්ච ක්වෙන්ටින් ටරන්ටිනෝගේ රෙසවොයර් ඩෝග්ස් චිත්‍රපටයෙන් ආභාෂය ලබපු චිත්‍රපටයක් මේක.
9. ජොනී ගද්දාර්
ජොනී ගද්දාර් කියන්නේ වැඩි දෙනෙක් අහල නැති නියම බොලිවුඩ් ත්‍රිලර් චිත්‍රපටියක්. යාලුවො පිරිසක් එකතු වෙලා කරන්න යන ලොකු ඩීල් එකක් අතරතුර එක යාලුවෙක් එ් වැඩේට දාන සල්ලි වංචාවෙන් තමන් සතු කරගන්නවා. වැරදුනේ කොතැනද කියලා අනිත් පිරිස හොයාගෙන යද්දි චිත්‍රපටයේ නොහිතන දේවල් රැසක්ම සිද්ධ වෙනවා. මුල ඉඳන් අගට යනකන් ඔයාලව ඇද බැඳ තියාගන්න සමත් නියම කතාවක් මේක.
10. බන්ටී ඕර් බබ්ලී
හොරකම් සම්බන්ධ බොලිවුඩ් චිත්‍රපටි ගැන කතා කරද්දි මතකෙට එන සුපිරිම චිත්‍රපටයක් තමයි බන්ටී ඕර් බබ්ලී කියන්නෙ. අභිශේක් බච්චන් සහ රාණි මුඛර්ජි දෙන්නා තමයි මේකෙ හොර ජෝඩුව වෙන බන්ටීට සහ බබ්ලීට රඟපාන්නෙ. රට වටේ විවිධ හොරකම් කරගෙන යන මේ දෙන්නා පසුපසින් හඹාඑන පොලිස් නිලධාරියෙකුත් ඉන්නවා. විනෝදයෙන් පිරුණ, ඔබ නැරඹිය යුතුම හින්දි චිත්‍රපටියක් මේකත්.
11. හැපී නිවු ඉයර්
හැපී නිවු ඉයර් කියන්නේ ශාරුක් ඛාන් රංගනයේ යෙදුණ තවත් “හොර” ෆිල්ම් එකක්. ඒ වගේම මේක ඩාන්සින් මූවී එකක්. මේක නම් විහිලුවට බර සිනෙරුවක්. සමහර දර්ශන නම් තාත්වික බවෙන් ටිකක් අඩුයි. ෆිල්ම් එක මසාලා ටයිප්. හොරකම් කරන්නෙත් නටන ගමන් වගේ සීන් දෙක තුනකුත් තියෙනවා. දීපිකා පදුකෝන්, සෝනු සූඩ්, බෝමන් ඉරානි සහ අභිශේක් බච්චන් කියන නලු නිලියෝ තමයි ප්‍රධාන වශයෙන්ම මේකෙ රංගනයේ යෙදෙන්නේ.
Cover Image Source – Lifie Graphics
Leave a Reply