එල කොල්ලෙක් වගේ නා කියා ගන්නේ කොහොමද?

how to get a proper shower

කොල්ලෙක්ට ඉතින් නානවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. සමහරු ඇදගෙන නෑවත්, සමහරු ටැප් එකෙන් නෑවත්, සමහරු ෂවර් එකෙන්ම නෑවත් කොල්ලෝ නානවා! හැබැයි ඉතින් ගොඩක් කොල්ලෝ ඉන්නවා නාන්නේ හොරට. ආං ෂවර් එක, මේං සබං කැටේ, ඕං මම කියලා ෂවර් එක යට දෙපාරක් බල්ලෝ නාවනකොට වගේ එහාටයි මෙහාටයි පැනලා, සබන් කැටේ සුරූස් ගාලා ඇඟ දිගේ ලිස්සලා යවලා, ආයෙමත් ෂවර් එක වටේ රවුමක් කැරකිලා නෑම ඉවර කරනවා. හැබැයි සහෝදරයා ඕකට නානවා කියන්නෙ නෑ. ඕකට කියන්නේ වතුර පෙන්නනවා කියලා! කොහොම හරි නියමාකාරයෙන් ස්නානය කරන එකත් පොඩි විද්‍යාවක්. හොඳට නාලා කරලා පිරිසිදුවට ඉන්න එකේ තියෙන වාසි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ නිසා අපි කතා කරමු කොහොමද නියම විදියට ඇඟ පත පිරිසිදු වෙන විදියට නා කියා ගන්නේ කියලා!

 

1. කී පාරක්ද?

how to get a proper shower

Source – giphy.com

ඒක ඉතින් තමන්ට ඕනෑ හැටියට තමයි. දවස තිස්සේම දහදිය දාන වැඩ කරන මනුස්සයෙක්ට උදේ නාලා හිටියත් දවස අවසානයේ ආයෙමත් නාන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් සතියකට තුන් හතර වතාවක්, හතර පස් වතාවක් වුනාට කමක් නෑ. හැබැයි ඉතින් දිනපතා ඇඟපත සෝදාගන්න ඕනෑමයි. අනෙක් අතට දවසකට ඕනෑවට වඩා වතුරේ ඉන්න එකත් ඒ තරම් ගුණ නෑ. ඔය මහ රෑ ජාමෙට යක්කු ගස් නැගලා ගහේ ඉඳන් බලාගෙන ඉන්න වෙලාවල් වලට නාන එකත් ඒ තරම් ගුණ නෑ.

 

2. කොච්චර වෙලාවක්ද?

how to get a proper shower

Source – giphy.com

අනිවාර්යයෙන්ම ෂවර් එක යට දෙතුන් පාරක් එහාට මෙහාට පනින තත්පර පහේ හොර නෑම නම් වැඩක්ම නෑ. හැබැයි එහෙම කියලා ෂවර් එක යට පැය බාගයක් ඉන්න නෑමත් හොඳ නෑ. හරියටම කියනවා නම් සමට හොඳ නෑ. ඕනෑවට වඩා වෙලාවක් වතුරේ ඉඳීමෙන් වෙන්නේ හම සහ හිසකෙස් වියලීම. ඒ නිසා විනාඩි පහක් දහයක් විතර නෑම ප්‍රමාණවත් හොඳට පිරිසිදු වෙන්න නාගන්න ඒ වෙලාව ඇතිනේ.

 

3. රස්නෙන්ද සීතලෙන්ද?

how to get a proper shower

Source – giphy.com

අපේ අයියලා මළාට සීතල වතුරෙන් නාන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ සාමාන්‍ය ගාණට තියෙන වතුරෙන් උදේ වරුවකට නාන්න ගියහමත් මුලින්ම ඇඟිල්ලක් ෂවර් එකට අල්ලලා, ඊළඟට කකුල වතුර පාරට අල්ලලා ලොවෙත් නැති මළ විකාර ටික කරලා තමයි යන්තං ඇඟට වතුර ටික දාගන්නේ. හැබැයි ඉතින් අර හොට් වෝටර් ගීසර් තියෙන උදවිය නං අපරාදේ කියන්න බෑ, පුළුවන් තරම් රස්නේ වෙන්න මීටරේ කරකවලා රස්නේ වතුරෙන් නාගන්නවා. ඒත් චර්ම විශේෂඥ වෛද්‍ය ගොල්ලෝ කියන්නේ ඉහළ රස්නයක් තියෙන වතුර හොඳ නෑ කියලා නාන්න. ඇයි? ඒකෙන් ඇ‍ඟේ තියෙන ස්වභාවික තෙල් වර්ග ඉවත් කරන නිසා. අපි නොදැනීම සම පිළිස්සෙන නිසා.

 

4. ගාන්නේ මොනවද?

how to get a proper shower

Source – giphy.com

සාමාන්‍යයෙන් කොල්ලෙක් ඔලුවේ ගාන්නෙත්, ඇ‍ඟේ ගාන්නෙත්, මූණේ ගාන්නෙත් ඔය ලයිෆ්බෝයි කැටයක් තමයි. අපිට ඒක නරකයි කියන්න බෑ. හැබැයි ඇ‍ඟේ ගාන්න සබන්ම ඕන නම් අපි කියන්නේ මිනිස් සමට හොඳට ගැලපෙන, අඩු pH අගයක් තියෙන සබන් කැටයක් ගන්න කියලා තමයි. හැබැයි බොඩි වොෂ් හරි ෂවර් ජෙල් හරි සබන් කැටේකට වඩා සාර්ථක වෙන්නත් පුලුවන්. එතකොට මූණටත් ෆේස් වොෂ් එකක්ම පාවිච්චි කළාට කමක් නෑ. සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට නැතිනම් තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට ෂවර් ජෙල් හොඳයි. හැබැයි ටිකක් වියළි සමක් තියෙන කෙනෙක්ට බොඩි වොෂ් හරියනවා.

ඔලුවේ ගාන්න ඉතින් හොඳ ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් අරගන්න එක වටිනවා, සබන් කෑල්ලම ඔලුවේත් ගානවට වඩා!

 

5. ඔලුවට සත්කාර හරියට

how to get a proper shower

Source – giphy.com

හරි. දැන් වැඩේ පටාන් ගන්න ඕන ඔලුවෙන්. ෂවර් එක යට ඉන්නකොට වැටෙන වතුරත් එක්කලා, ඔලුවේ හිස කෙස් ඇඟිලි වලින් පිරිමදින එක තමයි හරි ක්‍රමේ. එතකොට ඔය කුණු දූවිලි හිසකෙස් වලින් ඉවත් වෙලා යනවා. ඉන් පස්සේ ෂැම්පු දානකොට කරුණාකරලා බෝතලේම ඔලුවට හලන්නේ නැතුව ඉතාම කුඩා ප්‍රමාණයක් අත්ලට අරගෙන හොඳට කොණ්ඩේ සහ හිස් කබලට යනකල් ෂැම්පූ කරන්න. ඕනෑවට වඩා ෂැම්පූ දැම්මොත් එහෙම අර ස්වභාවික තෙල් අනං මනං නැතිවෙලා යනවා. ඊට පස්සේ කන්ඩිෂනර් කළාට කමක් නෑ. ඒකත් පොඩ්ඩක් අරගෙන, මෘදුව කොණ්ඩේ මුල ඉඳන් පිටට මසාජ් කරන්න ඕන. ඉන් පස්සේ ෂැම්පූ සහ කන්ඩිෂනර් සම්පූර්ණයෙන්ම ඔලුවෙන් ඉවත් වෙනකල් (Leave-in Conditioner හැරුණකොට) ඔලුව හෝදන්න ඕන. පොඩ්ඩක් හරි ඒවා ඉතුරු වුනොත්, ඉස් හොරි සහ වෙනත් ආසාදන ෂුවර් ඇන්ඩ් ෂොට්.

 

6. මුහුණට සත්කාරයත් තිතට

how to get a proper shower

Source – giphy.com

මූණටත් අපි කිවුවනේ ෆේෂල් ක්ලෙන්සර් එකක් වඩා හොඳයි කියලා. ෆේෂල් ක්ලෙන්සර් එකෙන් පොඩ්ඩක් ඇඟිලි තුඩට අරගෙන දැන් ඇඟිලි තුඩින් මූණ පිරිමදින්න ඕන. පොඩි මසාජ් එකක් වගේ. රවුම් රවුම්. තත්පර තිහක් විතර ප්‍රමාණවත්. කම්මුල්, නහය, නිකට, නළල, බෙල්ල මේ හැම තැනක්ම හොඳින් පිරිසිදු කරන්න ඕන. හැබැයි ඇස් වලට ක්ලෙන්සර් එකෙන් පොඩ්ඩක්වත් නොයන්න. ඉන් පස්සේ වතුරින් හෝදාගන්න ඕන. විශේෂයෙන්ම මුහුණේ සහ බෙල්ලේ දේවල් ‍රැ‍ඳෙන්න පුලුවන් නැමුම් තියෙන තැන් හොඳින් අතුල්ලලා ක්ලෙන්සර් සහ කුණු දූවිලි ඉවත් කරගන්න ඕන.

 

7. හරියට අතුල්ලලා

how to get a proper shower

Source – giphy.com

ගොඩක් හොරට නාන ඩයල් මළාට ඇ‍ඟේ කුණු අතුල්ලන්නෙ නෑනේ. ඉතින් අර නාන එකෙන් වැඩක් වෙනවද? නෑනේ! ආන්න ඒ නිසා රෙදි කෑල්ලක් හරි නානකොට ඇඟ අතුල්ලන්නම හදලා තියෙන ස්පොන්ජ් එකක් හරි අරගෙන, ඒකට බොඩි වොෂ් ටිකක් දාලා අතුල්ලන්න ඕන. ඕනෑ නම් අත් දෙකෙන් වුනත් කමක් නෑ. සමහරු නම් පොල් ලෙලි කෑල්ලක් කපලා අරගන්නවා. නැතිනම් කළු ගල් කෑල්ලක් ගන්නවා ඇඟ අතුල්ලන. ආන්න ඒවා ඕන නෑ. ඒවලින් වෙන්නේ හම සීරිලා තුවාල වෙන එක විතරයි.

පටන් ගන්න බෙල්ලෙන්. කන් පි‍ටුපස්සේ ඉඳලා උරහිස්, අත් යට, පපුව විදියට ඇවිත් ක්‍රමයෙන් පහළට යන්න. හැබැයි ඇ‍ඟේ හැම අස්සක් මුල්ලක්ම කවර් වෙන්න ඕන. පිට අතුල්ලාගන්න එකට ඉතින් ගෙදර කෙනෙක්ගේ සපෝට් එක ගන්න පුලුවන්.

දැන් ඔය මහත දෙහෙත අයගේ ඇ‍ඟේ මස් නිසා වැහුණු තැන් සෑහෙන්න තියෙනවානේ. ආන්න ඒ තැන් විශේෂයෙන්ම හොඳට අතුල්ලලා පිරිසිදු කරගන්න ඕන. එහෙම නැතිනම් ඒ තැන්වල මැරුණු සම, කුණු දූවිලි සහ වෙනත් විෂ බීජ ‍රැඳිලා දිලීර ආසාදනයන් ඇති වෙනවා.

 

8. හරියට පිහිදලා

how to get a proper shower

Source – giphy.com

මෙච්චර දඟලලා නාගත්තු අපිට පිහිද ගන්න විදිය කියලා දෙන්න එපා මහත්තයෝ කියල නේද කියන්න ගියේ? ඒක හරියන්නෙ නෑ. නාලා පිහිදගන්නවා කියන එකත් වෙනම සීන් එකක්.

විශේෂයෙන්ම හොඳ පිරිසිදු, හොඳින් වේලුණු තුවායක් පාවිච්චි කරන්නම ඕන. තුවාය පිහිදලා පිහිදලා කළු ගැහිලා නම් කරුණාකරලා ඒක කකුල් පිහදන්න බිමට දාලා අලුත්ම තුවායක් ගන්න. දැන් පිහිදනකොට හම හීරෙන්න තදින් අතුල්ලන්න එපා. විශේෂයෙන්ම මුහුණ, ඔලුව ඉඳන් පහළට එනකල්ම අර තෙත මාත්තු කරන්න. ගොඩක් ඩයල් කකුල් පිහිදන්නෙ නෑනේ. ඒක කේස්. කකුල් දෙකත් තෙතමනය හි‍ඳෙන්න තෙත මාත්තු කරගන්න ඕන. එතකොට විශේෂයෙන්ම තෙතමනය ‍රැ‍ඳෙන්න පුලුවන් කිහිලි, ඉකිලි වගේ තැන් හොඳින් වියළාගන්න ඕන. විශේෂයෙන් මහත අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

 

9. සුවඳ ගහන එව්වා ටිකකුත් දාගෙන

how to get a proper shower

Source – giphy.com

ඊට පස්සේ ඉතින් ‍රැවුල වවන කොල්ලෙක් නම් ‍රැවුලට තෙල් ටිකක් එහෙම ගාලා, ‍රැවුල හොඳට පීරන්න පුලුවන්. ඉන් පස්සේ ඇ‍ඟේ තෙතමනය සම්පූර්ණයෙන්ම වියලුනාට පස්සේ ඔය ඩියෝඩ්‍රන්ට් ටිකක්, බොඩි ලෝෂන් ටිකක් එහෙම ගාලා පොඩ්ඩක් සුවඳ ගහන්න හිටියට කමක් නෑ. ඇත්තටම නාලා පිරිසිදු වෙලා මේ විදියට කළාට පස්සේ, ගෙදර නම් ඉන්නේ අමුතුවෙන් සුවඳ විලවුන් වුවමනා වෙන්නේ නෑ. පිරිසිදු කමත් එක්ක බොහොම ප්‍රසන්න සුවඳක් තමයි විහිදෙන්නේ.

මේ ඔක්කොම කරගෙන හොඳ පිරිසිදු කමක් තියෙන, ඒ නිසාම බොහොම ප්‍රියමනාප ප්‍රසන්න පෙනුමක් තියෙන එල කොල්ලෙක් වගේ සැපේ ඉන්න තමයි තියෙන්නේ!

 
Cover Image Source – metro.co.uk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *