ප්ලේන්ටි තරම් අපි අතරේ හිට් වුණේ නැති වුණාට කෝපි කෝප්පයක් බොන්න අපි කවුරුත් ආසයි. බෙලෙක් කෝප්පෙකට හදාගෙන වගේම හොඳ කොෆී ෂොප් එකක් පැත්තේ ගිහින් පොෂ් සීන් එකෙන් වුණත් බොන්න තියෙන ඉස්තරම් තේරීමක් තමයි කෝපි. ලංකාවේ වුණත් හොඳම තත්ත්වයේ කොෆී ෂොප් එකකට ගිහින් වියදම පිරිමහගන්න පුළුවන්. ඒත් මේ ලෝකේ තියනවා අපේ ජීවිතවලටත් වඩා වටිනා මිලකට අලෙවි වෙන කෝපි වර්ග.
1. කෝපි ලුවාක්

Source – thecoffeemarketltd.com
කෝපි ලුවාක් කෝප්පයක් බොන්න නම් මනුස්සයෙක්ගේ අතේ රුපියල් 10,000ක්වත් තියෙන්න ඕනි. හැබැයි මේකේ නිධාන කතාව ඇහුවම වලක් කපන් වැළලෙන්න වුණත් හිතෙන්න පුළුවන්. මේවා හදන්නේ උගුඩු විශේෂයකගේ මෙව්වාවලින්. මෙව්වා කිව්වේ ඒ යක්කුන්ගේ මළපහවලින්. උගුඩුවා කියන සතා වුණත් මළ අප්පිරිය සතෙක් වෙච්චි තැන උගේ මලපහ එක්ක මුසු වුණ කෝපි ඇට කුඩු කරලා බොන එක මොන ජවුසමක් ද කියලා හිතේවි. ඒත් මේ කෝපි අනෙක් කෝපි විශේෂ එක්ක බලනකොට කටේ තිත්ත රහක් ඉතුරු නොකරන ඒ වෙනුවට චොකලට් රහක් ඉතුරු කරන රසයෙන් අනූන පානයක්. කෝපි ලුවාක් හදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ උගුඩුවෝ කෝපි ඇට කන්න මළ පෙරේතයි. කෝපි ඇටයම ගිල්ලට උන් ආසම ඒකෙ පොත්තට. ඒ නිසා කෝපි ඇටයට ඒ තරම් පළුද්දක් නැහැ. මේවා උන්ගේ බඩේ දී ජීර්ණය වෙන්නේ අර්ධ වශයෙන්. ඉතින් අවසානයේ මළ එක්ක පිට වුණාම ඒ ඇට සෝදලා, වේලලා මේ කෝපි හදාගන්න නිසා අවුලක්මත් නැහැ. හැබැයි පොඩි අවුලක් තියනවා. මේ කෝපි ඇට ලබාගන්නම ඉන්දුනීසියාවේ සමහරු මුන් කූඩු කරලා හදනවා. ඒ වගේම බලෙන් කෝපි ඇට විතරක් කන්න දෙනවා. ඒ අස්සේ ස්වාභාවික පරිසරයේ ඉන්න උගුඩුවා දඩයම්කරුවන්ගේ ගොදුරක් වෙලා තියනවා.
2. බ්ලැක් අයිවරි

Source – jobbiecrew.com
මේකත් මළපහ කතන්දරයක්. හැබැයි උගුඩුවගේ ඉඳන් යන්නේ අලියෙක් ළඟට. කියන විදියට දැනට ලෝකයේ තියෙන දුර්ලභම කෝපි විශේෂය තමයි මේ. කෝප්පයක් 8000ක් විතර වෙනවා. තියෙන්නෙත් බොහොම සීමිත හෝටල්වල විතරයි. මෙතන දී පළතුරු එක්ක මිශ්‍ර කරලා ඇරබිකා කෝපි අලින්ට කන්න දෙනවා ඊට පස්සේ උන්ගේ මළවලින් කෝපි ඇට වෙන් කරගන්නවා. හැබැයි මෙතන දී වරකට කෝපි ඇට ලැබෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. උගුඩුවො එක්ක බලනකොට අලියගේ කෝපි හදන්න දෙන දායකත්වය ඔහොම තමයි. මේ වැඩේ සිද්ධ කරන්නේ මේ නමින් තායිලන්තයේ තියෙන ආයතනයක් විසින්.
3. ස්ටාර්බක්ස් ෆ්රැප් – Quadriginoctuple

Source – starbucks.com
කෝපි කිව්වොත් ලෝකේ ප්‍රසිද්ධම සන්නාමයක් තමයි මේ. ලංකාවේ අපිටත් කවදා හරි උපන්බිමේ ඉඳන්ම ස්ටාර්බක්ස් හීනෙ හැබෑ කරගන්න වාසනාව ලැබෙයි කියලා හිතනවා නම් මේ කෝපි එක බොන්න දැන්ම සල්ලි එකතු කරනවා හොඳයි. හැටහුටහමාරක් වෙන ස්ටාර්බක්ස් කෝපි අස්සේ මේ වෙනකොට මිල අධිකම එක තමයි මේ. කොච්චර මිල අධික ද කියනවා නම් සිංහල භාෂාවෙන් කියවගන්නත් අමාරුයි. එක කෝප්පයක් රුපියල් 7500ක් විතර වෙනවා. ඒ තරම් ගණන් උස්සන්නේ මේකට දාන ජාති ගොඩ නිසා. මේ වීඩියෝ එකෙන් බලන්නකෝ කීයක් දේවල් දානවද කියලා.
4. එස්මෙරෙල්ඩා ස්පෙෂල්

Source – differencecoffee.com
පැනමාවේ දැන් වගා කෙරුණාට මේ කෝපිවල මූලය තියෙන්නේ ඉතියෝපියාවේ. මේ කෝපිවලට තියෙන ඉල්ලුම වගේම මිල ගණන් ගැන තක්සේරුවකට එන්න පුළුවන් විදියක් තියනවා. ඒ තමයි මේ වෙනුවෙන්ම තියෙන වෙන්දේසිවල දී ඉහළම මිලකට අලෙවි වෙන එක. වගා කරනකොට පළතුරු ගස් අස්සේ (විශේෂයෙන් ම පේර ගස්) වගා කරන නිසාද දන්නේ නැහැ කෝපි කෝප්පෙන් අමුතු ම සුවඳක් එන බව කියනවා. ඒක සාමාන්‍යයෙන් පැනමාවේ වගා කරන අනෙක් කෝපි විශේෂ අතර කැපිලා පෙනෙන වෙනසක්. රුපියල් 8000කට වගේ වග කියනවා ඉතින්.
5. ජැමෙයිකන් බ්ලූ මවුන්ටන්

Source – pinterest.com
තවත් ඇරබිකා කෝපි විශේෂයක් තමයි මේ. වැවෙන්නේ උසේන් බෝල්ට්ගේ රටේ. නමෙන්ම තේරෙනවනේ. ජැමෙයිකාවේ තියෙන බ්ලූ මවුන්ටන් කියන ප්‍රදේශයේ තමයි මේ කෝපි වගාව සිද්ධ වෙන්නේ. කෝප්පයක් රුපියල් 6000ක් වගේ වෙනවා. ගාණ සැර වෙන්න හේතු වෙලා තියෙන්නේ ඉල්ලුම වැඩි වීමයි සැපයුමේ තියෙන අවුලයි. සැපයුම අවුල් යන්න හේතුව මේ බ්ලූ මවුන්ටන් කියන පැත්තේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණය. තේ වෙනුවෙන් උපසංස්කෘතියක්ම තියන ජපන් රටෙන් මේ කෝපිවලට ලොකු ඉල්ලුමක් තියනවා.
6. හවායන් කෝනා

Source – hawaii-aloha.com
හවායි කිව්වම සිරි ලාංකික අපිට මතක් වෙන්නේ හවායන් කුකීස්. මේ කියන්නේ ඒ කුකීස් කන ගමන් බොන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි පොකැට්ටුව ඇරියම රුපියල් 100ක් වගේ තියෙන ජීවිතයක් නම් යා දෙන්නේ නැති වේවි. කෝනා කෝපි විශේෂ ගණනාවක්ම වෙළඳපොලේ තියනවා. හැබැයි ඉතින් එහෙම තියෙන ගොඩක් නිෂ්පාදනවල කෝනා තියෙන්නේ 10%ක් වගේ. අනික් ඔක්කොම වෙන එක එක ලදරම්. ඒත් හවායන් කෝනාවලින් 100%ක් ම කෝනා රහ ගන්න පුළුවන්. 100%ක්ම ලොස් නැතුව දාන නිසා තියෙන විශාල ඉල්ලුමට සැපයීම දෙන්නේ ලොකු වටිනාකමකුත් එක්කයි.
7. ශාන්ත හෙලේනා (St. Helena)

Source – sthelenatourism.com
උදේට කකුල් දෙකෙන් යන හවසට කකුල් හතරෙන් එන අයට බොනපාට් කිව්වට සෑහෙන රෙස්පෙක්ට් එකක් දීලා කතා කරන්න ඕනි කෙනෙක් නොවැ නැපෝලියන් බොනපාර්ට් කියන්නේ. ඒ උත්තමයාව හිර කරලා තිබ්බේ මෙන්න මේ දූපතේ. අත්ලාන්තික් සාගර මධ්‍යයේ පිහිටලා තියෙන මේ දූපතේ ලෝකේ වෙන කොහෙවත් නැති, කෝපි වැවෙන්න ම සුවිශේෂ වුණ පරිසර තත්ත්වයක් තියනවා. දූපතේ නමින්ම එළියට ආපු කෝපි ගණන් යන්න හේතුව කෝපිවලටත් වඩා ප්‍රවාහනය. සිතියමක් දිහා බැලුවොතින් පෙනෙයි මේ දුපතේ ඉඳන් භාණ්ඩ ප්‍රවාහනයට කන්න වෙන කට්ට.
මේ කෝපිවල ගණන් අද තියෙන එක නෙවේ හෙට තියෙන්නේ. ඒ නිසා මේ ලිපියේ වැඩිම මිල මේකයි අඩුම එක මේකයි වගේ පිළිවෙලක් නැහැ. මහන්සි වෙයන්, එදාවේල කෝපි බොන කටින් ස්ටාර්බක්ස් ඩිංගක රහ බලන්න වගේ තද වදනකින්ම ඉවර කරා එහෙනම්.
Cover Image Source – gojamaicatourism.com
Leave a Reply