ඉන්දියානු සාගරයේ මුතු ඇටය කියලා විරුදාවලියකින් හඳුන්වපු ශ්‍රී ලංකාවේ ඒ තිබුණු අතීත සුන්දරත්වය දැන් නැහැ කියලා ගොඩක් දෙනෙක් කියනවනේ. ඒකේ ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි තවමත් ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකයින් අතර සුන්දර රටක් විදියට ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙන දේශයක් වගේම, ජීවිතේ එක වරක් හෝ ගිහින් බලන්නට වටිනා සුන්දරතම ස්ථානයන් කොතෙකුත් මේ පුංචි දිවයින ඇතුළේ තියෙනවා. අපි කවුරුත් ආසයිනේ මුහුදට. ඉන්දියානු සාගරයෙන් වට වුණු ශ්‍රී ලංකා දූපත වටේ තැනින් තැන තියෙන මේ මුහුදු වෙරළ ලැයිස්තුව කෙතරම් සුන්දරද කියලා කියන්නේ අපි විතරක් නෙවෙයි. රට රටවලින් සංචාරය කරපු විදේශිකයෝ පවා ඒක පිළිගන්න දෙයක්. එහෙමනම් බලන්න අපූරු මේ මුහුදු වෙරළ ලැයිස්තුවෙන් තැන් කීයකට ගිහිල්ලා තියෙනවද කියලා!
1. ගාල්ල

Source – booking.com
ගාල්ල කියන්නේ සුන්දර මුහුදු තීරයකටත් වඩා ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. ගාල්ලේ නාන්න, පීනන්න පුලුවන් මුහුදු තීරයන්, නිස්කලංකේ ඉන්න පුලුවන් වෙරළ තීරයන් තිබුණත්, ගොඩක් වෙලාවට සංචාරකයෝ ආකර්ෂණය වෙන්නේ ගාල්ල කොටුවට තමයි. විශේෂයෙන්ම ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයෙන් හැඩ වුණු පැරණි පන්නයේ ගොඩනැගිලි, මං මාවත් අතරින් ගිහින් කොටුව කෙළවර කොටු බැම්මේ වාඩි වෙලා හවස් වරුවක ගාල්ල මුහුදු වෙරළේ අසිරිය විඳින එක ගැන කියන්න වචන නැහැ. ඒක අත්විඳලාම බලන්න ඕන අත්දැකීමක්.
2. මිරිස්ස

Source – booking.com
මිරිස්ස කියන්නේ ජනාකීර්ණ පරිසරයක තියෙන වෙරළ තීරයකට වඩා, ලඳු කැලෑ සහිත, ස්වභාවධර්මයාට වඩාත් කිට්ටු පරිසරයක් එක්ක තියෙන වෙරළ තීරයක් වීම සෑහෙන්න සංචාරක ආකර්ෂණයකට හේතු වෙනවා. ඒ වගේම නිදහසේ නාන්න සහ පිහිනන්න මිරිස්ස මුහුදු තීරයේ ස්වභාවිකවම සෑදුණු ආරක්ෂිත ස්ථාන සෑහෙන්න තියෙනවා. ඒක විශේෂත්වයක්. ඊට අමතරව කිමිදෙන්නවුන්ටත්, ආධුනික රළ මත ලිස්සා යන්නවුන්ටත් ගැටළුවක් නැති මිරිස්ස මුහුදු තීරයේ විවිධ ජල ක්‍රීඩා වලට තැන් එහෙමත් තියෙනවා. ඇයි තල්මසුන් බලන්න සහ ඩොල්ෆිනුන් බලන්නත් මිරිස්ස බොහොම ප්‍රසිද්ධයි.
3. උණවටුන

Source – wikipedia.org
මේ තියෙන්නේ ලංකාවේ සුන්දරතම මුහුදු තීරයන්ගෙන් ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ඇති තැනක්. විශේෂයෙන්ම බොහොම සුන්දර, නිසංසල නිල්වන් ජලතලයක් දැකගන්න පුලුවන් උණවටුන මුහුදු තීරය සෑහෙන්න ඉහළ විදේශික සංචාරකයින් ප්‍රමාණයක් ඇදී එන වෙරළ තීරයක්. ස්කූබා කිමිදීම් සහ ස්නෝර්ක්ලින් කිමිදීම් සඳහාත් ප්‍රසිද්ධ උණවටුන මුහුදු තීරයට දේශීය සංචාරකයොත් ආකර්ෂණය වෙන්න ඒක හේතුවක්. ඒ වගේම ලොකු කුඩා හෝටල් ගණනාවක්මත් උණවටුන වෙරළ තීරය දිගට පිහිටලා තියෙනවා.
4. වැලිගම

Source – expedia.com
මේ තියෙන්නේ දකුණු වෙරළ තීරයේ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට නැතිනම් සර්ෆින් වලට නම් දරාපු මුහුදු තීරය. විශේෂයෙන්ම ආධුනික රළ මත ලිස්සා යන්නවුන්ට වැලිගම මුහුදු තීරය කදිමයි. ඒ ආපදාවන් ඉතාමත්ම අඩු නිසා. ඒ විතරක් නෙවෙයි, හැන්දෑවක සිරි විඳින්න, අර කණු වල නැගලා මුහුද මැද මාළු අල්ලනවා බලාගෙන විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නත් වැලිගම වෙරළ තීරය කදිමයි. පීනන්න සහ නාන්න ආරක්ෂිත තැනුත් මේ වෙරළ තීරයේ තියෙනවා.
5. කොග්ගල

Source – oddviser.com
ගාල්ල මාතර පාර දිගේ යනකොට මුණගැහෙන විශාල නගර අතර, කොග්ගල කියන්නේ බොහොම හුදෙකලාව පිහිටලා තියෙනවා වගේ දැනෙන, පැරණි පන්නයේ පුංචි ටවුමක්. අර මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොතක වගේම හැඟීමක් එන ටවුමට ගැලපෙන, බොහොම නොඉඳුල් බවක් දැනෙන වෙරළ තීරයක් කොග්ගල තියෙනවා. සමහර වෙලාවට මුළු කොග්ගල වෙරළ තීරයටම ඉන්නේ තමන් විතරයි වගේ හුදෙකලා හැඟීමක් කොග්ගල යන සංචාරකයෙක්ට දැනෙන්න පුලුවන්. ඒත් ඒ හුදෙකලා හැඟීමත්, සුන්දර කොග්ගල වෙරළත් දාලා එන්න කෙනෙක්ට හිතෙන්නේ නැති තරම්.
6. ආරුගම් බොක්ක

Source – saltinourhair.com
ආරුගම් බොක්ක නැතිනම් ආරුගම් බේ කියනකොටම මතක් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, සර්ෆින්ග්. ඇත්තටම රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා හොඳම වෙරළ තීරයක් විදියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා තියෙන ආරුගම් බොක්ක මුහුදු තීරය සීසන් එකට උද්යෝගිමත් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරෙනවා. ඒ නිසා සීසන් එකට අර නිස්කලංකව ඇවිදින්න යන්න නම් ආරුගම්බේ සුදුසු වෙන්නෙ නෑ. හැබැයි රළ මත ලිස්සා යන්න මේ වගේ මුහුදු තීරයක් තවත් නෑ. පීනන්න, නාන්න හොඳ තැනුත් තියෙනවා.
7. මීගමුව

Source – enchantingtravels.com
මීගමුව කියන්නේ අමුතුම සුන්දරත්වයක් තියෙන නගරයක්. බැලූ බැලූ අත ලොකු කුඩා බෝට්ටු සහ ට්‍රෝලර් වගේම කලපු, දිය මං, ඇල මාර්ග වගේ දහසකුත් එකක් දේවලින් පිරුණු මීගමුව නගරයේ උපරිම සුන්දරත්වය දැනෙන්නේ මුහුදු වෙරළට ගියහම. විශේෂයෙන්ම තමන් කැමතිම කෙනෙක් එක්ක ගිහින් ඇවිදින්න, එක තැනකට වෙලා විවේකීව වාඩි වෙලා ඉන්න වගේ දේවලට මීගමුව මුහුදු වෙරළ හොඳටම ගැලපෙනවා. ඕන නම් ගෙදර යන ගමන් ලෙල්ලම පැත්තේ ගිහින් මාලුවෙක් දෙන්නෙක් අරගෙන ආවත් කමක් නෑ
8. හික්කඩුව

Source – leolandtravels.lk
බීච් නම් හික්කා කියලා තමයි මෙච්චර කාලෙකට තියෙන ජනප්‍රිය මතය. ඇත්තටම හික්කඩුව තමයි දකුණු මුහුදු තීරයේ එදත් අදත් ජනප්‍රියතම මුහුදු වෙරළ. ඒ විතරක් නෙවෙයි, හෝටල් සහ නයිට් ක්ලබ් එහෙමත් අඩු නැතුවම හික්කඩුව මුහුදු තීරයේ තියෙනවා. ඒ වගේම සීසන් එකේදී විදේශික සංචාරකයන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරෙන වෙරළ තීරයක් තමයි හික්කඩුව කියන්නේ. රෑට බීච් පාටීස් වුනත් අඩුවක් නැතුව දැකගන්න පුලුවන්. ඇත්තටම හික්කඩුවෙ සුන්දරත්වය මැවෙන්නේ මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි.
9. ත්‍රිකුණාමලය

Source – youtube.com
ත්‍රිකුණාමලයේ බොහොම සුන්දර මුහුදු වෙරළ කීපයක්ම තියෙනවා. සමහර තැන්වල වතුරත් අමුතු පිරිසිදු පළිඟු කොළ පාටකින් නැතිනම් නිල් පාටකින් දිළිසෙනවා. හැබැයි ඒ හැම තැනම හොයා බලන්නේ නැතුව වතුරට බහින එකනම් අනතුරුදායක වෙන්න පුලුවන්. ඒකට එක හේතුවක් තමයි ඉකිරි.
ත්‍රිකුණාමලයේ වෙරළ තීරය වගේම, කොටුව ඇතුළේ කන්ද නැගලා කෝණේස්වරම් වලට ආවහම පේන මුහුදු රේඛාවත් බොහොම සුන්දර දර්ශනයක්. ඕනෑ නම් ත්‍රිකුණාමලයෙන් එහාට නිලාවැලි දිහාට ගියොත් නාන්න පුලුවන් මුහුදු තීරයන් හමුවෙනවා වගේම, ජල ක්‍රීඩා කරන්න තැන් එහෙමත් මුණගැහේවි.
10. උප්පුවේලි

Source – atlasandboots.com
උප්පුවේලි තියෙන්නේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේම තමයි. හැබැයි ත්‍රිකුණාමලය වෙරළ තීරයටත් වඩා අමුතු ස්වභාවික සුන්දරත්වයක් තියෙන වෙරළ තීරයක්. විශේෂයෙන්ම නාගරික පරිසරයක් ඇහැ ගැටෙන්නේවත් නැති දුරකින් පිහිටලා තියෙන මේ වෙරළ තීරයේ තියෙන හුදෙකලා ගතිය, නිස්කලංකව ඉන්න පුලුවන් වෙරළ තීරයක් හොයන කෙනෙක්ට කදිමයි. ඒ විතරක් නෙවෙයි, නාන්න ප්‍රවේසම් සහගත තැන් වුනත් උප්පුවේලි මුහුදු තීරයේ තියෙනවා.
Cover Image Source – resplendentceylon.com
Leave a Reply