පාවහන් කියන්නෙ කාන්තා විලාසිතා ලෝකේ ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යයක්. සමහර වෙලාවට කාන්තාවෝ මුණ ගැහුනාම මුහුණේ ලස්සනට වඩා ඇස් යන්නේ පාද දෙසට. ඒ තරම් අලංකාර පාවහන් විලාසිතා පළඳිනවා අපේ කාන්තාවෝ. අපේ යුවතියන්ගේ පාවහන් එකතුව පිරික්සුවොත් අඩි උස පාවහන් යුගලක් නම් අනිවාර්‍යයෙන් තියෙනවාමයි. ඉතින් මේ කතාකරන්නේ කාන්තා විලාසිතා ලොව සරසන අඩි උස පාවහන් ගැන.
1. අඩි උස පාවහන් කාන්තාවන්ගේමද?
කාන්තාවෝ ඉතාම ආසාවෙන් පළඳින මේ හීල්ස්වල මුල් අයිතිය පිරිමින් සතුවෙන බව ඔබ දන්නවාද? පුරාණ ඊජිප්තු වැසියෝ පාවහන් නොමැතිව තමයි ගමන් බිමන් ගියේ. මේ කාලයේ වෙළඳාමේ ගිය මස් වෙළෙන්ඳන් බිම දිගේ ගලන රුධිරය තමන්ගේ පාදවල තැවරෙන එක වළක්වාගන්න උස ලී පතුලක් සහිත පාවහන් විශේෂයක් සකස් කරගෙන තියෙනවා. ඊජිප්තු පිරිමීඩ ආශ්‍රිත සොහොන් කොත්වල බිත්ති මත ඇඳි රූප අතර දකින්නට ලැබුණු පාවහන් සහිත රූප අනුකරණය කරමින් තමයි ඔවුන් මෙම උස පත්ලක් සහිත පාවහන් නිපදවා තිබෙන්නේ.
පළමුවෙන්ම අඩි උස පාවහන් පළඳින ගැහැණු කෙනා ලෙස සටහන් වන්නෙ 1533 ඉතාලියේ ජීවත් වූ කැතරින් මෙඩිසීස් කියන රැජිණයි. ඇය ප්‍රංශයේ දෙවැනි හෙන්‍රි රජු සමඟ විවාහ වෙන අවස්ථාවේ අඩි උස පාවහන් වලින් සැරසී සිටියේලු.
2. හරියටම ගැළපෙන්න හයි හීල්ස් තෝරා ගන්නේ කොහොමද?
■ දවසේ වැඩකටයුතු අවසාන වී හවස් යාමයේ සාප්පු සවාරි යන්න
පාවහන් තෝරාගන්න සාප්පු සවාරි යන්න හොඳම වෙලාව තමා හවස් යාමය. දවස පුරාම ක්‍රියාකාරී වෙලා, මහන්සිවෙලා තියෙන පාද මේ වෙනකොට තරමක් ප්‍රමාණයෙන් විශාල වෙලයි තියෙන්නේ. මේ වෙලාවෙ තමයි ඔයාට හරියටම ගැළපෙන ප්‍රමාණයෙන් පාවහන් තෝරාගන්න පුළුවන්. එහෙම නැතුව උදෙන්ම ගිහින් ඔයා පාවහන් තෝරන් පැළඳගත්තොත් හවස් වෙද්දි තද ගතියක් එක්ක අපහසුවක් එන්න පුළුවන්.
■ මිලදී ගන්න පෙර හීල්ස් පැළඳ සාප්පුව ඇතුළත ටික වේලාවක් ඇවිදින්න
තෝරාගත් හීල්ස් දෙක පැළඳගෙන සාප්පුවේ තියෙන වෙනස් බිම් මතුපිටවල් වලත් ඇවිදලා බලන්න. එතකොට ඔයාට දැනෙයි හීල්ස් දෙක සුවපහසුද, නැද්ද කියලා. එහෙම මොනයම් හරිම වෙනසක් තියෙනව නම් වෙන හීල් එකක් උත්සහ කරලා බලන්න. පුංචි හරි අපහසුවක් දැනෙනවානම් හීල්ස් මිලදී ගන්න එපා.
■ පාදයේ ඇඟිලිවලට දැනෙන විදිහ ගොඩාක් වැදගත්
තෝරාගත් පාවහන් යුගල පැළඳුවාම ඇඟිලි සඳහා ප්‍රමාණවත් ඉඩක් තියෙනවාද බලන්න ඕන. එහෙම නැති පාවහන් යුගලක් දිගින් දිගටම පැළඳීම ඔබ ලෙඩ ගොඩකට අත වැනීමක් වෙන්න පුළුවන්.
■ තෝරාගන්න හීල්ස් යුගලේ උස පිළිබඳව සැලකිලිමත් වෙන්න
සාමාන්‍යයෙන් වඩාත් සුදුසු යැයි සැළකෙන උස ප්‍රමාණය තමා අඟල් 1ත් අඟල් 3ත් අතර උසින් යුතු පාවහන්. අඟල් තුන ඉක්මවන පාවහන් පැළැන්දූ විට ඔබ ගමන් කරන ආකාරයේ වෙනසක් කැපී පෙනෙන්නට ගන්නවා වගේමයි දැඩි පීඩනයක් කොන්ද ප්‍රදේශයටත්, දණහිසටත්, වළලුකරටත් ඇතිකරනවා.
■ නිවසින් බැහැර ගමනකට පළඳින්නට පෙර පාවහන් යුගල පැළඳ මද වේලාවක් නිවස තුළ හා නිවස වටා ඇවිදින්න
මෙය ඔබට පිරිසක් ඉදිරියේ පැළඳ ගමන් කිරීමට අළුත් පාවහන් යුගල ගැන විශ්වාසය ඇතිකරාවි. පළමු විනාඩි කිහිපය මෙන් නොවෙයි ටික වේලාවක් පැළඳ සිටීමේදියී පාවහන් වල ගැටළු මතුවෙන්නේ. ඉතින් නිවසින් බැහැර වෙලා අකරතැබ්බ කරගන්න කලින් මේ ගැන අවධානයෙන් සිටින එක නේද හොඳ?
3. වැඩියෙන්ම හයි හීල්ස් ගැළපෙන්නෙ කාටද?
හයි හීල්ස් කියන්නේ නිතර දෙවේලේ පළඳින්න පුළුවන් විදිහේ පාවහන් වර්ගයක් නෙමෙයිනේ. පළඳින්න කලින්ම අපි හිතන්න ඕන අපේ ගමන මොකක්ද කියන කාරණාව.
■ ඔයා තවම පාසල් යන, අමතර පන්ති සඳහා සහභාගි වෙන යුවතියක් නම් අඩි උස පාවහන් ඔබට ඒ තරම්ම ගැළපෙන දෙයක් නොවෙයි. එයින් ඔබේ තුළ තිබෙන සැහැල්ලු ගතිය ඔබෙන් ඉවත්කරනවා.
■ ඔබ කාර්යාල සේවයේ නියුතු, නිතරම වගේ වාඩිවෙලාම ඔයාගේ වැඩ කරන යුවතියක් නම් ඔබට හයි හීල්ස් පැළඳීමෙන් ඔබේ පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන් වෙනවා.
■ ඔයා ගමන් බිමන් යන්නේ බස් රථයේ නම් ඔයා දාන හීල් එක ගොඩාක් උස උනොත් ඔන්න කකුලක් පෑගිලා ගුටි කන්න උනත් බැරි නැහැ. කොටු හැඩයේ පතුළක් සහිත හීල්ස් දෙකක් උත්සාහ කරලා බලන්න.
■ ඒ වගේම තමයි ඔයා දුම්රියේ ගමන් කරන කෙනෙක් නම් නියමිත වේලාවට දුම්රියට නගින්නට වේගෙන් දුවන්න එහෙම වෙනවා නම් ඔන්න අඩි උස පාවහන් ඒ තරම් සුබ වෙන්නේ නම් නෑ.
■ ඒ වගේමයි ක්ෂේත්‍ර නිලධාරිනියක් නම්, නැත්නම් නිතරම පඩිපෙළවල් නගින්න බහින්න වෙනවා නම්, නිතරම බර උස්සන්න සිදුවෙනවා නම්, නිතරම ඇවිදින්නට වෙන නිසා අඩි උස පාවහන් පැළඳීම වේදනාකාරී වේවි.
■ ගුරු වෘත්තියේ නියුතු කාන්තාවකට නම් සාරියට කෙටි උසක් සහිත පාවහන් තමා ගැළපෙන්නේ. ගොඩාක් උස පාවහන් ඒ තරම්ම සුදුසු වන්නේ නෑ.
4. හයි හීල්ස් පැළඳීමේ වාසි
■ ඔබට උස පෙනුමක් ලබාගන්න පුළුවන්.
■ ශරීරයේ හැඩය ඉස්මතු වීම.
හීල්ස් දෙකක් පැළඳගත්තම ශරීරය S අකුරක ආකාරයට තමා දිස්වෙන්නේ. ශරීරයේ ඉනෙන් උඩ කොටස ඉදිරියටත් ඉනෙන් පහළ කොටස පිටුපසටත් මදක් තල්ලුවීමක් සිදුවීමෙන් නාරි ලාලිත්‍ය වැඩි දියුණු වීමක් සිදුවෙනවා.
■ ඔබේ පාද වල මාංශපේශීන් මනාව ක්‍රියා කරයි
ඔබ නිතරම හීල්ස් පළඳිනවා නම් හීල්ස් පළඳා කෙටි කාලයකින් ඔබේ පාදවල තැන්පත්ව තිබූ මේදය ක්‍රමයෙන් අඩුවී යන බව ඔබට දැනේවි.
■ ආත්ම විශ්වාසය වැඩි කරයි
උසින් අඩු කෙනෙක් ඇතැම්විට උසින් වැඩි පිරිසක් අතරට යන්නට මැලිවෙන්න පුළුවන්. අඩි උස පාවහන් නිසා ඒ වගේ කෙනෙක්ට වැඩි ආත්ම විශ්වාසයක් ඇති වේවි.
5. ඒ ඒ අවස්ථාවට ගැළපෙන හීල්ස්
■ අඟල් 1.5ත් 2ත් අතර වෙන කිට්න් හීල්ස් නිතරම වගේ පළඳින්න පුළුවන් හීල්ස් වර්ගයක්.
■ අඟල් 3ක් වගේ උසක් වෙන හීල්ස් කාර්යාලයට පළඳින්න හැකියි.
■ සති අන්තයේ ගමනකට හීල්ස් පළඳින්න අවශ්‍ය නම් ඔබට අඟල් 3, 4 අතර වගේ උසකින් පළඳින්න පුළුවන්.
■ නමුත් ඔබ අඟල් 4 ඉක්මවා හීල්ස් පළඳින්න අදහස් කරනවා නම් කල් ඇතිවම ඔබ සහභාගිවෙන අවස්ථාව පිළිබඳ දැනුවත් වෙන්න. ඔබට ඇවිදීමට සිදුවන්නේ ඉතාම කෙටි දුරක් නම්, අදාළ අවස්ථාව අවසානය තෙක් ඔබට අසුන්ගෙන සිටීමට හැකිනම් ඔබ වැඩි උසක් සහිත හීල්ස් දෙකකින් සැරසුනාට කමක් නැහැ.
■ ඔබට වැඩි කාලයක් ඇවිදීමට සිදුවෙන අවස්ථාවක් නම්, ඒ වගේමයි උත්සව අවස්ථාවේ නර්ථනයේ යෙදෙන්න වගේ අදහසක් තියෙනවා නම්, ඔබ බොහෝම සැළකිල්ලෙනුයි හීල්ස් පැළඳිය යුත්තේ.
හයි හීල්ස් නිසා කරදරේ වැටුණ නිළියො ගැනත් ඔයාලා අහලා ඇතිනේ.
6. අඩි උස පාවහන් පැළඳීම නිසා වෙන්න පුළුවන් කරදර මොනවද?
- Low Back Pain (කොන්දේ පහළ ප්‍රදේශයෙහි ඇතිවෙන වේදනාව)
වැඩි උසක් සහිත පාවහන් නිසා අපි දවස පුරාම ඉන්නෙ වැරදි ඉරියව්වකින් නිසා කොන්දේ පහළ ප්‍රදේශයේ ඇතිවෙන වේදනාවක් හට ගන්න පුළුවන්.
- Metatarsalgia (පාදයේ පේශි වේදනාව)
මේක නම් අඩි උස සපත්තු පළඳින කාටත් අත්දකින්න වෙන දෙයක්. කොහොමත් මේ අඩි උස සපත්තු වැඩිපුරම පළඳින්නෙ රැකියාවට යන කාන්තාවොනෙ. ඉතින් දවසෙන් වැඩි ප්‍රමාණයක් හිටගෙන තමා ඉන්න වෙන්නෙ. නැත්තම් එහෙ මෙහෙ ඇවිදින්න වෙනවා. හීල් එකේ උස වැඩි වෙන්න වෙන්න කකුලෙ පේශි මත ඇතිකරන පීඩනය වැඩියි, ඉතින් පීඩනය වැඩිවෙන්න වැඩිවෙන්න ඔබට දැනෙන වේදනාවත් වැඩියි. මේ නිසා අස්ථි බිඳීයාම් උනත් ඇති විය හැකියි.
- Bunions (කරගැට)
කරගැට කියන්නෙ හයි හීල්ස් පැළඳීම නිසා කාන්තාවෝ හැමෝම වගේ අත්විඳින වේදනාවක්. සමහර කරගැට පෙනෙන්නෙ හරියට අස්ථියක් වර්ධනය වෙලා වගෙයි. ඒත් එය එසේ නොවේ. ඒවා ඇත්ත වශයෙන්ම විශාල ඇඟිලි වල සන්ධි නොගැලපීමකි.
- Hammer Toe
Hammer Toe යනු දෙවන, තෙවන, සිව්වන හෝ පස්වන (කුඩා) ඇඟිලිවලින් එකක හෝ දෙකක සිදුවෙන විකලාංගතාවයකි. මෙය අසාමානය නැඹුරුවාවෙන් සපත්තු පැළඳ සිටින විට ඇඟිල්ලට, පයට පීඩනය යෙදීම නිසා ඇතිවන ගැටලුවකි .සාමාන්‍යයයෙන් මෙම තත්ත්වය මෘදු ලෙස ආරම්භ වන අතර කාලයත් සමඟ නරක අතට හැරේ.
- Tailor’s Bunions
හයි හීල්ස් පැළඳීම නිසා ඇතිවෙන කරගැට තත්ත්වයක් තමා මේ. හැබැයි ඒ තරම් සුලභව දකින්න නැහැ. කකුලේ පස්වෙනි ඇඟිල්ල නැත්තන් සුළු ඇඟිල්ල තමා මේ කරදරේට ලක්වෙන්නෙ. අඩි උස පාවහන් නිසා ඇති කරන සිරුරේ පීඩනය දරා සිටීමෙනුයි මේ තත්ත්වය හටගන්නෙ. සුළු ඇඟිල්ල අසළ පිටතට නෙරූ අස්ථි කොටසක් වගේ තමා මේ විකලාංගතාවය පෙනෙන්නෙ.
- Pump Bump (විලුඹේ ඇතිවන ඉදිමුම)
විලුඹ පිටුපසින් ඇතිවෙන ගැටිත්ත හෝ ඉදිමුමයි. අඩි උස පාවහන් පැළඳීම නිසාවෙන් ඇතිවෙන පීඩනය හා පාදයෙහි වැරදි ඉරියව් නිසා මෙම තත්ත්වය හටගනී.
7. මේ කරදරවලට විසඳුම් මොනවද?
මේ තත්ත්වයට විසඳුමක් විදිහට අපිට ඝර්ෂණය වළක්වා ගැනීම සඳහා කරගැට ප්‍රදේශයට Bunion Pads භාවිතා කරන්න පුලුවන්.
මේ දිනවල ජනප්‍රියම පාවහන් විලාසිතාවක් තමා වෙජ් හීල් (Wedge Heel) කියන්නෙ. මේ විලාසිතාව මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුව මොකද්ද දන්නවද? මේ සපත්තුවෙන් අඩි උස සපත්තුවකින් ඔබ අපේක්ෂා කරන කාරණයම ඊට වඩා පහසුවෙන් කරගන්න ලැබෙනවා. මෙහි වේදිකාවක් වැනි හැඩය අඩි උස සපත්තුවකින් ලැබෙනවට වඩා ඔබව පහසු ඉරියව්වකින් තියන්න සමත්වෙනවා. ඉතින් ඔයාට උසට වගේම පහසුවටත් ඕන නම් මෙන්න හොඳම විසඳුම.
ඉදිරියෙන් ඇඟිලි එකට තදවෙලා එකතුවෙන පාවහන් පැළඳීමෙන් වැළකිලා. ඒ වගේම තමන්ගෙ පමණට වඩා හිර පාවහන් පළඳින්නෙ නැතුව මේ තත්ත්ව මග හැරගන්න උත්සාහ කරන්න.
අඩි උස පාවහන් පැළඳීමට අවශ්‍යම නම් තරමක් අඩු උසකින් යුතු අඩි උස පාවහන් පැළඳීම මඟින් මේ තත්ත්වයන් බොහෝ දුරට වළක්වාගන්න පුළුවන්.
Cover Image Source – elegantshoegirl.com
Leave a Reply