මිනිසා සඳ තරණය කොට ලබන වර්ෂයට අවුරුදු 50කුත් වෙනවා. එහෙත් තවමත් මේ පෘථිවිය තුළද මිනිසුන්ට පහසුවෙන් ඇතුල් විය නොහැකි, තරණය කළ නොහැකි බාධා කොතෙකුත් පිහිටා තිබෙනවා. භූගත අවකාශයක සිරවී ඇති පුද්ගලයින් ගලවාගැනීම මේ තාක්ෂණික යුගයේදි පවා මිනිසාට අභියෝගයක් වෙලා. තායිලන්තයේ වයිල්ඩ් බෝ කණ්ඩායම නැති වී සොයාගන්නට දින 9ක කාලයක් ගතවුනා. ඔවුන් සම්පූර්ණයෙන්ම බේරා ගන්නා විට ඔවුන් ගුහාවට ඇතුලු වී දින 17ක් පසු වුනා. තාක්ෂණයට පවා භූගර්භයේ සිරවීම් ගලවාගැනීම් වලට සැළකිය යුතු කාලයක් ගතවෙන බව මෙයින් පේනවා. අපි මේ කියන්නේ තායිලන්ත සිද්ධියට පෙර ඉතිහාසයේ සිදුවූ තවත් භූගත ගලවාගැනීමේ මෙහෙයුම් කිහිපයක් ගැනයි.
1. ජෙසී මැක්ලර් – ටෙක්සාස් (1987)
එවකට මාස 18ක් වූ ජෙසී මැක්ලර් නැමැති බිළිඳිය ටෙක්සාස් හි පාළු ළිඳකට වැටුනා. සිය ගාණනක් වූ කම්කරු ජනයා ස්වේච්ඡාවෙන්ම පැමිණ, එම කුඩා ළිඳ විසාල කර ඇයව ගොඩගන්නට උත්සාහ කළා. ඇය පෑ 58ක් මීටර 7ක් පමණ ගැඹුරේ සිරවී කාලය ගත කළා.
ඇයව ගොඩ ගන්නා විට සුළු අනතුරු කිහිපයක් ඇයට සිදු වී තිබුනා. ඇයව ගොඩගෙන අවුරුද්දක් ඇතුළත සැත්කම් 15කට පමණ සිඟිති මැක්ලර් මුහුණ දුන්නා. එවකට ජෝජ් බුෂ්ගේ පාලන කාලය තුළ ඇමරිකානු මාධ්‍ය සියල්ලකම පාහේ මේ සිඟිති දියණියගේ ගලවාගැනීමේ සිද්ධිය ජනප්‍රිය වුනා. 1987 දී සිදුවූ මෙම සිදුවීමට මුහුණ දුන් ජෙසී මැක්ලර් දැන් දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක් මෙන්ම ගුරුවරියක් වෙනවා.
2. ගුහා සංචාරකයින් 7ක් – ප්‍රංශය (1999)
මෙම සිදුවීම තරමක් තායිලන්ත සිදුවීමට සමානය. නිරිත දිග ප්‍රංශයේ ගුහා සංකීර්ණයකට පිවිසුණු පළපුරුදු ගුහා පිවිසෙන්නන් පිරිසකට එකවරම අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුනා. අවට පළාත්වලට ලොකු වර්ෂාවක් ඇද හැලීම නිසා හදිසියේම ඔවුන් සිටි ගුහාවේද කොටස් ජලයෙන් යට වුනා. පළපුරුදු කණ්ඩායමක් වුවත් මෙවැනි අවස්ථාවකදී ඔවුන්ට ගැලවෙන්නට පිටතින් සහාය අත්‍යාවශ්‍යම වුනා. තායි ළමුන් ගලවා ගත්තේ ඔවුන් පිවිසි මුව කටින්ම වුවත්, මෙහිදි සිදු වුනේ ඩ්‍රිලින් මැෂින් වලින් සිදුරු කර, ඒ සිදුරු ඔස්සේ එම පිරිස ගලවාගැනීමය. දින දහයක් තිස්සේ 180ක පිරිසක් මෙම 7 දෙනා ගලවාගැනීමේ මෙහෙයුමට දායක වුනා .
3. බීකන්ස්ෆිල්ඩ් පතල් කණින්නන් බේරාගැනීම – ඕස්ට්‍රේලියාව (2006)
2006 දී ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවේ බීකන්ස්ෆීල්ඩ් හි පතලක් තුළ තිදෙනෙකු වැඩ කරමින් සිටියා. ඔවුන් බලාපොරොත්තු නොවුන පරිදි ඇතිවුන භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගියා. එහෙත් ආශ්චර්යයකින් වගේ පුද්ගලයින් දෙදෙනකු කණ්ඩායම් විසින් සොයන විට වර්ග මීටර 1.5 ක තරම් කුඩා වපසරියක් ඇති පතලේ කුඩා කුටියක් වැනි තැනක සිරවී සිටියා. තදබල පාෂාණ තට්ටු සිදුරුකර ඔවුන් සිටින බව සොයාගන්නට සොයාගැනීමේ කණ්ඩායම් වලට දින 5ක් පමණ ගත වී තිබුනා.
සෑම භූගත ගලවාගැනීමකදීම පාහේ සිටින තැන සොයාගත්තද ඔවුන් එලියට ගැනීම අලුත් ගැටළුවක්. ඔවුන් භූ කම්පාවෙන් 5 වන දිනයේදී සොයාගත්තද ඔවුන්ට එලියට එන්නට වාසනාව ලැබුනේ 14 වන දිනයේදීයි. එතෙක් කුඩා අවකාශයක ගත කළ නීරස කාලසීමාව තුළ රොක් සංගීතය අහන්නට ඕනෑ යැයි ඔවුන් ඉල්ලුවා. ඔවුන්ට රොක් සංගීතය රස විඳින්නට Mp3 ප්ලේයර හරහා අවකාශ ලැබුනා. ගලවාගැනීමේ කණ්ඩායම් වල කැපවීම නිසා දවස් 14කින් අනතුරුව ඔවුන් ගලවා ගන්නට හැකියාව ලැබුණා. ඔවුන් දෙදෙනාව නිදහස් කරගත් දිනයේම පතල් අනතුරින් මියගිය ඔවුන්ගේ සඟයාගේ අවමගුල් උත්සවය පැවැත්වීමට නියමිතව තිබීමත් සංවේදී සිදුවීමක් වුණා.
4. චිලී හි මහා ගලවාගැනීම – 2010
එදා මෙදාතුර ඉතිහාසයේ විශාලතම භූගත ගලවාගැනීමේ මෙහෙයුම සිදුවූයේ 2010 දී චිලී රාජ්‍යයේය. මීටර 700ක පතල් පද්ධතියක එක් ආගාරයක බිත්ති කඩා වැටීම නිසා පතල් වැඩකරුවෝ 33 දෙනෙකු පතල තුළ අඳුරු දෝනාවක සිර වුනා. මේ පතල අටකාමා කාන්තාරයේ පිහිටා තිබුන අතර, එය තඹ සහ රත්රන් කණින පතලක් වුනා. මේ පිරිස සොයාගත්තේ ඔවුන් සිරවී 17 වන දිනයේදීය. ඒ දිනය වන විටත් වාසනාවකට මෙන් ඒ 33 දෙනාම ජීවතුන් අතර සිටියා.
එම දෝනාවන්හි යටම දෝනාවක සිරවී සිටි මෙම 33 දෙනා සිටින තැන දක්වා කැණීම් කිරීමට ක්‍රම කීපයක්ම යොදාගත්තා. එයින් ඇමරිකානු උපක්‍රමයක් වූ 2වැනි කැණීම සාර්ථක වුනා. විශාල සිදුරක් කැණ, එය තුළට බැස්සවූ සිලින්ඩරාකාර කුටියක් ඔස්සේ චිලී පතල් වැඩකරුවන් එලියට ගන්නට මාස දෙකකටත් වැඩි, දින 69ක කාලයක් වැය වුනා.
ලොව පවතින තදම කැණීම් උපකරණ පවා ඉක්මනින් ගෙවී යන තදබල පාෂාණයක් යට මේ පිරිස සිරවී සිටීම ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් පමාවන්නට හේතු වුනා. චිලී රටේ පාපන්දු ලෝක කුසලාන තරඟයක්ද මේ කාලයේදී පැවැත්වුණු අතර, ගුහාව තුළට යැවුණු ප්‍රොජෙක්ටරයක් මගින් ඒ පතල යට සිටි පාපන්දු ලෝලීන්ද පාපන්දු තරඟය නැරඹුවා. මේ දින 69ක කාලය තුළ කුඩා අඳුරු පරිසරයක ජීවත් වීම සැබෑම අභියෝගයක්. එහිදී කිහිප විටක්ම පතල් වැඩකරුවෝ පිරිස මත්පැන් සහ සිගරට් ඉල්ලුවා. කුඩා අවකාශයක් තුළ දුම්බීම කෙසේවත් අනුමත කරන්නට නොහැකි නිසා ඔවුන්ට නිකොටින් ස්ටිකර් ලබාදෙන්නට ගලවාගන්නා පිරිස කටයුතු කළා.
දිනක් දෙකක් නොව දින 69ක් පුරා චිලී රටේ පතල් අමාත්‍යතුමා එම අඩවියට වී, ඒ මෙහෙයුම් කටයුතු ගැන සොයාබැලුවා. එසේම අවසාන ගලවාගැනීමේ අවස්ථාවට සුබ පැතීමට චිලී අගමැතිතුමාද සහභාගි වුනා. පතල් කණින වැඩකරුවෝ පිරිස ගලවාගන්නට තාක්ෂණයේ සේම මිනිසුන් විශාල පිරිසකගේ අඛණ්ඩ කැපවීම මහෝපකාරී වුනා.
5. ගුහා විමර්ෂණ විද්‍යාඥයෙකු ජර්මනියේ ගුහාවකින් ගලවාගැනීම (2014)
ගුහා විමර්ෂණය කිරීම භූගර්භ විද්‍යාවේම එන කොටසකි. ගුහා විමර්ෂණ විද්‍යාඥයෙකු ජර්මනියේ ගුහාවක ගැඹුරට පිවිසියේ සිය අධ්‍යයන කටයුතු සඳහාය. හදිසියේම ගුහාව තුළදී ඇදවැටුණු ඔහු ගුහාවේ භූ ගර්භයේ අභ්‍යන්තරයේ ගුහා කටේ සිට මීටර 1148ක් ගැඹුරේ හිර වුනා. මේ විද්‍යාඥයා සොයාගැනීමේ කාර්යයට ලොව වටා ගලවාගැනීමේ පිරිස් වල 728 දෙනෙකු සක්‍රියව දායකත්වය දුන්නා. පපුවේ සහ හිසේ අනතුරු වලට ලක් වී තිබුන විද්‍යාඥයා ඇඳක තදින් බැඳ, එය ඔසවාගෙන එලියට ගෙන එමින් අපහසුවෙන් ගුහාවෙන් එලියට ගන්නට ගලවාගැනීමේ කණ්ඩායම් වලට හැකිවුනා. ඒ මේ අනතුර සිදුවී දින 12කට පසුවයි.
6. පින්ග්යි හි ජිප්සම් පතල් කම්කරුවන් ගලවාගැනීම (2015)
2015 දෙසැම්බර් 25 වැනිදා චීනයේ පින්ග්යි හි ජිප්සම් පතලක සේවය කළ පතල් සේවකයින්ට දරුණු භූමිකම්පාවකට මුහුණ දෙන්නට සිදුවුණා. එම අවස්ථාවේ පෙර හඳුනාගත් භූමිකම්පා අනතුර නිසා පිරිසක් පතලෙන් එළියට ගැනුනා. එහෙත් අවසානයේ එහි මීටර 200ක් ගැඹුරේ සිරවී සිටි 4 දෙනෙකු දින 36ක මෙහෙයුමකින් පසුව ගලවාගන්නට චීන කාර්යමණ්ඩල වලට සිදුවුනා.
7. හයිටි හි භූමිකම්පාවෙන් ජීවිත ගලවාගැනීම (2010)
2010 දී හයිටිය මුහුණ පෑ දරුණු අනතුරෙන් දින 10කට පසු එක්සත් ජාතින්ගේ සංවිධානයද තවදුරටත් ජීවත් වන පිරිස් සෙවීමේ කටයුතු වලින් ඈත් වෙන්නට තීරණය කළා. එහෙත් එරට නාපොලි හෝටලයේ සුන්බුන් අතර සිර වී සිටි අයෙක් දින 11කට පසු සොයාගත්තා. එසේ සිරවී සිටි පුද්ගලයාගේ බාල සහෝදරයා සිය වැඩිමහලු සහෝදරයා මිය ගොස් ඇති බව පිලිගැනීමට කැමති වුනේ නැහැ. ඒ හෝටලයේ විටින් විට තම සහෝදරයා කෑ ගහන හඬක් ඔහුට ඇසී තිබුනා. පසුව කොන්ක්‍රීට් සහ සුන්බුන් ඉවත් කර සොයාබැලීමේදී හෝටලයෙහි තිබූ කුකීස්, බියර්, කොකා කෝලා ආහාර පාන ලෙස ගෙන එම පුද්ගලයා දින 11ක් පුරා දිවි රැකගෙන තිබුනා. භූමිකම්පා වලදී සහ නාය යෑම් වලදී එසේ දින කිහිපයකට පසු සුන්බුන් අතර ජීවිත සුරැකී තිබෙන අවස්ථා අඩු වුවත්, ඉතාම කලාතුරකින් හෝ එවැනි වාසනාවන්තයින් ගැන වාර්තා වෙනවා.
සිරවී සිටින, ජීවිතය අයදින ප්රාණියෙකුට මියැදෙන්නට ඉඩ දීමට ලොව පුරා හදවත ඇති කිසිදු මනුෂ්‍යයකුට හිත හදාගන්නට අමාරුය. තායිලන්තයේ ළමුන් සිරවීමේ සිද්ධියේදී මුළුමහත් තායිලන්තයම දරුවන්ගේ ගැලවීම වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කළා. මුලු ලොව පුරා නන් දෙසින් ඔවුන්ගේ ගලවාගැනීමේ මෙහෙයුම් වෙත ආධාර උපකාර ලැබුනා. එනම් ලොව කෙතෙක් බෙදීම් තිබුනද විපතක් වූ කල මිනිසුන්ගේ හදවත් එක් අරමුණක් ඔස්සේ පෙළගැසී විපතට පත් ජනයාගේ සුවපහසුව වෙනුවෙන් පෙනී සිටිනවා. සිරවී ඇත්තේ ගුහාවක ජීවිත කිහිපයක් වුවත්, ඒ ගලවාගැනීමෙන් සිතට සහනය ලබන බිලියන ගණනක හිත හොඳ මිනිස්සු කණ්ඩායමක් අද ලෝකයෙහි ඉන්න බව මේ මගින් අපිට පේනවා.
Cover Image Source – forward.com
Leave a Reply