ගෙදර බුදුන්ය කියල කියන්නෙ අම්මට. බුදුවෙන්න විවරණ දෙනව කියන්නෙත් අම්මලා. තමුන්ගෙ දරුවන්ගෙ ජයග්‍රහණෙදි සතුටු වෙන්නෙ අම්මලා. දරුවන්ව ඒ ජයග්‍රහණෙට ගෙනියන්නෙ අම්මලා. ළමයින්ව හොස්පිට්ල් එකේ ටොයිලට් වලේ දාලා යන්නෙත් අම්මලා. දුවව වෑන් ඇතුළෙ වෙනිං පිරිමින්ට විකුණන්නෙත් අම්මලා. ළමයින්ගෙන් හම්බුකරගෙන කාලා ළමයින්ගෙ අනාගතේ නැති කරන්නෙ අම්මලා. ඒ ඒ අම්මලාගේ ඒ ඒ හැටි සොබාවල් තියෙනවා. අම්මා කියන්නෙ උතුම් පදවියක් වුනාට ඒක දරන්න එන්නෙ විවිධ ගති ගුණ තියෙන මිනිස්සු නිසා අපිට හැම අම්මගෙන්ම එකම උතුම් බව බලාපොරොත්තු වෙන්න බෑ.
1. මොකද්ද මේ බිබිල?
තමුන්ගෙ දරුවා ගැන අතිශය සැළකිලිමත් අම්මලා දකින්න පුළුවන්. ඒක හොඳක් වගේම වෙලාවකට නරකක්. ඒ අය ළමයා පුංචි කාලෙ දරුවට ඉක්කාවක් වැටුණු ගමන් දොස්තරලට කෝල් කරලා, තවත් අඳුරන අම්මලාට කතා කරලා, විස්තර හොයලා බලන අය. ඒ අයම තමයි දරුවා ලොකු වුනාට පස්සෙත් චුට්ටක් රෑ වුනාම, වැඩිපුර වෙලාවක් කෝල් එකක හිටියම, බත් අඩුවෙන් බෙදාගත්තම, වෙනදට අඳින ඇඳුමට වඩා වෙනස් ඇඳුමක් ඇන්දම කලබල වෙන්නෙ. එහෙම අම්මලා දරුවගෙ ආරක්ෂාවට හොඳ වුනාට දරුවගෙ පෞර්ෂයට තරමක අවුලක්. දරුවාව යාළුවො අතරෙ කොන්වෙන්නත් පුළුවන් එහෙම අම්මලා නිසා.
2. ඉන්න මං කරන්නං!
අම්මෝ මෙහෙම අම්මලා නං ෂෝක් කියල ලෝකෙට පෙනුනට දරුවාට ලොකු නරකක් මේ අම්මලා නිසා සිද්ධ වෙන්න පුළුවන්. පුංචි කාලෙත් දරුවගෙ ගෙදර වැඩත් කරලා, විභාගවලට දරුවට වඩා මහන්සි වෙච්ච අම්මලා තමයි මේ. මේ අය දරුවා ලොකු වෙද්දි දරුවට කඩේ යන්න දෙන්නෙ නෑ, තමුන්ගෙ ඇඳුමක් හෝදගන්න පුරුදු කරවන්නෙ නෑ, කොටිම්ම දරුවා ඉගෙන ගත යුතු අංශය, දරුවා කරන්න ඕන රැකියාව සෙවීම පවා මේ අය අතින් සිද්ධ වෙන්නෙ. මෙහෙම අම්මෙකුගෙ දරුවෙක් කසාද බඳින ගෑණු ළමයෙක් නැන්දම්මා – ලේලි ගැටුමට මැදි වෙන්න ලොකුවටම ඉඩ තියෙනවා.
3. පුතේ…
මෙහෙම අම්මලට තමයි දරුව වැඩිපුරම ආදරේ. ගෙදර එනකං තේක හදාගෙන ඉන්න, හැමදාම පුංචි දේකින් හරි තමුන්ගෙ දරුවගේ හිතේ සතුටම පතන, දරුවට පුළුවන් හැම විදියකින්ම උදවුවක් කරන, දරුවත් එක්ක නිදහසේ වාඩි වෙලා කතාකරන, දරුව ගැන විශ්වාස කරන මේ අයගෙ එකම අවුල තමයි දරුවා මුරණ්ඩු වුනොත් හරිමගට ගන්න සැර කරන්නවත් මෙයාලා කටයුතු කරන්නෙ නැති එක. හැබැයි මෙහෙම ගතිගුණ අස්සෙ හැදෙන දරුවෙක් මුරණ්ඩු වෙන්නෙත් කළාතුරකින්. මේක හුරතලයක් විදියට වැරදියට ගන්නෙපා. මේක ලෝකෙ උතුම්ම ආදරේ.
4. ඩෝන්ට් කෙයා
ගෙදරින් බල කරපු නිසා හෝ නොහිතපු මොහොතක හැදුණු දරුවෙක් නිසා සමහර අම්මලාගෙ දරුවාට ඇති කැමැත්තක් නැති තරම්. ලෝකාපවාදයෙන් බේරෙන්න හැදුවට මොකද, දරුවාගේ කෑමක් ගැන, ගතිගුණ වර්ධනයක් ගැන, නින්දක්, අසනීපයක් ගැන නොතකන, නොහිතන මේ අම්මලා තමුන්ගෙ හැඩ රුව ගැන හිත හිත තමුන්ගෙ සිහිනය හඹා යනවා. ලංකාව ගබ්සාව මහා තිරිසන් ක්‍රියාවක් විදියට දකින රටක් වුනත්, මෙහෙම අම්මලා දකිද්දි ඒක වැරදියි කියලත් හිතෙනවා. මේ විදියෙ අම්මලාගෙ ළමයි ලොකුවෙද්දි වැරදි වැඩවලට පෙළඹෙන්න තියෙන ඉඩ කඩ බොහොමත්ම වැඩියි. ඒ් ඔවුන්ගෙ අම්මලා ඔවුන්ව නිවැරදි මාර්ගෙ යවපු නැති නිසායි.
5. ලේසියටත් පහසුවටත්
මේ කියන ගොන්නෙ අම්මලා හැමදේම කරන්නෙ ලේසියටයි පහසුවටයි. සෙම චුට්ටක් වැඩි වුනාට මොකෝ ඔන්නොහේ කියලා පිටි කිරි දෙනවා. වැඩි යමක් නොහොයා ඩේ කෙයා එකකට දානවා. අම්මලාට දරුවා බලාගන්න දීලා තමුන්ගෙ වැඩ කරගන්නවා. දරුවා කෑම නොකනවා නම් පුංචි කාලෙදි දරුවා කන්න කැමති ස්නැක් එකක් දීලා ප්‍රධාන කෑම වේල් මග අරිනවා. මෙහෙම අම්මලාගෙ ළමයින්ගෙ එක හොඳක් තියෙන්නෙ ඒ අය ගොඩක් බබා ටයිප් වෙන්නෙ නෑ. ඒ නිසා පුංචි කාලෙදිම එයාලගෙන් තරමක් පරිණත ලක්ෂණ දකින්න පුළුවන්.
6. එපා!
දරුවා කරන හැම දේකටම එපා කියන අම්මලාත් වෙනම කාණ්ඩයකට ගන්න පුළුවන්. ළමයි පුංචි කාලෙ ඉඳන්ම ලෝකය අඳුරගන්න ඕන. එතකොට තමයි ලොකු වුනාම තමුන්ගෙ වැටහීමක් ඇතුව සමාජෙට මුහුණ දෙන්න ඒ අයට පුළුවන් වෙන්නෙ. නමුත් මේ කියන අම්මලා ඒ දැනුම ළමයට ගන්න ඉඩක් දෙන්නෙ නෑ. වැලි අල්ලන්න දෙන්නෙ නෑ. පුංචි කාලෙම වැලි මිරිකන එකෙන් ළමයින්ගෙ අත් හොඳින් හැඩ ගැහෙනවා වගේම සියුම් වැඩ කරන්න දරුවන්ට හැකියාව ලැබෙනවා. දැවිල්ල වගේම සීතල දේ කන්න දෙන්නෙ නෑ. මේ නිසා දරුවා වැඩිමල් වෙද්දිත් පොඩි දැවිල්ලකදි පවා දිව උල් කරගන්න, අයිස්ක්‍රීම් එකක් කාපු ගමන් හෙම්බිරිස්සාව හැදෙන දරුවෙක් බවට පත්වෙනවා. අනිත් කාරණේ තමයි මෙහෙම අම්මලාට ඉක්මනට කේන්ති යනවා. මොකද ළමයා කරන දේවල් අතරේ හැම තිස්සෙම වගේම අම්මා එපා! කියන දෙයක් තියෙනවනෙ.
7. අතිශය සාම්ප්‍රදායික
මේ අම්මලා බොහෝමයක් දකින්න පුළුවන්. ළමයා කියන කාරණේට ආවම අපි ඉන්නෙ නවීන ලෝකෙක කියල මේ අයට දැනෙන්නෙම නෑ. ළමයා ලොකු වෙනකංම තමුන් ගාවම නිදාගන්න ඕන, ළමයා තමුන් කියන දේම කරන්න ඕන, ළමයා තමුන් හදන දේම කන්න ඕන, කියල හිතන මේ අම්මලා ළමයාගෙ අසනීපයකදි වුනත් දොස්තර මහත්තයෙක් මුණගැහෙන්න කලින් තමුන්ගෙ ගොඩ වෙදකං රොත්තක් කරනවා. ඒ වගේම තමුන්ගෙ ළමා කාලෙ කරපු සෙල්ලං සහ වැඩ ටිකම තමුන්ගෙ ළමයාටත් පුරුදු කරවනවා. මෙහෙම අම්මලා ළමයි ලොකුවෙලා එයාලා වෙනස් විදියට හැදෙද්දි ඒ ගැන කේන්ති ගන්නවා.
8. අංක එකේ අම්මලා
තමුන්ගෙ දරුවාට නිදහස දෙන, දරුවාගේ හොඳ දේට උදවු කරන, නරක දෙයින් දරුවාටත් නොදැනෙන්න වළක්වන, දරුවාගෙ කෑම වේලකින් පවා දරුවාට වෙනස් අත්දැකීමක් එක් කරන, හැම පොඩි දේටම දරුවව හොස්පිට්ල් ගාණෙ නොගෙනියන, කරන පොඩි වෙදකමක් පවා හොයලා බලලා කරන, දරුවා ලොකු වුනාම අධ්‍යාපනය වගේම හැම අංශයකටම දරුවව යොමු කරන, දරුවගෙ කැමැත්තත් හොයලා බලන, දරුවාට පවුලේ වටිනාකම දැනෙන විදියට වැඩ කරන අංක එකේ අම්මලා හොයාගන්න අඩුයි. හැබැයි කලාතුරකින් දකින්න ලැබෙන මේ අම්මලා තරම් දරුවකුගේ ජීවිතයට තවත් තෑග්ගක් නැති තරම්. මෙහෙම අම්මෙක් ඉන්න දරුවෙක් තමන් දියුණු වෙනවා වගේම අනුන්ටත් උදවුවක් වෙන දරුවෙක් වෙනවා.
9. කමු!
මේ අම්මලා දරුවා ගැන හිතන්නෙත් බලන්නෙත් ප්‍රධාන වශයෙන් එක දේකට විතරයි. ඒ තමයි කෑම. මේ අම්මලාගේ ආසාව කුකින් කියන සබ්‌ජෙක්ට් එක වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. ඒ නිසා විවිධ හැඩේට හදපු, විවිධ රසේට හදපු කෑම අප්‍රමාණව තමුන්ගෙ දරුවගෙ කුසේ පුරවන්න මේ අම්මලා කටයුතු කරනවා. මේ අම්මලාගෙ ළමයින්ට අධි පෝෂණේ එන්න පුළුවන්, කම්මැලි වෙන්න පුළුවන්, ලොකු වෙද්දි ලොකු බඩවල් එන්න පුළුවන්, කියන්නත් දුක වුනත් සමහර ළමයින්ට මේ නිසා ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙලා තියෙනවා.
10. මේක කරන්න!
තමුන් කැමති දේවල් දරුවන්ගෙන් කරන්න හදන අම්මලා කියන්නෙත් හිතාගන්න බැරි ජාතියක්. තමුන් කැමති නිසා දරුවගේ කොණ්ඩේ දරුවගේ අපහසුතා ගැන නොහිතාම දිගට වවන, තමුන් කරන නිසාම තමුන්ගෙ දුවගේ කනෙත් වැඩිපුර කරාබු දාන අම්මලා ඕනතරම්. ඒ අය ළමයින්ගෙ කැමැත්තක් හිතන්නෙම නෑ. මෙහෙම අම්මලා තමුන්ගෙ දරුවො ලොකු වුනාමත් ඒ අයව අතාරින්නෙ නෑ. දරුවා සින්දු කියන්න කොච්චර දක්ෂ වුනත්, වෛද්‍ය වෘත්තියට තමුන්ගෙ දරුවව යොමු කරන්න, තමුන් කැමති විදියෙ ලේලියෙක් දරුවට බලෙන්ම බන්දලා දීලා දරුවගෙ අනාගතේම අඳුරු කරවන්නත් මෙහෙම අම්මලාට පුළුවන්.
11. පාඩම් පුතේ!
මේ කියන අම්මලාට දරුවාගේ අසනීපයක්, කැමැත්තක් අදාළම නැති තරම්. මේ අම්මලාට ඕන දරුවා ඉගෙනගැනීම විතරයි. ඒ වගේම මේ අම්මලා දරුවාට ක්‍රීඩාවකට යොමුවෙන්න, චිත්‍රයක් අඳින්න යොමුවෙන්න ඉඩක් දෙන්නෙත් නෑ. මෙහෙම අම්මලා නිසා මේ රටට දක්ෂ කලාකාරයො ක්‍රීඩකයො මහගොන්නක් අහිමි වෙලා ඇති. මේ අය කියන ප්‍රසිද්ධම කතා විදියට ‘චිත්‍ර ඇඳලා කාටද හරිගියේ?, කෝටි දෙකක් ඉන්න රටේ ක්‍රිකට් ගහන එකොළහට යන්න පුළුවන්ද උඹට?’ වගේ ඒවා දක්වන්න පුළුවන්.
Cover Image Source – theodysseyonline.com
Leave a Reply