කොෆි ෂොප් කියන්නෙ ආදරවන්තයො වැඩිපුරම ගොඩ වෙන තැනක්. ඒ නිස්කලංකව තමුන් ආදරය කරන කෙනා එක්ක කතාවක් දාගෙන ඉන්න පුළුවන් වීම කියන මූලිකම හේතුව නිසායි. ඒ වගේම කෝපිවලට කැමති නැති, ආදරයට වැඩි නිදහසක් බලාපොරොත්තු වෙන අයට ගැලපෙනම තැන් තමයි අපි අද කියන මේ තේ කඩ ටික. කොච්චර රස්නෙ රටක් වුනත් අපි තේ බොන්න කැමති ජාතියක්නෙ. කෝපි කඩ වගේම ටිකක් මිල ගණනෙනුත් වැඩි, රසින් සහ විශේෂතාවලිනුත් වැඩි මේ තැන්වල ආදරවන්තයො වගේම නිදහසේ බිස්නස් ටෝක්ස් දාන්න එන අයත් ඉන්නවා. ඒ අතරෙ ඇත්තම තේ රසිකයොත් ඉන්නවා. සාමාන්‍යයෙන් ගෙවල්වලට ගේන ඩස්ට් එකට වඩා ඇත්තටම රසින් අනූන තේකක් මේ තැනකින් බිවුවොත් ඔයාලා මිල ගණන ගැන තැකීමක් කරන එකක්ම නැහැ.
1. Tea Avenue
බාන්ස් ප්ලේස් එකේත්, මැරීන් ඩ්‍රයිවු එකෙත්, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේත් තියෙන මේ තේ කඩේ පෙනුම හොඳයි, කෑමත් හොඳයි. මෙතන තේ රසයි සහ තේවල ලොකු විවිධත්වයක් තියෙනව. සාමාන්‍යයෙන් ගෙදර හදන තේ වගේම පෙට්ටි කඩෙන් බොන ප්ලේන් ටී, අයිස් තේ, ග්‍රීන් තේ, ලාටේ, හර්බල් තේ, තව ඔය එක එක රස තේ ඔක්කොම මෙතන තියෙනව. නියම වොෆල්ස් වටේ ක්‍රන්චි ඇතුළ සොෆ්ට් එකට ගන්න රස රැසකින් තියෙනවා.කහට රස හොඳට දැනෙන විවිධ රසයෙන් යුතු තේ වගේම ඔයත් එක්ක යන අනිත් කෙනා කෝපි කෙල්ලෙක් හරි කෝපි කොල්ලෙක් හරි නං එයාට අරංදෙන්න කෝපි වර්ගත් මෙතන තියෙනවා. ඒත් ඉතිං නියම තේ කඩේකට ගිහින් හොඳට සුවඳ දෙන, කහට පදම නියමෙට තියෙන, ලස්සනට පිළිගන්වන තේකක් නොබොන එකනං අපරාදයක්.
තැන මෙතන-
2. Tea Talk
මහ ගණං අය නොකරන, සාමාන්‍ය කෑම ජාති ටිකක්, තේ ජාති ටිකක් තියෙන කඩයක්. රසින් අනූනයි. තේ විවිධ විදියට පිළිගන්වන මේ කඩේ තියෙන්නෙ පාක් රෝඩ් එකේ. කිරි රසට වැඩිපුර ආස කරන තේ ලෝලීන්ට මේ කඩේ රසින් අනූන ඔප්ෂන්ස් කිහිපයක්ම තියෙනවා. එළිමහනෙ තියෙන ඉඩකඩේත් සරළව ඒත් ලස්සනට හදපු ලී මේසෙක වාඩි වෙලා රසින් වැඩි, මිලෙන් අඩු තේකක් තොල ගාන්න මෙතන කදිමයි. කතාබහක් දාගෙන ඉන්න කියාපු තැනක් වෙච්ච මෙතනින් කාමරයක් ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන එළිමහන වගේම සුවපහසු ඇතුළතත්, දිග කතාබහකට බාධක නැති, තේකකින් රසවත් වෙන වෙලාවක් උදාකරාවි.
තැන මෙතන-
3. Heladiv Tea Club
ඩච් හොස්පිට්ල් පරිශ්‍රයේ තියෙන මේ තේ කඩේ, බොහෝ තැන්වල තියෙන මොක්ටේල් මට්ටමෙන් අඩියක් උඩට තියලා මධ්‍යසාරත් දාලා හදන තේ කොක්ටේල්වලට කියාපු කඩයක්. ජින්, වොඩ්කා, ට්‍රිප්ල් සෙක්, හෙළදිව් සවර්සිප් තේ, දෙහි හා සෝඩා තියෙන තැප්‍රොබානා අයිස් තේ එකක් වගේ බොන්න මේක කියාපු කඩේ. අතුරුපස වගේම තව කෑම ජාතිත් කන්න තියෙන මෙතන, ලොකුවට පෝෂන් තිබුනත් හොඳට කන්න බොන්න දෙන්නෙකුට දෙදාහකට උඩින් වියදමක් යන බව නං කියන්න පුළුවන්.
තැන මෙතන-
4. Tea Triumph
තේකඩ ආරම්භ වෙන මුල් කාලෙ පටන්ගත්තු තරමක් අප්‍රසිද්ධ තේ කඩයක් වුනාට මැරීන් ඩ්‍රයිවු එකේ තියෙන තේ වෙනුවෙන්ම සුවිශේෂ මේ කඩේ ගැන කියන්න ඕනමයි. කන්න දේවල් නැති වුනත් විවිධ රසින් තියෙන තේවලින් කුස ගිනි කප්පරක් නිවලා හිතට නියම ආශ්වාදයක් දෙන්න මෙතනට පුළුවන්. ඕනනං එයාලගෙන් තේ කුඩු අපිට අරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කෝපි අවන්හල්වල වගේ මහා ගාණක් අය නොකරන තේ කෝප්පයක් රසට තොළ ගාන්න මෙතන කදිමයි. මින්ට් රසට, පළතුරු රසට තියෙන තේ රසින් අනූන තේකක් බොන්න පුළුවන් මේ තේ කඩේ ඇත්තටම නමේ හැටියටම තේ ජයක් තමයි.
තැන මෙතන-
5. Tea Breeze
තැන් කිහිපයකම තියෙන ටී බ්‍රීස් එකෙන් අපි ගියේ රේස්කෝස් පරිශ්‍රයෙ තියෙන මේ කඩේට. මේ තේ කඩේ කෑමත් තියෙන බීමත් තියෙන තැනක් වගේම ඒ දෙකම රසට තියෙන තැනක්. තැනත් හොඳයි. ගාණත් ෂේප්. ලංකාවෙ ඒ ඒ පළාත්වලට අවේණික තේ විදියටත් මෙතනින් තේ අරගන්න පුළුවන්. තේ ටැන්ටලයිසර් යටතේ මින්ට් තේ, අයිස් තේ, ඇපල් තේ, අඹ තේ, ස්ට්‍රෝබෙරි තේ වගේ තෝරාගන්නට පුළුවන්. තේකට වගේම තේකත් එක්ක කෑමටත් මෙතන බොහෝදේවල් තියෙනව. ඔයා ආස පැණි රස දෙයක් කන්නනං ඒ විදියටත්, දැවිල්ල දෙයක් කන්නනං ඒ විදියටත් තේ විවිධත්වය වගේම ආහාර විවිධත්වයත් තියෙන තැනක් තමයි මේ. චොකලට් සෝස් දාලා අයිස්ක්‍රීම් දාපු වොෆල් එකක් කන ගමන් අයිස් තේකක් තෝරගන්නවද නැත්තං මුලින්ම කියපු ටී ටැන්ටලයිසර් එකක් තෝරගන්නවද කියල හිතාගන්න බැරුව අතරමං වෙන තත්ත්වයක් තමයි මේ තේ කඩේ ඇතුළට ගියාම ඇතිවෙන්නෙ.
තැන මෙතන-
6. Dilmah t-Lounge
උණුවට පිළිගන්වන සාමාන්‍ය තේ කෝප්පයක් වගේම ශීත කරපු තේ ශේක්ස්, අයිස් තේ සහ තේ මොක්ටේල්ස් බොන්න කදිම තැනක් විදියට චැතම් වීදියෙ වගේම රේස්කෝස් පරිශ්‍රයේත් තියෙන ඩිල්මා තේ කඩේ හඳුන්වන්නට පුළුවන්. දැන් වහලා තියෙන ඔඩෙල් පරිශ්‍රයෙ තිබුණ ඩොටීගෙ තේ කඩේ තරම් ඉහළ මිල ගණන් නැතත් මෙතනත් සැළකිය යුතු ඉහළ මුදලක් තේකක් වෙනුවෙන් ගෙවන්නට සිද්ධ වෙනවා. විවිධ රසයෙන් තේ බොන්නට පුළුවන්කම මෙතනදී ලැබෙනවා වගේම විවිධ පන්නයේ පැණිරස වගේම කට දැවිල්ල ආහාර ගන්නත් මේ තේ කඩයේදී හැකියාව තියෙනවා. නියම රසට තේ පිළිගන්වනවා වගේම ඒවට ආස හිතෙන නම් දාලා තියෙන විත්තියත් මෙතනට ගියොත් දකින්න පුළුවන්.
තැන මෙතන-
7. Ceylon Tea Lounge
සුද්දොත් සැලෙන දෙයක් විදියට සිලෝන් ටී හඳුන්වන්න පුළුවන් නිසා ඒ නමින් තියෙන මේ තේ කඩෙත් අපේ ලැයිස්තුවට දාන්න ඕනමයි කියලා හිතුවා. කෑමත් බීමත් තියෙන, මුදලින් ටිකක් වැඩි වියදමක් යන පොෂ් කඩයක් වෙච්ච මේක තියෙන්නෙ ආර්. ඒ. ඩි මෙල් මාවතේ. මේකෙ ගන්න තියන ඉන්දු පකිස්ථානු රස චායි වර්ග වැඩි සැරක් නැති වෙනස් අත්දැකීමක් විදියට දක්වන්න පුළුවන්. කෑම ජාති ටිකත් තේ වර්ග තරමටම හොඳ වෙනස්කම් ටිකක් එක්ක ඉදිරිපත් කරලා තියෙන නිසා මෙතන තේ ලෝලියෙකුට වගේම බටහිර පන්නයේ කෑම ලෝලියෙකුටත් කදිමයි. කදිමෙට නිර්මාණය කරපු ඉන්ටීරියර් එක ගැනත් විශේෂ සඳහනක් දක්වන්න ඕන. ඒ වගේම තේ කොළ මිලදීගන්නත් පුළුවන්.
තැන මෙතන –
Cover Image Source – ceylonblacktea.com
Leave a Reply