විවාහ ජීවිතයේ අග්‍රඵලය කියලා කියන්නේ දරුවෙක් මල්ලෙක් හදාගන්න එක කියලනේ සමාජයේ මතයක් තියෙන්නේ. දෙන්නා තුන්දෙනා වෙලා ඊට පස්සේ තව තව පැටව් පවුලට එකතු වෙනවා. මුල්ම දරු පැටියා කුසේ තියාගෙන, හිසේ ඉඳන් පාදාන්තේ දක්වා අම්මා කෙනෙක් වෙන එකේ කික් එකෙන් ඉන්න ඔබට මේ දේවල් වැදගත් වේවි. අම්මට විතරක් නෙවෙයි. තමන්ගේ ලෙයින් ජාතක වෙන කිරි සප්පයා වෙනුවෙන් මේ කාරණා ගැන දැනුවත්ව ඉන්න එක තාත්තාටත් හොඳයි.
1. ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් වීම

Source – communitynewscommons.org
දරුවෙක් කුසට එන්නත් කලියෙන් මුලින්ම හිතන්න ඕනි දේ තමයි මේ. ළමයි හැදුවා වගේ නෙවේ ඒ පොඩ්ඩොන්ට සෑහෙන අවශ්‍යතා තියනවා. ඒවා සපුරාගන්න හොඳ ආර්ථික මට්ටමක් තියෙන්නම ඕනි. සාමාන්‍යයෙන් ළමයි පාරේ දාලා යන කතා අහන්න ලැබෙන්නේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඉක්මන් වීම නිසයි.
2. පෝෂණීය දේවල් ආහාරයට ගැනීම

Source – Imgur.com
පොඩ්ඩාව කුසේ දරාගෙන ඉන්න කාලයේදී වගේම මව්කිරි බොන කාල වකවානුවෙත් ජීවිතේට නොකාපු මැල්ලුම්, මාළු වගේ පෝෂණීය දේවල් කන්න ඕනි. ඒවායෙන් තමයි දරුවා යැපෙන්නේ. ඉතින් කරුණු කාරණා එහෙම වෙද්දී ක්ෂණික ආහාර වගේ දේවල් ආහාරයට ගත්තොත් පොඩි එකාට යනඑන මං නැති වෙනවා. ඉවක් බවක් නැතුව දහජරාව කෑමෙන් වෙන සන්තෑසිය මෙන්න මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්
3. ක්‍රියාශීලි පැවැත්ම

Source – videoblocks.com
බබෙක් හම්බෙනෝ කියලා කේක්ගෙඩිඅප්පු වගේ ඇඳක් උඩට වෙලා මුකුත්ම නොකර ඉන්න නරකයි. ගර්භනී කාලයේ දී කරන ව්‍යායාමවලින් මානසික ආතතිය නැති කරනවා වගේම ප්‍රසූතියේදී ඕනි කරන ශක්තිය ලබා දෙනවා. ව්‍යායාම කරනවා කියලා වෘත්තීයමය කාය වර්ධන ශිල්පීන් වගේ ඩම්බල් උස්සන්නයි බාර් ගහන්නයි යනවා එහෙම නෙවේ. ගර්භනී කාලයේදී කරන්න සුදුසු ව්‍යායාම විදියට පිහිනීම, ඇවිදීම වගේම ඇරොබික්ස් හඳුන්වන්න පුළුවන්. ඔය වෙන මුකුත් ඕනි නෑ ගෙදර දොරේ වැඩ කරා නම්. ඒ කිව්වේ නැවෙන, පෙරළෙන ඒවා නෙවේ. පිටි කොටන, අතුගාන වගේ ඒවා.
4. වැදගත් දේවල් ලියා තබන්න

Source – pinterest.co.uk
ඒ කිව්වේ දොස්තරලා හම්බවෙන්න යන්න ඕනි දවස්, ඒ අය දුන්න උපදෙස්, කන්න ඕනි හොඳ දේවල් වගේම කවදාහරි දවසක හැරිලා බලද්දී ජීවිතයේ මෙහෙමත් කාලයක් තිබ්බාය කියලා සතුටු හිතින් බලන්න පුළුවන් විදියේ මතක ලියා තියන්න. මේ හැම දේටම පුංචි ඩයරියක් පාවිච්චි කරන්න පුළුවන්. දරු පැටියා ඉස්සෙල්ලාම කුසට ආපු දවස, ඉස්සෙල්ලාම ෆුට්බෝල් පාරක් ගහපු දවස වගේ ඒවා.
5. සැපපහසු විදියට අඳින්න

Source – pinterest.com
සමහරු කැමතියි තමන් ගැබ් අරන් කියලා පෙන්වන විදියේ ඇඳුම්වලට. තවත් අය එහෙම නෑ. කොහොම වෙතත් මේ දෙපාර්ශ්වයටම කියන්න තියෙන්නේ තමන්ගේ ඇඟට පහසුයි කියලා දැනෙන විදියේ ඇඳුම් අඳින්න කියලයි. සැහැල්ලු ඇඳුම් තමයි අඳින්න ඕනි. ඇඟට හිර වෙච්ච ඇඳුම් ඇන්දාම බබෙක් නැතත් ඇඟට අපහසුයි. අනික මේ කාලවකවානුවේ ඇඟේ තියෙන උෂ්ණ ගතිය වැඩියි. ඉතින් තවත් ඇඟට රස්නේ දැනෙන විදියේ අමුද්‍රව්‍ය භාවිත කරන්නේ නැතිව හොඳ කපු රෙද්දෙන් යුතු ඇඳුම් භාවිත කරන්න.
6. වෛද්‍යවරයා හමුවන්න

Source – motherhealth.in
ප්‍රසූතිය සිද්ධ කරන්න ඔබ තෝරගන්න වෛද්‍යවරයා ඔබේ ස්වාමිපුරුෂයාටත් වඩා ඔබ ගැන දැනගෙන ඉන්න ඕනි. විහිළුවකට කියනවා නෙවෙයි, සමහර බිරින්දෑවරු පවුලේ පාරම්පරිකව තියෙන සමහර ලෙඩ යටගහනවා. නමුත් මෙතනදී ඒ සෙල්ලම් බැහැ. වෛද්‍යවරයා විසින් ඔබව හොඳටම අධ්‍යයනය කරලා හමුවෙන්න මාසිකව පැලෑනක් කියනවා. මේක අම්මාගේ තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයස අවුරුදු 35ට වැඩි නම්, දියවැඩියාව වගේ සෞඛ්‍යය ගැටලු තියනවා නම් අදාළ වෙනස්වීම් වෙනවා. වෛද්‍යවරයා හමු වුණාම පළවෙනි වතාව නිසා සබකෝලය නැතුව සැක තැන් තියෙනවා නම් විසඳගන්න ඕනි. මොකෝ නැත්නම් ඕවා මහත්තයා කියලා දෙයියැ.
7. හිත සතුටින් තියාගන්න

Source – huffingtonpost.com
ගර්භනී කාලේ කියන්නේ නිදහසේ ඉන්න තියෙන අන්තිම කාලේ. බබා හම්බුණත් හරි ඉතින් ආයේ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්. අන්න ඒ නිසා තමන් වෙනුවෙන් කාලය වැය කරන්න. යාළුවොත් එක්ක ඩිනර් අවුට් එකකට යන්න, චිත්‍රපටයක් බලන්න යන්න, ආස කරන සින්දු අහන්න, පැය 8ක නින්ද ලබලා ඊට අමතරව අවශ්‍ය නම් දවල් කාලයේ පොඩි නැප් එකක් දාන්න. එහෙම නැතුව බිරන්තට්ටු වෙලා හිටියම ඒ මානසිකත්වය කෙලින්ම ප්‍රසූතියේ දී බලපාන්න පුළුවන්.
Cover Image Source – growingyourbaby.com
Leave a Reply