අශෝක් ෆෙරීට අනුව ලේඛකයා කියන්නේ ඉන්ද්‍රජාලිකයෙක්. ඔබ දන්නා දෙයකින් ඔබ කෙදිනක හෝ දැක නොතිබූ අපූර්ව දෙයක් මැවීමට එම ඉන්ද්‍රජාලිකයාට හැකියි. මේ ඉන්ද්‍රජාලිකයාට වුවමනා නම් පාඨකයා ඉදිරියේ අනපේක්ෂිත ලෙසින් අලියෙකු මවන්නට හැකියි. ඒත් තවත් ලේඛකයෙකු විසින් අලියකු මවනා බවට කල්තියාම අඟවා අලියා මවන අතර, පාඨකයාට කිසිදු අපූර්වත්වයක් නොදැනෙයි. හොඳ සහ නරක නිර්මාණයක වෙනස එයයි. මෙහෙම කියන අශෝක් ෆෙරීව ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය කියවන අය දන්නේ නවකතාකරුවෙක් සහ කෙටිකතාකරුවෙක් විදියට. හැබැයි අශෝක් ෆෙරී කියන්නේ සාහිත්‍යකාරයෙක් විතරද?
1. කවුද මේ අශෝක්?
අශෝක් ෆෙරීව හඳුන්වන්න පුලුවන් එක විදියක් තමයි ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කෙටිකථාකරුවෙක් සහ නවකතාකරුවෙක් කියන එක. ඇත්තටම අශෝක් ෆෙරී කියන්නේ කොළඹ දකින්න ලැබෙන අයිකන් එකක් කියන එක හරි. ඒක සාහිත්‍යයට විතරක්ම අදාළ නැහැ. අශෝක් ෆෙරීව ගාළු සාහිත්‍ය උළෙලේදී අනිවාර්යයෙන්ම වගේ දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම කලම්බු ෆැෂන් වීක් එක වගේ ඉවෙන්ට් එකක වුනත් අශෝක්ව දකින්න ලැබෙන එක පුදුමයක් නෙවෙයි. මිස් ශ්‍රී ලංකා තරගයේ විනිශ්චයකාරයෙක් විදියට අශෝක්ව දකින්න ලැබෙන එකත් ඒ විදියටම කිසිම අරුමයක් තියෙන දෙයක් නෙවෙයි. කොයි වෙලාවක හරි ඩෙනිමකුයි බැනියමකුයි ඇඳගෙන කුරුඳුවත්තේ තමන්ගේ පැරණි පන්නයේ ගෙදර ඉදිරිපිට අශෝක් ඉන්නවා දකින්න ලැබෙන එකත් කිසිම පුදුමයක් නෙවෙයි! ඇත්තටම අශෝක් ෆෙරී කියන්නේ හරිම නිහතමානී, සරල මනුස්සයෙක්. ඒ ගැන අශෝක්ව එක දවසක් හරි දැන අඳුනගෙන තියෙන ඕනෑම කෙනෙක් සාක්ෂි දරයි.
2. අශෝක්ගේ ඉතිහාසය
අපි අශෝක් ෆෙරී කියලා හඳුනාගත්තට ඇත්තටම අශෝක් නෙවෙයි අශෝක්ගේ නම. අශෝක් ෆෙරී කියන්නේ සාහිත්‍ය ජීවිතය වෙනුවෙන් ලබාගෙන තියෙන අන්වර්ථ නාමයක්. ඇත්ත නම වෙන්නේ සුරේෂ් මුදන්නායක. ඒත් අපිට දැනෙන්නේ අශෝක් ෆෙරී කියන නම නිසා අපි ඒ නමෙන්ම කතා කරමු.
අශෝක් ඉපදෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹදී. අශෝක් හැදෙන්නේ වැඩෙන්නේ දකුණු අප්‍රිකාවේ. අශෝක්ට වයස අවුරුදු 8 වෙනකොට අශෝක්ගේ පියා ඔවුන්ව සෝමාලියාවට අරගෙන යනවා. අශෝක් ඉගෙනීම ලබන්නේ එංගලන්තයේ සසෙක්ස් හි තියෙන බෙනඩික්ටයින් ආශ්‍රමයේ. මේ ආශ්‍රමය තියෙන්නේ සසෙක්ස් ප්‍රාන්තයේ සුන්දර වනගහණයන් බහුල ප්‍රදේශයක. කොහොමහරි පසුකාලීනව අශෝක් ෆෙරී ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධිත ක්‍රයිස්ට් චර්ච් හි ශුද්ධ ගණිතය ඉගෙනගන්නවා. ඉන් පස්සේ බ්‍රික්ස්ටන් වලදී වික්ටෝරියානු නිවාස වෙනස් කරන්නට යෙදුණු බව තමයි අශෝක් කියන්නේ.
3. අශෝක්: ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස්!
අශෝක් තමන්වම හඳුන්වා දෙන විදියට අශෝක් කියන්නේ අසාර්ථක වුණු ඉදිකිරීම් කරුවෙක්. සාමාන්‍ය ප්‍රමාණයේ ගණිතඥයෙක්. බාර්ටෙන්ඩර් කෙනෙක් වගේම සල්ලිකාරයින්ගේ පුද්ගලික ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක්. ඒ වගේම ඒ කාලේදී අශෝක් හඳුනා නොගත් අතිරේක නළුවෙකුත් වෙලා හිටියා කියලා කියවෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන කාලේදී වෙන්න ඇති. කොහොම වුනත් අශෝක්ව දුටු හැටියේ අපිට තේරෙන දෙයක් තමයි තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන අශෝක් සෑහෙන්න හිතනවා කියන එක. නැතිනම් අවුරුදු හැටක් විතර වෙලාත් කොල්ලා වගේ ඉන්න බැහැනේ!
මේ වෙනකොට ගෘහ නිර්මාණ සැලසුම්කරුවෙකු විදියට කටයුතු කළත්, අශෝක් ඒ ගැන නියමාකාරයේ වෘත්තිය සුදුසුකම් සපුරලා නැහැ කියලා තමයි අශෝක්ම කියන්නේ. හැබැයි අද ඒ විෂය ගැන බාහිර කථිකාචාර්යවරයෙක් විදියටත් අශෝක් වැඩ කරනවා. ඒ කියන්නේ සහතික නැති වුනත් අශෝක් ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පයේ දක්ෂයෙක් කියන එක තමයි. ඒ වගේම ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් විදියටත් කිසිම වෘත්තිමය සුදුසුකමක් අශෝක්ට නැති වුනත්, අශෝක්ගේ හැකියාව ගැන විශ්වාසය තියන අය සෑහෙන්න ඉන්නවා.
ආ, ඒ වගේම අශෝක් හිතක් හිතුණහම පොතක් දෙකක් එහෙමත් ලියනවා!
4. අශෝක්ගේ සාහිත්‍ය ජීවිතය
අශෝක් ෆෙරී කියන නවකතාකරුවා සහ කෙටිකතාකරුවා අතින් මේ වෙනකොට කෘතීන් හයක් පමණ රචනා වෙලා තියෙනවා. නම් වශයෙන් හැඳින්වුවහොත් ඒවා මෙහෙමයි:
Colpetty People (2005)
The Good Little Ceylonese Girl (2006)
Serendipity (2009)
Love in the Tsunami (2012)
The Professional (2013)
The Ceaseless Chatter of Demons (2016)
අශෝක් ෆෙරී තමන්ගේ සාහිත්‍ය ප්‍රබන්ධ වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහාත්, ග්‍රේෂන් සම්මානය සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා. Colpetty people, Love in Tsunami, The Good Little Ceylonese Girl යන කෘතීන් ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුනා. ඒ වගේම Serendipity හා The Professional කියන නවකථා රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වුණා. ඒ වගේම දකුණු ආසියානු සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සඳහා පිරිනැමෙන DSC සම්මානය සඳහාත් එහි දෙවැනි වටයේ කෘතීන් අතරටත් අශෝක්ගේ නවතම කෘතිය වුණු The Ceaseless Chatter of Demons තේරුණා.
5. අශෝක් සහ සම්මාන
“ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ලේඛකයෙක් වෙන්න, ඉංග්‍රීසි ලේඛකයෙක් විදියට පිළිගැනීම ලැබෙන්න, සම්මානයට පාත්‍ර වෙන්න නම් කොළඹ එක්තරා පංතියකට අයත් අයෙක් වෙන්න ඕන කියලා සමහරු හිතනවා, ඒත් ඇත්තටම ඒක වැරදි අදහසක්. මොකද ඇත්තටම එහෙම වුනොත් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය සම්බන්ධයෙන් අපිට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න ලැබෙන එකක් නැහැ. ඇත්තටම කවදාහරි කොළඹ පදනම් වුණු ඉහළ පෙලැන්තියකට ග්‍රේෂන් සම්මාන දෙන්න ගත්තොත් මම කියනවා එදාට ග්‍රේෂන් සම්මාන දෙන එක නවත්තන්න ඕන! ඇත්තටම එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ඒක වැරදි අදහසක්.” මෙහෙම කියන්නේ අශෝක්. ඒකටම අශෝක් තව කොටසක් එකතු කරලා මෙහෙම කියනවා.
“අනෙක් අතට මාව සම්බන්ධයෙන් බැලුවොත් මගේ පොත් හැම එකක්ම ග්‍රේෂන් සම්මානය ඇතුළු විවිධ සම්මාන සඳහා නිර්දේශ වුනා. ඒත් එකකටවත් සම්මාන ලැබුනේ නැහැ. හැමදාම මම දෙවන මනමාලිය වුනා මිසක් මනමාලිය වුනේ නැහැ!”
6. අශෝක් නම් සාහිත්‍ය ඉන්ද්‍රජාලිකයා!
අශෝක් ෆෙරී නම් ලේඛකයාගේ හැම පොතක්ම හොඳයි කියලා කියන්න තරම් අපි ඉක්මන් වෙන්නේ නෑ. ඒත් විශේෂම දේ මේකයි. අශෝක්ගේ පොත් ඕනෑම එකකට කැමති වෙන කෙනෙක් ඉන්නකොට අකමැති වෙන කෙනෙකුත් ඉන්නවා. විශේෂයෙන්ම අශෝක් කොල්ලුපිටිය ප්‍රදේශය පාදක කරගනිමින් ලියන කථාන්තර සහ බ්‍රිතාන්‍යය පාදක කරගනිමින් ලියන කථාන්තර වල බොහොම අව්‍යාජ බවක් කෙනෙක්ට දැනෙනවා. ඒකට හේතුව ඒ අශෝක්ට හුරුපුරුදු ප්‍රදේශයන් වීම වෙන්න පුලුවන්. ඒ වගේම අශෝක්ගේ ලිවීමේ ශෛලිය ඇතුලේ උපහාසය නිරුත්සාහයෙන්ම ගැබ් වෙලා තියෙනවා කියලා අශෝක්ගේ පොත් කියවන කෙනෙකුට දැනෙයි. සමහර වෙලාවට අශෝක්ම කියන විදියට අශෝක්ගේ පොත්වලින් මැවෙන සමහර චරිත සඳහා අශෝක් පාදක කරගෙන තියෙන්නේ හැබෑ ජීවිතේ දන්න චරිතම තමයි. ඒකට අශෝක් දෙන උදාහරණයක් දෙකක් තියෙනවා. එක උදාහරණයක් තමයි අශෝක්ගේ කෙටිකථාවක ඉන්න සෂ් මැගසින් එකේ එඩිටර් මල්ෂා. දන්න අයට තේරෙනවා මේ කවුරු ගැනද ලියන්නේ කියලා. අනෙක් උදාහරණය තමයි අශෝක් එක තැනක ලියන් මුඩුක්කුවක ඉන්න නගර ශෝභනිය. ඈ හැමෝටම උදවු කරගෙන ඉන්න, විනෝදශීලී කෙනෙක්. ඇය හැමවෙලාවකම ලොකු ප්ලාස්ටික් තැඹිලි පාට අත් ඔරලෝසුවක් පළඳිනවා. හැබැයි අශෝක් ගැන දන්න අය දන්නවා ඔය ලොකු ඩයල් එකක් තියෙන ප්ලාස්ටික් අත් ඔරලෝසු පිස්සුව තියෙන්නේ අශෝක්ටයි කියන එක!
7. අශෝක් නම් සරල මනුස්සයා
මේ ගැන නිර්භීතව කියන්නේ අපි එක්ක කථා කරපු අශෝක් හඳුනන ඕනෑම කෙනෙක්. ඒ හැමෝම කියන්නේ අශෝක් ෆෙරී කියන්නේ ආශ්‍රය කරන්න ඉතාම පහසු, කිසිම අහංකාරකමක් නැති, හැමවෙලාවකම හිනා වෙලා ඉන්න කැමති මනුස්සයෙක් කියලා. විශේෂයෙන්ම අශෝක් ෆෙරී කියන නම ඇහුවහමත් මිනිස්සු අශෝක් කියන්නේ කොළඹ සෑහෙන ඉහළ පැළැන්තියක මනුස්සයෙක් කියලා හිතන සම්භාවිතාවයක් තියෙනවා. ඒත් අශෝක් කියන්නේ තමන් ඒ විදියේ පැළැන්ති නඩත්තු කරන මනුස්සයෙක් නෙවෙයි කියලා. ඕනම වෙලාවක ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා ඉන්න අශෝක් කියන්නේ තමන් මැරුණහමත් ගෙදර ඉන්න විදියටම ඩෙනිමයි රබර් සෙරෙප්පු දෙකයි, බැනියමයි පිටින්ම අවසන් කටයුතු කරන්න කියලා තමයි.
අශෝක් ෆෙරී කියන්නේ එහෙම මිනිහෙක්!
Cover Image Source – pictaram.me
Leave a Reply