ස් ස් ස්… සැලෝන් යමුද? නෑ නෑ ඒ සැලෝන් එකට නෙවෙයි, කුස්සියේ සැලෝන් එකට…

Kitchen salon

කුස්සිය කිව්වම මතක් වෙන්නෙ පහේ බෝතල් ගොඩයි, එළවළු, මස්, මාළුයි ඔව්ව මෙව්ව තමා… හැබැයි මේ කියන්න යන්නෙ කුස්සියේ ඔයාලා කවදාවත් නොදුටු පැත්තක් ගැන… නිකමට හිතුනද ඔය කුස්සියේම අපේ රූපයේ සුන්දරත්වය රැකගන්න රහස් සැඟවිලා තියෙනව වෙන්න පුළුවන් කියල… නෑ නේද? මේ කියන්න හදන්නෙ “ඔය බියුටි සැලෝන් යන්න අපිට කොහෙද අනේ වෙලාවක් ගෙදර වැඩ ඉවරයක් නෑනෙ” කියන අපේ ගෘහණියන්ට ගෙදර ඉන්න ගමන්ම කුස්සියේ බියුටි සැලෝන් එකෙන් ලස්සන වෙන හැටි.

 

1. ක්ලෙන්ස් එකක්

Kitchen salon

Source – lifehack.org

මොන දේටත් කලින් මූණ පිරිසිදු කරන් ඉන්න ඕන. උයන පිහන වැඩ ඉවර වුනාම මූණ ෆේස් වොශ් ටිකක් දාල සෝදගන්න. ඊට පස්සෙ ක්ලෙන්ස් කරගන්න පුළුවන්. අපේ කුස්සියෙන් මේ ක්ලෙන්සර් එක හදාගන්නෙ මෙහෙමයි. හරිම සරලයි.

  • පිම්පල් තියෙන තෙල් සහිත සමක් නම් මීපැණි තේ හැඳි දෙකකට දෙහි තේ හැන්දක් එකතු කරලා, මූණෙ සහ බෙල්ලෙ ආලේප කරලා, වේලෙනකම් තියලා ලා රස්නෙ වතුරෙන් සෝදන්න.
  • වියලි සමක් තියෙන කෙනෙක් නම් යෝගට් මේස හැන්දකට මී පැණි තේ හැන්දක් එකතු කරල මූණෙ ආලේප කරලා, වේලෙන්න දීල සාමාන්‍ය වතුරෙන් සෝදන්න.

 

2. ස්ක්‍රබ් එකක්

Kitchen salon

Source – bulkapothecary.com

ස්ක්‍රබ් කරන ස්ටෙප් එක නම් හැමදාම නෙවෙයි සතියකට හෝ දෙකකට වතාවක් කළාම ඇති. පිම්පල් ගොඩක් තියෙන කෙනෙක් නම් ස්ක්‍රබ් කරන්න එපා.

  • තෙල් සහිත සමක් ඇති කෙනෙක්ට නම්, සිහින්ව කැට හිටින්න කුඩු කරගත් සීනි මේස හැන්දකට දෙහි යුශ බින්දු තුන හතරක් සහ වතුර බින්දු කීපයක් එකතු කරල මිශ්‍ර කරගන්න. ඇස් වටා හැර මුහුණ සහ බෙල්ල මත ආලේප කරගෙන,මුදු ඇඟිල්ල සහ මැද ඇඟිල්ල පමණක් භාවිතා කරඋඩු අතට කවාකාරව ස්ක්‍රබ් කරගන්න. ඇල් වතුරෙන් සෝදා හරින්න.
  • වියලි සමක් ඇති කෙනෙක් නම් සිහින්ව කැට හිටින්න කුඩු කරගත් සීනි මේස හැන්දකට පොල් තෙල් තේ හැඳි 1/2ක් එකතු කරල, මූණෙ සහ බෙල්ලෙ ආලේප කරල ඉහත පරිදිම ස්ක්‍රබ් කරගන්න. ලා රස්නෙ වතුරෙන් සෝදගන්න.

 

3. ස්ක්‍රබ් කළාට පස්සෙ පැක් එකක්

Kitchen salon

Source – homegrownandhealthy.com

මේකත් ස්ක්‍රබ් එක වගේම හැමදාම කරන එකක් නෙවෙයි. සතියකට සැරයක් කළාම ප්‍රමාණවත්. පැක් එක ගාගෙන කතා කරන එක ඇර වෙන ඕන වැඩක් කරගන්න පුළුවන් නිසා මේ වෙනුවෙන් කියල අමුතුවෙන් කාලයක් වැය වෙන්නෙ නෑ. ස්ක්‍රබ් කරන, ක්ලෙන්ස් කරන වැඩ දෙකට උනත් ගත වෙන්නෙ විනාඩි දහයක වගේ කාලයක්නෙ.

  • ඕනම සමකට ගැලපෙන, සමේ තරුණ පෙනුම රැකදෙන, සමේ රැලි වැටීම අවම කරන, සමට දීප්තියක් ගෙනදෙන කොෆී පැක් එකක් මේ.ක්ෂණිකකෝපිමේසහැන්දක්, මීපැණි මේස හැන්දක් එකට මිශ්‍ර කරගෙන, සෝදා තෙත පිහිදාගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
  • වියලි සමකට සුදුසු පැක් එකක් තමා මේ. යෝගට් මේස හැඳි 4කට ග්‍රේට් කරගත් පිපිඤ්ඤා මද මේස හැඳි 2ක් එකතු කරල, මුහුණේ සහ බෙල්ලේ ආලේප කරල, විනාඩි 20කට පස්සෙ සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
  • තෙල් සහිත සමකට සුදුසු පැක් එකක් මේ. කඩල පිටි මේස හැඳි තුනකට මීකිරි මේස හැඳි දෙකක් එකතු කරන් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරල විනාඩි 20කට පස්සෙ සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

 

4. අන්තිමට ටෝනර් එකක්

Kitchen salon

Source – youtube.com

ක්ලෙන්ස් එකෙන්, පැක් එකෙන් ඇරුන සමේ සිදුරු වැහිල සමේ තෙතමනය රකින්න මේ ඔක්කොම සත්කාර වලින් පස්සෙ ටෝනර් එකක් ගාන්න ඕන. ස්ක්‍රබ් සහ පැක් එක නොදාන සතියේ අනෙකුත් සාමාන්‍ය දවස් වලට හැමදාම ක්ලෙන්ස් කරල ටෝනර් කරන්න. සමේ තරුණ පෙනුම හැමදාම රැකගන්න පුළුවන්.

  • තෙල් සහිත සමකට මේ විදියට හදාගන්න ටෝනර් එකක් වඩා සුදුසුයි. මිංචි කොළ මිටක් උතුරවාගත් වතුරට දාල ඒක නිවෙන්න තියන්න. හොඳින්ම නිවුනට පස්සෙ පුළුන් කැබැල්ලකින් සම මත ආලේප කරල වියලෙන්න අරින්න.
  • මේ වියලි සමට සුදුසු ටෝනර් එකක්. පිපිඤ්ඤා ගෙඩි බාගයක් කෑලි කපාගෙන, එයට වතුර කෝප්පයක් එකතු කරල ලිපේ තියාගෙන, වතුර උතුරනකම් රත් කරගන්න විනාඩි 8ක් විතර. නිවෙන්න තියල බ්ලෙන්ඩ් කරගන්න. මේ මිශ්‍රණය පෙරාගෙන, පෙරාගත් දියරය පුළුන් කැබැල්ලකින් මුහුණ සහ බෙල්ල මත ආලේප කරන්න.

මේ කිසිම දේකට ඔයාලට අමතර වියදමක් යන්නෙ නෑ. ගත වෙන්නෙ ඔයාලගෙ කාලයෙන් බොහොම සුළු කොටසක් විතරයි. ඒත් මේ දේවල් වල ප්‍රතිඵලය සුළු නැහැ. ගෙදර දොරේ වැඩ එක්ක කාර්යබහුල වෙන ගමන්ම තමන්ගෙ පෙනුම සහ සෞඛ්‍ය ගැනත් උනන්දු වෙන්න කියල ලයිෆි එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ගෘහණියන්ට අපි මතක් කරනව.

 
Cover Image Source – mynestle.com.eg
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *