දෙන්නත් එක්ක හරි තනියෙන් හරි යාලුවෙක් දෙන්නෙක් එක්ක හරි එක්ක ලංකාවේ ලස්සන පැත්තකට ට්‍රිප් එකක් අඩු ගාණේ අවුරුද්දකට සැරයක් දෙසැරයක්වත් යන්නෙ නැත්තම් ජීවිතෙන් ඇති වැඩේ මොකක්ද? හැබැයි ඉතින් අපි හැමෝම ලස්සෙට කොඩිය දාලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ නෙවෙයිනේ. ඒ නිසා අපිට කොයි තරම් ලස්සන පැත්තකට වුනත් ලක්ෂරි විදියට ට්‍රැවල් කරලා, සුපිරි හෝටල් වල ඉඳලා එන්න බෑ. එහෙම ලක්ෂරි ටුවර් යන කාලයක් එයි, හැබැයි දැනට අපිට එහෙම සල්ලි නාස්ති කරන්න බෑ. ෆුල් බජට් එකට තමයි මේ කාලේ වැඩ. හැබැයි අඩු වියදම් වුනා කියලා ඒ ට්‍රැවල් එක්ස්පීරියන්ස් එක අප්සෙට් වෙන්න අවශ්‍ය නැහැනේ. උදාහරණයක් විදියට ඔය විදියේ ට්‍රිප් එකක් ගිහින් අඩු ගාණකට රැයක් නවතින්න පුලුවන් හොඳ තැන් තියෙනවා. මේ අපි කියන්න යන්නේ ආන්න ඒ විදියේ තැන් කීපයක් ගැන තමයි.
1. Tishan Holiday Resort

Source – facebook.com
පොළොන්නරුවේ බලන්න යන්න කොයි තරම් දේවල් තියෙනවද? ඉපැරණි විභූතිමත් පොළොන්නරුව රාජධානියේ නටඹුන් බලන එක කවදාවත් එපා වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම වැව් ඉස්මත්තක හවස් අතේ ඉඳගෙන, වැව් දිය පිස හමාගෙන එන හුළඟ විඳගෙන නිවීසැනසිල්ලේ ඉන්න දවසක් වුනත් වෙනස් අත්දැකීමක් නෙවෙයිද? ආන්න එහෙම අත්දැකීමක් වෙනුවෙන් පොළොන්නරු යන්න හිතනවා නම්, පොළොන්නරුවේ රැයක් නවතින්න වුවමනා නම් ඒකට හොඳම තැනක් තමයි ටිෂාන් හොලිඩේ රිසෝට් කියන්නේ. මෙතන පූල් එකක් තියෙනවා. නිදහසේ වාඩිවෙලා ඉන්න ලස්සන එළිමහනක් තියෙනවා. ඕනෑ නම් හොඳ බ්‍රෙක්ෆස්ට් එකක් වුනත් පොඩි ගාණකට ගන්න පුලුවන් මෙතන.
දුරකථන අංක: 0779329451
තැන මෙතන:
2. Rain Drops Holiday Inn

Source – facebook.com
ගාල්ල පැත්තට යන කෙනෙක්ගේ ඔලුවට මුලින්ම එන්නේ මුහුද සහ මුහුදු වෙරළ අසබඩ තියෙන සුන්දරත්වයන්. හැබැයි රට ඇතුළට වෙන්න තියෙනවා තවත් සුන්දර තැන්. එයින් එකක් තමයි කන්නෙලිය වන රක්ෂිතය. කන්නෙලිය කියන්නේ බොහොම සුන්දර වනාන්තරයක්. ස්වභාව ධර්මය විඳිමින් හයික් එකක් යන්න, කුරුල්ලෝ බලන්න, දිය ඇලි බලන්න කන්නෙලිය හොඳයි. එහෙම කන්නෙලියේ යනවා නම් නවතින්න හොඳ තැනක් තමයි මේ රේන් ඩ්‍රොප්ස් හොලිඩේ ඉන් කියන්නේ. කෝරලේගම තියෙන මේ තැන සාමාන්‍ය මට්ටමේ හොලිඩේ ඉන් එකක්. රෙස්‍ටුරන්ට් එකක්, ෆ්‍රී වයි ෆයි වගේ සාමාන්‍යයෙන් හොඳ නවාතැනක තියෙන්න ඕන පහසුකම් මෙතන තියෙනවා.
දුරකථන අංක: 0767886518
තැන මෙතන:
3. Negombo Village

Source – facebook.com
මීගමුව කියන්නේ හරි අපූරු නගරයක්. විශේෂයෙන්ම ධීවර නගරයක් විදියට මුහුද, කළපුව එක්ක තියෙන සුන්දරත්වයට සහ ආකර්ෂණයට අමතරව මීගමුව නගරයේ බොහොම අපූරු විවිධත්වයක් තියෙනවා, මීගමුව අවට බලන්න දේවල් සෑහෙන්න තියෙනවා. ඕනෑ නම් මුහුදු වෙරළට ගිහින් ඉන්න එකත් හරිම සුන්දර අත්දැකීමක්. ඕනෑ නම් බෝට්‍ටුවක් සෙට් කරගෙන රවුමක් යන්නත් පුලුවන්. එහෙම නැතිනම් මීගමුවේ රවුමක් දාන්නත් පුලුවන්. නවතින්නත් මීගමුවේ හොටෙල්ස්, රිසෝට්ස්, හොලිඩේ ඉන් එහෙම සෑහෙන්න තියෙනවා. සෑහෙන්න ඉහළ ගණන් වලට සුඛෝපභෝගී හෝටල් තිබුණත් අපිට නවාතැන් ගන්න අඩු ගණන් හොඳ තැනක් බලනවා නම් මෙන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක්. නිගම්බු විලේජ්! හැබැයි ගාණ අඩු වුනත් මධ්‍යම පංතියේ හෝටලයකින් ලැබෙන සුවපහසු කම් නොඅඩුව මෙතන තියෙනවා.
දුරකථන අංක: 0752400009
තැන මෙතන:
4. Saara Beach Hotel

Source – facebook.com
මාරවිල කියන්නේ බොහොම සුන්දර මුහුදු වෙරළක් තියෙන පරිසරයක්. ඒ වගේම තමයි මාරවිල ඉඳලා කෙටි දුරකින් ඓතිහාසික ස්ථානයන් එහෙමත් ගණනාවක් බලන්න යන්න පුලුවන්. ස්වභාව සෞන්දර්යය අත්විඳින්නත් මාරවිල කියන්නේ ගැලපෙනම පරිසරයක්. ඒ වගේම කයිට් සර්ෆින් වගේ ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් වලටත් මාරවිල ඉඳලා ඒ හැටි දුරක් නැහැ. ඉතින් ඔය හැමදෙයක්ම කරන්න මාරවිල රවුමක් දාන්න හිතුණොත්, නවාතැන් ගන්න තියෙන හොඳම තැනක් තමයි සාරා බීච් හොටෙල් කියන්නේ. මුහුදු වෙරළත් එක්කම පිහිටලා තියෙන සාරා බීච් හොටෙල් එක නවීන පන්නයට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය සියලුම පහසුකම් එක්ක මුහුදු වෙරළ දකින්නත් පුලුවන් විදියට මෙතන නවාතැන් ගන්න පුලුවන්. ඉතාම අඩු ගාණකට.
දුරකථන අංක: 0723665076, 0767035367, 0322051212
තැන මෙතන:
5. Hipsters Hideout Lounge

Source – facebook.com
නුවර කියන්නේ කොයි තරම් බලන්න, ඇවිදින්න දේවල් තියෙන නගරයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගොඩක් අය දන්නේ දළදා මාලිගාව විතරක් වුනත්, නුවර ඇවිදින්න යන්න තැන් ඕනෑ තරම් තියෙනවා. එක දවසකින් ඇවිදලා ඉවර කරන්න බැරි තරම්. ඉතින් නුවර ගිහින් නවතින්න හිතනවා නම්, අඩු ගණන් හොඳ තැන් හොයන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි හිපි ජීවිතේකට හුරු පුරුදු කෙනෙක් නම් මේ හිප්ස්ටර් හයිඩ් අවුට් ලෝන්ජ් එක නියමෙට හිතට අල්ලලා යනවා. ඇත්තම කිවුවොත් මෙතන අපි උඩින් කියපු තැන් තරම් සුඛෝපභෝගී පහසුකම් නැහැ. ගෙදරක ඉන්නවා වගේ බොහොම සාමාන්‍ය පහසුකම් තමයි තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා අපූරු ආකර්ෂණයක්. ඒක එන්නේ ග්‍රැෆිටි චිත්‍ර වලින් සහ හිපි ගතිය එන විදියට සකස් කරලා තියෙන අනෙක් දේවලින් වෙන්න පුලුවන්. ඒ තරම් සුවපහසුකම් නැති වුනත් මෙතන නවාතැන් ගන්න එක අපූරු අත්දැකීමක් වෙයි කියලා අපි කියන්නේ ඒකයි.
දුරකථන අංක: 0773134558
තැන මෙතන:
Cover Image Source – accommodationinsrilanka.com
Leave a Reply