පාන් වලින් වැඩ කෝටියයි… මීට කලිනුත් අපි ගෙනාව පාන් වලින් හදාගන්න පුළුවන් රස කෑම රෙසිපි ටිකක්. ඒව හදල බලල රහ දැනිච්ච අයට මතක ඇතිනෙ. මේ ඒ වගේම පාන් වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කෙටි කෑම වර්ග 5ක්.
1. බ්‍රෙඩ් ස්විස් රෝල්ස්

Source – tastemade.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති තුනක්
- බටර්
- ජෑම් හෝ නියුටෙලා
- පාන් පෙති වල වාටි කපා ඉවත් කරගන්න. රෝලින් පින් එකකින් හෝ වීදුරු බෝතලයකින් පාන් පෙති තරමක් තලාගන්න.
- පාන් පෙති දෙකක එක පැත්තක විතරක් බටර් ගා ගන්න. ඉතිරි පාන් පෙත්තේ දෙපැත්තේම ජෑම් හෝ නියුටෙලා ගාගන්න. බටර් තැවරූ පාන් පෙත්තක් මත ජෑම් තැවරූ පාන් පෙත්ත තබා, ඉතිරි බටර් තැවරූ පාන් පෙත්තේ බටර් රහිත පැත්ත ජෑම් මත සිටින සේ තබාගන්න.
- ක්ලින්ග් රැප් හෝ ලන්ච් ශීට් එකක් මත තබා අතින් තද කරමින් රෝල් කරගෙන ලන්ච් ශීට් එකෙන්ම ඔතා ශීතකරණයේ පැය භාගයක් තබා පෙති කපාගන්න.
2. බ්‍රෙඩ් සමෝසා

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය පමණ පාන් පෙති
- තම්බා තරමක කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2
- තම්බාගත් ග්‍රීන් පීස් කප් 1/4
- කජු මද 10
- චොප් කරගත් ළූණු මේස හැඳි 2
- වියලි මිදි මේස හැන්දක්
- සූදුරු තේ හැඳි 1/4
- අබ තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- ගරම් මසාලා තේ හැඳි 1/2
- තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ටික එකතු කරන් අබ පුපුරන කොට සූදුරු සහ ළූණු එකතු කරගන්න. ළූණු රන්වන් පැහැ වන විටම ග්‍රීන්පීස්, වියලි මිදි, ලුණු, කජු සහ ගරම් මසාලා එක් කරගෙන විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. අවසානයට අල එක් කර මිශ්‍ර කරගන්න.
- පාන් පෙති වල වාටි කපා ඉවත් කර රෝලින් පින් එකකින් පාන් පෙති තලාගන්න. සමෝසා මිශ්‍රණය මැදට තබා ත්‍රිකෝණාකාරව ඔතාගෙන, වතුරෙන් හෝ බිත්තර සාරු වලින් කොන් අලවාගෙන, ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.
3. බ්‍රෙඩ් තෝසෙ

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 10
- රුලං කප් 1/2
- හාල් පිටි තේ හැඳි 2
- මීකිරි කප් 1/2
- රස අනුව ලුණු
- පාන් පෙති වල වාටි ඉවත් කරගෙන මැද කොටස බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න. එයට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එක් කර බ්ලෙන්ඩ් කරගන්න. තෝසේ පදමට දියාරු මදි නම් අවශ්‍ය පමණ මීකිරි එකතු කරගන්න.
- කැමති නම් ළූණු, කරපිංචා සහ අබ තෙම්පරාදුවක් එක් කර සාමාන්‍ය පරිදි තෝසේ සාදාගන්න.
4. බ්‍රෙඩ් වඩේ

Source – mysrilankanrecipe.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 6
- රුලං කප් 1/4
- හාල් පිටි කප් 1/2
- මීකිරි හෝ යෝගට් කප් 3/4
- සූදුරු තේ හැඳි 1/2
- චොප් කරගත් ළූණු ගෙඩි භාගයක්
- හීනියට කපාගත් කරපිංචා ටිකක්
- චොප් කරගත් අමු මිරිස්
- රස අනුව ලුණු
- පාන් ඉතාම කුඩා කෑලි වලට කඩාගන්න. එයට අනෙක් ද්‍රව්‍ය සියල්ලම එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. ඩෝ එක වියලි වැඩියි නම් තව මීකිරි හැන්දක් දෙකක් එක් කරගන්න. විනාඩි 30ක් වසා තබන්න.
- මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අතට ගෙන උළුඳු වඩේ හැඩයට සාදා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වන තුරු බැදගන්න.
5. බ්‍රෙඩ් කොත්තු

Source – kitchensimmer.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 6
- කපාගත් කැරට් මේස හැඳි 3
- ලීක්ස් මේස හැඳි 3
- චොප් කරගත් ළූණු ගෙඩි භාගයක්
- පිසගත් චිකන් කැබලි දෙක තුනක් කරිය සමඟ
- බිත්තරයක්
- කෑලි මිරිස් රස අනුව
- තලාගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 1/2
- රම්පෙ, කරපිංචා
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
- පාන් ටික පොඩි කොටු කපල පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට ළූණු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා දාල තෙම්පරාදු කරගන්න. ලුණු ඉතාම ස්වල්පයක් එක්ක රස අනුව කෑලි මිරිස් එකතු කරගෙන, ඒකට කැරට් එකතු කරගන්න.
- බිත්තරය කඩා එකතු කරගෙන ඉක්මණින් මිශ්‍ර කරගෙන ස්ක්‍රැම්බල් කරගන්න. එයට ලීක්ස් සහ චිකන් හොදි සමඟ කැබලි එක් කර මිශ්‍ර කරගන්න.
- අවසානයට කුඩාවට කපාගත් පාන් එක් කර මිශ්‍ර කරගන්න. එයට උඩින් ෆ්‍රෙශ් මිල්ක් එක් කර මද වේලාවක් පිස ගෙන ලිපෙන් ඉවත් කරගන්න.
Cover Image Source – yamu.lk
Leave a Reply