ඔෆිස්වල වැඩ කටයුතු පහසු කරගන්න ක්‍රමවේදයක් විදියට සාමාන්‍යයෙන් චැට් කරන්න සේවාවන් ලබාදෙන මෘදුකාංගයක් ඇතුළෙ චැට් ගෲප් හදාගන්න එක සාමාන්‍ය තත්ත්වයක්. නිතරම මීටින් තියමින් කතා කරනවාට වඩා, කාර්යක්ෂමව පහසුවෙන් ඒ හරහා පණිවුඩයක් හුවමාරු කරන්නට පුළුවන්. ඒ කොහොමවුනත් මේ කියන චැට් කැෂුවල් විදියට කතාකළාට ඔෆීෂියල් අරමුණු පෙරදැරි කරගෙන හදාගත්තු නිසා මේවා ඇතුළෙදිත් ඔෆිස් ඇතුළෙ විදියටම එතිකලි හැසිරෙන්න ඕන. අන්න ඒ නිසයි අපි ඔෆිස් එකේ ගෲප් චැට් එකේදි කතා නොකළ යුතු සහ නොකළ යුතු දේ ලියන්නෙ.
1. ඔෆිස් බාහිර කතා

Source – lifie graphics
ඔෆිස් එකේ කට්ටිය සෙට් වීමක් දාගන්න හිතාගෙන ඉන්නවනං ඒක ගැන ප්ලෑන් කරන්න වෙනම ගෲප් එකක් තියාගන්න එක හොඳයි. නැත්තං ට්‍රිප් ප්ලෑන් කරන කාලය හෝ පාටි ප්ලෑනින් කාලය ඇතුළත කාර්යාලයේ වැඩ කටයුතුවලට විශාල බාධාවක් වේවි. ඕපාදූපත් ඒ ගණයටම අයිතියි. ඒ නිසාම ඔෆිස් එකේ බාහිර කතාබහට වෙන ඉඩක් තබාගන්න. එසේ කටයුතු නොකෙරුවොත් එය කාර්යාලයේ වැඩකටයුතු සේවකයන්ගේ මනසින් බැහැර කරවන්නක් වන්නටත් ඉඩ තියෙනවා
2. ආගම්

Source – lifie graphics
දරුවෙක් ඉපදෙනකොටම දෙමවුපියන් තමන් අදහන ආගම ඒ දරුවා මත පිහිටුවනවා. ඇතැම් අය කල් යද්දී ඒ අදහස් බැහැර කරනවා වගේම බොහෝමයක් පිරිස තමන්ගේ දෙමවුපියන් තමන්ට දුන් ආගම බැතියෙන් අදහනවා. ඒ නිසා ගෲප් චැට් එකක් ඇතුළෙදි තමන්ගේ ආගමික මතයන් ප්‍රකාශ කිරීම හෝ අවම වශයෙන් නිරාගමිකත්වයටවත් දොස් පැවරීම සිදු නොකළ යුතුයි. ප්‍රසිද්ධියේ නොකීවාට එයින් පහර එල්ලවෙන බොහෝදෙනෙකු එහි සිටින්නට පුළුවන්. එනිසාම ඔබ අදහන හෝ නොඅදහන දහමක් පිළිබඳ කතාබහට කාර්යාලීය කටයුතු වෙනුවෙන් වෙන් වුණු ඉඩක් පාවිච්චි කරන්න එපා.
3. දේශපාලන

Source – dailymirror.lk
නිල්, රතු, කොළ පාට පක්ෂ ඇතුළෙ ජීවත් වෙන මිනිස්සුන්ට හැම තැනකම තමන් හිතවාදී පක්ෂයම හරියි කියල පේන එක සාමාන්‍යයයි. ඒක ඔවුන්ට අනුව සාමාන්‍ය තත්ත්වයක් වුනාට සමාජයට එය පිළිලයක්. එනිසාම කාර්යාලීය කටයුතු වැනි එකමුතු බවකින් ඉදිරියට යා යුතු දෙයක් අතරට දේශපාලනය ඈඳා ගැනීම දරුණු වරදක්. එය ඇතැමෙකුගේ මතයන්ට රිදවන්නට වගේම, ඇතැම් විටෙක වාද විවාද ඇතිවීම හරහා කාර්යාලීය කටයුතුවලට බාධා වන දෙයක් වන්නටද පුළුවන්.
4. පොර ටෝක්

Source – teamleader.eu
තමුන් දක්ෂයෙකු විය හැකියි. ඕනෑම කාර්යාලයක සාමාන්‍ය සේවක ප්‍රජාව අතරේ දක්ෂයන් සිටිය හැකියි. එහෙත් තමන් දක්ෂයෙකු නම් දක්ෂයෙකු වන තරමටම තමන් නිහතමානී විය යුතුයි. ඒ වගේම ඔබ දක්ෂයෙකු නොවන නිසා ඔබට කාර්යාලයේ ඇති ස්ථානය අහිමි වනවාට බියෙන් ඔබේ වැඩකටයුතු ගැන පුරාජේරු පවසනවා වෙනුවට තමන් දක්ෂයෙකු වන්නට උත්සාහ කළ යුතුයි. තමන් සිදුකළ වැඩ යනු ගෲප් චැට් එකක කතා කිරීමෙන් කිසිඳු පලක් නොවන දෙයක්. තමන් සිදු කරමින් පවතින යමකට තම කණ්ඩායමේ එකමුතුව අපේක්ෂා කිරීම හෝ අදහස් විමසීම හැරෙන්නට තමන් කළ දේ ගැන කියැවීමෙන් පලක් වන්නේ නැහැ.
5. පෞද්ගලික දේ

Source – lifie graphics
තමන්ගේ පෞද්ගලික කාරණා පැවසීම වගේම අනුන්ගේ පෞද්ගලික දේ විමසීමත් සිදු නොකළ යුතුයි. විශේෂයෙන්ම බොහෝදෙනෙකු තමන්ගේ කාර්යාලයේ ගෲප් චැට් එකේ තමන්ගේ වැටුප් පිළිබඳ කතාබහ ඇතිකරවන්නේ ප්‍රධානීන් හා යම් ගැටීමක් බලාපොරොත්තුවෙන් හෝ වැටුප් වැඩිකරගැනීමේ අපේක්ෂාවෙන්. එහෙත් එය අනෙක් පිරිස අතර යම් නොසන්සුන් බවක් ඇතිකරවන්නට ඉඩ තියෙනවා. එනිසාම පෞද්ගලික දේ පෞද්ගලික මට්ටමින් තබාගන්න.
6. ඉමෝජි ටෝක්ස්

Source – lifie graphics
සෑමවිටකම කාර්යාලීය කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන චැට් ගෲප් එකක් තුළදී වඩා ආචාරශීලී වන්න. එසේම පැහැදිලි පිළිතුරු ලබාදෙන්න. පැහැදිලිව ප්‍රශ්න අසන්න. කිසිම මොහොතක ඉංග්‍රීසියෙන් අලුත් පන්නයට බිඳ ගත් වචන හෝ ඉමෝජි හරහා පිළිතුරු දීම සිදුකරන්නට එපා. එය ඔබේ පෞරුෂත්වය යම් තරමකින් හෝ පහත හෙලන්නක් වේවි.
7. ඇරියස් කවර්

Source – lifie graphics
තමන්ගේ කාර්යාලයේ ඇරියස් කවර් කරන්නට මෙම ඔෆිස් චැට් එක භාවිතා කරන්නට එපා. ඔබේ යම් කටයුත්තක ඇති දොසක් පෙන්වූ ඔබේ කාර්යාලීය සගයාට හින්ට් පාස් කරන්නට, ඔබ අතර සමව සිටින ඔබට වඩා වැඩි වැටුපක් ලබන අයෙකුට නිගා කරන්නට, ඔබේ හිතේ කැමැත්තක් ඇති මුත් ඒ බව කෙලින් ප්‍රකාශ කරන්නට නොහැකි ඇයට ආදරය පිළිබඳ ඉඟි දෙන්නට ගෲප් චැට් පාවිච්චි කරන්නට එපා.
Cover Image Source – lifie graphics
Leave a Reply