දැන් ගෑණු ළමයෙක්ට නම් ඕනෑ තැනක ඕනෑම විදියකට අඩුම කුඩුම දාගෙන යන්න හෑන්ඩ් බෑග් එක තියෙනවා. ඕක ඇතුලේ ගෑණු ළමයින්ට අයිඩෙන්ටි කාඩ්, ක්‍රෙඩිට් කාඩ් දාන්න එක පර්ස් එකක්, සල්ලි දාන්න තව පර්ස් එකක් වගේ පර්ස් දෙක තුනක් තියෙන්නත් පුලුවන්. හැබැයි පිරිමි ළමයෙක්ට ඔය සෙල්ලම හරි යන්නෙ නෑ. ගන්නවත් වෙලා ගන්න වෙන්නේ තමන්ගේ ගෙනියන්න ඕන හැමදෙයක්ම දාගෙන, පිටිපස්සේ කලිසම් සාක්කුවේත් දාගෙන යන්න පුලුවන් වොලට් එකක් තමයි. ගොඩක් වෙලාවට කොල්ලොන්ගේ වොලට් කෙරුවාව මෙහෙමයි. තියෙන වොලට් එක කාසි හිල් අස්සෙන් බිම හැලෙන ලෙවල් එකට කෑලි හැලෙන්න පරණ වුනහම යනවා කඩේකට, නැතිනම් පාර අයිනේ අර සුකුරුත්තම් බඩු විකුණන කඩ ලෑල්ලකට. ගිහින් එතන තියෙන වොලට් වලින් හිතට අල්ලන වොලට් එකක් ගන්නවා. එහෙම නේ? ඒකේ වැරැද්දක් නැහැ. හැබැයි වොලට් එකක් ගනිද්දි එහෙම නිකම්ම ගන්න එක හරියන්නෙ නෑ. ඒ නිසා තමයි අපි අපේ කොල්ලෝ වෙනුවෙන් තමන්ට ගැලපෙන ඩීසන්ට් වොලට් එකක් ගන්න පොඩි ටිප්ස් ටිකක් දෙන්න හිතුවේ!
1. සිහින් පෙනුමක වොලට් එකක්!
සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලේ යන මලයෙක්ගේ වොලට් එක ඉල්ලගෙන බලන්නකෝ. වොලට් එක දෙකට නවන්න බැරි තරම් කෑලි බෑලි පිරිලා. පොඩි පහේ ශබ්දකෝෂයක් කලිසම් සාක්කුවේ දාලා වගේ. හැබැයි ඕක තමයි වොලට් එකක තියෙන ක්ලාසි ගතිය නැති වෙන පළමුවෙනි කාරණාව. පිරිමියෙක්ගේ වොලට් එකක් බොහොම නීට් වෙන්න ඕන, බොහොම සිම්පල් වෙන්න ඕන, බොහොම සිහින් පෙනුමකින් යුක්ත වෙන්න ඕන. ඕක තමයි කොන්දේසිය.
මෙතනදී දේවල් දෙකක් ගැන හිතන්න වුවමනායි. එක තමයි නීට්, සිහින් පෙනුමක් තියෙන වොලට් එකක් මිලදී ගන්න එක. බොරුවට යකඩ කෑලි එල්ලපු, බොරුවට පුම්බපු වොලට් එකක් ගන්න එක තේරුමක් නෑ. කලිසම් සාක්කුවේ දැම්මහම වොලට් එකක් නෑ වගේ පේන තරමට සිහින් පෙනුමක් තියෙන වොලට් එකක් තමයි ජෙන්ට්ල්මන් කෙනෙක්ට හරියන්නේ. මේ විදියේ සරල, සිහින් වොලට්ටු වලට කියන්නේ Minimalist Wallet කියලා තමයි.
2. වොලට් එකේ දාන්නේ මොනවද?
දෙවෙනි කාරණාව වොලට් එකේ දාන්න ඕන මොනවද, නොදාන්න ඕන මොනවද කියලා තීරණය කරන එක. කොළ සල්ලි සහ කාසි සල්ලි තියෙන්න ඕන. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් තියෙන්න ඕන. අයිඩෙන්ටි කාඩ් තියෙන්න ඕන. වෙන ලෝයල්ටි කාඩ් වගේ අත්‍යාවශ්‍ය කාඩ් එකක් දෙකක් තිබුණට කමක් නෑ. ඕන නම් හදිසියකට ගන්න තමන්ගේ බිස්නස් කාඩ් එකක් දෙකක් තිබුණත් කමක් නෑ. හදිසියේ නවලා දාගත්තු බිලක් දෙකක් තිබුණත් අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි මෙතනින් එහාට කිසිම දෙයක් වොලට්ටුවක තිබිය යුතු නෑ!
ආන්න ඒ විදියට වොලට් එකට අත්‍යාවශ්‍ය දේවල් විතරක් පැක් කරගත්තහම වොලට් එකේ සිහින් පෙනුම නැතිවෙන්නේත් නෑ!
3. සයිස් එක වැදගත් වෙනවා!
වොලට්ටුවේ සයිස් එක කියන්නේ සිහින් බව ගැන නෙවෙයි. දිග සහ පළල ගැන මූලිකවම. හැබැයි මේ වොලට්ටුවේ ප්‍රමාණය කියන එක තීරණය වෙන්නේ වොලට් එක පාවිච්චි කරන්නාගේ වුවමනා එපාකම් සහ දින චරියාව මත. අපි ගත්තොත් අර Minimalist කියලා කිවුව ජාතියේ සරල වොලට් එකක්. ඒ වගේ එකක් සාමාන්‍යයෙන් අපි දකින වොලට් එකකට වඩා ප්‍රමාණයෙන් කුඩායි. හරියටම කිවුවොත් අතිශයින්ම සිහින් වගේම, යන්තම් ලංකාවේ අයිඩෙන්ටිය දාන්න පුලුවන් ප්‍රමාණයට වඩා ලොකු නෑ. මෙන්න මේ වගේ වොලට් එකක් මරු. ඒ වගේ වොලට් එකක හොඳ ක්ලාසි ගතියකුත් තියෙනවා. හැබැයි පිටිපස්සේ සාක්කුවේ ඔය වොලට් එක දාගෙන යනවා කියන්නේ බස් එකකදී, බයික් එකකදී එහෙම ඕක වැටෙන්න, නැතිවෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. විශේෂයෙන්ම බයික් එකේ ගමන් බිමන් යන හාදයෙක්ට ඔය වොලට් ගැලපෙන්නෙ නෑ. එහෙම අයට ගැලපෙන්නේ සාමාන්‍යයෙන් පිටිපස්සේ සාක්කුවේ ප්‍රමාණයේ වොලට්.
හැබැයි මේ මිනිමලිස්ට් තේමාව තව ඉස්සරහට අරගෙන යන්න කැමති අයට තියෙනවා තව විකල්ප. ඒ තමයි මනි ක්ලිප්! මේවා ඇතුලේ කාඩ් කිහිපයක් දාන්න පුලුවන්. සල්ලි කොළ රඳවා ගන්න ක්ලිප් එකක් තියෙනවා. එච්චර තමයි. මාරම සිම්පල්!
හැබැයි වොලට් එක අතේ ගෙනියන කෙනෙක්ට මීට වඩා විශාල වොලට් එකක් වුනත් ගැටලුවක් නෑ.
4. දෙකටද නමන්නේ, තුනටද නමන්නේ?
මෙන්න මේ කාරණාව ඇත්තටම වැදගත් වෙන්නේ වොලට් එකේ දාගන්න ඕන කරන අඩුම කුඩුම ප්‍රමාණය සහ වොලට් එක සම්බන්ධයෙන් තමන් කැමති ෆැෂන් එක මත. සාමාන්‍යයෙන් වැඩි හරියක් පාවිච්චි වෙන්නේ බයි-ෆෝල්ඩ් කියලා හඳුන්වන දෙකට නවන වොලට්ටු තමයි. හැබැයි ඕනෑ නම් ට්‍රයි-ෆෝල්ඩ් හෙවත් තුනට නවන වොලට්ටු වුනත් වෙළෙඳපොළේ තියෙනවා. මේ වොලට්ටු වල සාපේක්ෂව සාක්කු ප්‍රමාණය බයි-ෆෝල්ඩ් එකකට වඩා වැඩියි කියන්න පුලුවන්. හැබැයි සමහර ට්‍රයි-ෆෝල්ඩ් වොලට් වල නම් තියෙන්නේ සෝබනේ විතරයි. ඒක ප්‍රශ්නයක් නැහැ තමන්ට අවශ්‍ය වොලට් විලාසිතාව තුනට නවන වොලට්ටු නම්.
මීට අමතරව ලෝන්ග් වොලට් කියලා හඳුන්වන දිග වොලට් වර්ගයකුත් තියෙනවා. මේවා සාක්කු වල දාගෙන යන්න බෑ. අතේ ගෙනියන්න තමයි පුලුවන්. මේ විදියේ දිග වොලට් වල ස්ටයිල් එකත් අතේ ගෙනියන එක තමයි. මේවල සල්ලි කොළ නැවෙන්නේ නැති වෙන්න දාගන්න සාක්කු තියෙනවා වගේම, සාපේක්ෂව ඉතාම වැඩි සාක්කු ප්‍රමාණයකුත් තියෙනවා.
5. සාක්කු කීයක් තියෙන්න ඕනෑද?
මෙන්න මේක වොලට් එකක් තෝරන හැමෝටම එන දැවෙන ප්‍රශ්නයක්. කොයි තරම් සාක්කු තියෙන්න ඕනද? ආන්න ඒ ගැන හිතන්න කලින් කරන්න ඕන දේ තමයි වොලට් එකේ දාගන්න තමන්ගේ බඩුබාහිරාදිය ඔක්කොම මේසේ උඩ තියලා බලන එක. දැන් තේරුම් ගන්න පුලුවන් තමන්ට අවශ්‍ය කොයි තරම් සාක්කු ප්‍රමාණයක්ද කියන එක. සාමාන්‍යයෙන් නම් සල්ලි කොළ සඳහා ලොකු සාක්කුවක් හෝ දෙකක් තියෙනවා. ඉන් පස්සේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, අනං මනං කාඩ් වෙනුවෙන් තව සාක්කු දෙකක්, තුනක් හෝ හතරක් එකට තියෙනවා. ඉන් පස්සේ අයිඩෙන්ටි කාඩ් දාන්න සාක්කුවකුත් තියෙනවා. මේ සාක්කුව ගොඩක් වෙලාවට විනිවිද පේන එකක්. ඉන් පස්සේ තව අමතර දේවල් දාගන්න තව සාක්කුවක් තියෙනවා. එතකොට මාරු සල්ලි දාන්නත් ගොඩක් වෙලාවට වහන්න පුලුවන් සාක්කුවක් තියෙනවා.
හැබැයි අපි කියමු වොලට් එකේ දාගන්න කාඩ් මොකුත් නැහැ කියලා. අන්න එතකොට මේ වගේ සාමාන්‍ය වොලට්ටුවක් වුනත් තේරුමක් වෙන්නෙ නෑ. ඒ වගේ කෙනෙක්ට යන්න පුලුවන් අතිශයින්ම සරල Minimalist පන්නේ වොලට් එකකට. ඒකේ අනික් පැත්ත හිතුවොත්, අපි කියමු කෙනෙක්ට වොලට් එකේ දාගන්න දහසකුත් එකක් අත්‍යාවශ්‍ය කාඩ් අනං මනං තියෙනවා කියලා. අන්න එතකොට හැකිතාක් වැඩි පොකට් ප්‍රමාණයක් තියෙන වොලට් එකකට යන්න වෙනවා.
6. නියම ලෙදර්ද හොර ලෙදර්ද?
දැන් වොලට් එකක් ගන්න යන යමක් කමක් දන්න කොල්ලෙක් අහන්නේ ලෙදර් වොලට් තියෙනවද කියලනේ. ඒකට හේතුවක් තියෙනවා. නියම ලෙදර් කියන්නේ සුඛෝපභෝගීත්වයේ, ක්ලාස් එකේ සංකේතයක්. ඒ වගේම නියම ලෙදර් වොලට් ගණන් වැඩියි. හරියට තෙතමනයෙන්, දැඩි රස්නයෙන් එහෙමත් පරිස්සම් කරන්න ඕන. හැබැයි මාරම ක්ලාස් පෙනුමක් තියෙන්නේ. හැබැයි එහෙම කිවුවට දැන් තියෙනවා ඕනෑ තරම් කෘත්‍රිම ලෙදර් වලින් හදපු, වඩාත් ලාබ වොලට්ටු විකුණන්න. ඇත්තටම කිවුවොත් වැඩියෙන් තියෙන්නේ ඒවා. මේ වොලට්ටු පෙනුමෙන් ලොකු අවුලක් නෑ. කල් පවතිනවා. හැබැයි ඉතින් වොලට් එකක් ගන්න ගියහම වෙළෙඳ අයියා “මේවා ජෙනුයින් ලෙදර් මහත්තයා” කියලා වැඩියෙන් රුපියල් පන්සීයක් හමාරක් කපන්න හදන එකෙන් බේරෙන්න ඕන. ජෙනුයින් ලෙදර් අඳුනාගන්න පුලුවන්. ලෙදර් සුවඳ එනවා. නියම ලෙදර් එකක් ඇඟිලි දෙකකින් තද කරනකොට ඒකේ සියුම් ඉරිතැලීම් එහෙම පේනවා. එතකොට නියම ලෙදර් එකක් උඩට වතුර බිංදුවක් දැම්මහම ඒක උරා ගන්නවා. ඔය ට්‍රික්ස් වලින් නියම ලෙදර් වොලට් එකක් හොයාගන්න පුලුවන්.
හැබැයි නියම ලෙදර් වොලට් එකකට වැඩි ගාණක් වියදම් නොකර වුනත් ඩීසන්ට් පෙනුමක් තියෙන වොලට් එකක් කෘත්‍රිම ලෙදර් වලින් වුනත්, ඝණ රෙදි වලින් වුනත් හොයාගන්න පුලුවන්. ප්ලාස්ටික් වොලට් වුනත් අවුලක් නෑ.
7. නියම පෙනුම, දිගු කල් පැවැත්ම!
ගොඩක් වෙලාවට පාර අයිනේ කඩේක විකුණන්න තියෙන වොලට්ටුවක් සෑහෙන්න ගාණ අඩුයි. එතකොට ගොඩක් වෙලාවට ඔය සාමාන්‍ය කොල්ලන්ගේ ඇඳුම් තියෙන කඩේක විකුණන්න තියෙන වොලට් එකක් වුනත් පාර අයිනේ තියෙන ඒවලට වඩා ලොකු කොලිටි වෙනසක් නෑ. ඒත් ගාණ ඊට වඩා පොඩ්ඩක් වැඩියි. හැබැයි මේ හැම වොලට් එකක්ම යන්නේ රුපියල් දාහකට අඩුවෙන් වගේ. ඒත් නිකමට ගිහින් බලන්න ඔය කොළඹ එහෙම තියෙන ඉහළ මට්ටමේ ඇඳුම් විලාසිතා තියෙන තැනකට. ඒ වගේ තැනක විකුණන්න තියෙන කොල්ලන්ගේ වොලට් එකක් ලේසියෙන්ම රුපියල් දෙදාහක්, තුන්දාහක්, හාරදාහක් වෙයි. හැබැයි ඒ වගේ වොලට් එකක් අතට අරගෙන බලනකොට දැනේවි ඒකේ තියෙන විශිෂ්ට නිමාව. එතකොට විශිෂ්ට පෙනුම.
එතකොට වොලට් එකකට රුපියල් තුන් හාර දාහක් වියදම් කරන එක අපරාදයක්ද? ඒක තමන්ගේ පොකැට් එක මත තමයි තීරණය වෙන්නේ. හැබැයි ඒක අපරාදයක් නෙවෙයි. ඒකට මූලිකම හේතුව තමයි දිගු කල් පැවැත්ම. පේමන්ට් එකෙන් ගන්න වොලට් එකක් අවුරුද්දක්වත් නියම කොලිටියෙන් පාවිච්චි කරන්න බෑ. ඉක්මනටම පරණ පාට පේන්න ගන්නවා. ඉක්මනටම කැඩෙනවා, මැහුම් ගැලවෙනවා. හැබැයි වැඩි ගාණක් දීලා ගන්න විශිෂ්ට නිමාවකින් යුතු වොලට් එකක් අවුරුදු ගණනාවක් ගත්තා වගේම කොලිටියෙන් පාවිච්චි කරන්න පුලුවන්. ඕනෑම සමාජෙක වුනත් බය නැතුව සාක්කුවෙන් ඇදලා ගන්න පුලුවන්. අන්න එහෙම බලනකොට ටිකක් මිලෙන් වැඩි වුණත්, තත්ත්වයෙන් උසස් වොලට්ටුවක් කියන්නේ ආයෝජනයක්!
8. ආරක්ෂාවත් වැදගත්!
වොලට් එකේ ආරක්ෂාව කොයි තරම් වැදගත් වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මුදල් පසුම්බියක් නැතිවෙනවා කියන්නේ හාට් ඇටෑක් හැදෙන මට්ටමේ කේස් එකක්. අන්න ඒ නිසා අර උඩ අපි කියපු හැම දෙයක්ම ආයෙමත් කියවලා බලන්න. ඒ හැම දෙයක්ම වොලට් එකේ ආරක්ෂාවට අදාළයි. මීට අමතරව තමන් ගාව නිතරම මාරු සල්ලි රැඳෙනවා නම් මාරු සල්ලි දාන්න වහන්න පුලුවන් සාක්කුවක් වැදගත්. එතකොට සමහර විට කොළ සල්ලි දාන සාක්කුවත් සිපර් එකකින් වහන්න පුලුවන් වොලට් තියෙනවා. කොළ සල්ලි වුනත් හැලෙන්න අවදානමක් තියෙනවා කියලා හිතුවොත් එහෙම වොලට් එකකට යන එකත් ගැටළුවක් නැහැ.
ගොඩක් වෙලාවට වොලට් එකක් තියෙන්නේ දෙකට හෝ තුනට නමලා සාක්කුවේ දාගන්න. එතකොට අතට අරගෙන අරින්නත් ලේසියි. හැබැයි ඒත් වොලට් එකේ තියෙන දේවල් හැලෙන්න පුලුවන් කියලා හිතට බයක් තියෙන කෙනෙක්ට කරන්න තියෙන්නේ අර වොලට් එක දෙකට හෝ තුනට නමලා වහන්න පුලුවන් ටික් එකක් හරි වෙල්ක්‍රෝ එකක් හරි තියෙන වොලට් එකකට යන එක. ඒක හැමවෙලාවකම අරින එක චුට්ටක් කරදරයි තමයි. හැබැයි ආරක්ෂාව ගැන හිතුවහම ඒක කරදරයක් නෙවෙයි.
තවත් කාරණයක් තමයි, ඔය මෝටර් බයිසිකල් වල නිතර යන පුතාලට තියෙනවා බයිකර් වොලට් කියලා ජාතියක්. ඒවල කලිසමේ බෙල්ට් එකට හයි කරන්න පුලුවන් පුංචි දම්වැලක් තියෙනවා. ඒක නිසා බයික් එකේ යනකොට කවදාවත් නොදැනී වොලට් එක මග වැටෙන්නෙ නෑ.
9. අලුත් ටෙක් සීන් ඕනෑද?
වොලට් සම්බන්ධයෙන් තියෙන අලුත් ටෙක් සීන් කියනකොට මතකෙට එන්නේ ඔය RFID Blocked කියලා විකුණන්න තියෙන වොලට් තමයි. මේවා ගොඩක් වෙලාවට ඇලුමිනියම් වුනත්, දැන් නම් ලෙදර් වොලට් වලත් සමහර වෙලාවට ඔය RFID Blocking තාක්ෂණය එනවා. මොකද්ද ඇත්තටම මේ RFID සීන් එක?
RFID නැතිනම් Radio-frequency Identification කියන්නේ අපේ ක්‍රෙඩිට් කාඩ් වැඩ පහසු කරන්න හදපු තාක්ෂණයක්. දැන් අපේ ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි ගන්නේ අර මැෂිමට කාඩ් එක ඇතුළු කරලා හරි කාඩ් එක උඩ ඉඳන් පහළට Swipe කරලා හරිනේ. හැබැයි මේ RFID තාක්ෂණයට අනුව සරලවම කාඩ් එක මැෂින් එකට තිබ්බහම, කාඩ් එක ස්කෑන් කරලා මුදල් අයකරගන්න පුලුවන්. හැබැයි ඒකට ක්‍රෙඩිට් කාඩ් එකේ RFID චිප් එකක් තියෙන්න ඕන. දැන් බස් එකක හේත්තුව දාගෙන ඉන්න හැකර් කෙනෙක්ටත් ඔය වැඩේම කරන්න බැරිද? එහෙම බලනකොට අපේ RFID චිප් තියෙන ක්‍රෙඩිට් කාඩ් මාරම අනාරක්ෂිත නැද්ද?
ආන්න ඒකට විසඳුමක් විදියට තමයි ඔය උඩින් කියපු RFID Blocking වොලට් හදලා තියෙන්නේ. ඒවා ටිකක් ගාණෙන් වැඩියි. හැබැයි අනවශ්‍ය කෙනෙක්ට ලොවෙත් RFID ක්‍රෙඩිට් කාඩ් වලින් හොරකම් කරන්න බෑ හේත්තුව දාලා!
හැබැයි දැන් සමහර එක්ස්පර්ට්ලා කියනවා ඔය RFID Blocking වොලට්ටු වලට සල්ලි වැඩියෙන් වියදම් කරන්න එපා, තේරුමක් නැතිය කියලා. ඒ අය කියන්නේ චුට්ටක් ඝනකම ඇලුමිනියම් ෆොයිල් ෂීට් එකක් වගේ දේවලින් වුනත් RFID බ්ලොක් කිරීම කරන්න පුලුවන් කියලා.
තව දෙයක්. හැමදාමත් ළඟම කොල්ලන්ගේ ඇඳුම් තියෙන කඩෙන් හරි, අරුමෝසම් බඩු තියෙන කඩ ලෑලි වලින් හරි නම් වොලට් එකක් සල්ලි වලට ගත්තේ, අමතක කරන්න එපා තවත් තැන් තියෙනවා කියලා. ඇයි eBay එකෙන්?
Cover Image Source – youtube.com
Leave a Reply