ලංකාවේ බස් සේවාව දියුණු වුනොත් අභාවයට යන චරිත

characters that extinct if bus service evolved

කොච්චර පාරට කාර් යාන වාහන ආවත් අපි ගොඩක් දෙනාගේ පොදු ප්‍රවාහන මාධ්‍යය බස් එක. බස් එකෙන් ගිහින් බොරලු පාරේ සෙරප්පු ගෙවෙනකල් මුල් කාලේදි දේශපාලකයෝ අපේ ගෙවල් වලට එනවා. කාලයක් යද්දි ඒ දේශපාලකතුමාලට විශාල යාන වාහන ලැබෙනවා. එතකොට පරණ විදියට ගිය බස් රිය වගේම බස් රියේ ගිය කාලේ යාළුවෝ මිත්‍රයොත් අමතක වෙනවා. ඉතිං ඒ ඉහළ ඉන්න නිලධාරි සහ මන්ත්‍රී උත්තමයන්ට අපේ බස් සේවාව වත් බස් එකේ යන අපි විඳින දුකවත් පේන්නේ නැහැ. මොකද එයාලව අපි ඡන්දෙන් පත්කරලා, දිව්‍ය ලෝකේ වගේ සැප තියෙන දිව්‍ය රථ වල ඉන්දලා ඉවරයි. ඉතිං මේ බස් සේවාව දියුණුවුනොත් කියන්නේ හරියට පුංචි කාලේ මම සුරංගනාවියක් වුනොත්, මම කැත්තක් පොල්ලක් වුනොත්, මම කපුටෙක් වුනොත් වගේ කතාවක්. කවදාවත් ලංකාවේ නම් බස් සේවාව දියුණු මට්ටමට ඒවිය කියල හිතන්න අමාරුයි. ඒත් එහෙම දියුණු වුනොත් අපිට මොන වගේ දෙයක් දැනේවිද? අපි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලමු.

 

1. යටිතල පහසුකම් ගන්න වෙරදරන අය

characters that extinct if bus service evolved

Source – youtube.com

බස්රිය වල නගින සමහර පිරිමි මගීන් ස්ත්‍රීන්ගේ සිරුරුවල ඇතිල්ලෙමින්, ඔවුන්ගේ ඇඟේ වදිමින් යන්නට ආශා කරති. එහෙත් බොහෝ පිරිමි සිය ආශාවන් සදාචාර සීමාවන් තුළ පවත්වාගෙන බස් රියේ ගමන් කරති. සුළුතරයක් බස්රිය තදවන විට, මගීන් වැඩිවන විට සිය පිරිමි ඉන්ද්‍රියන්ට නිදහසේ කාන්තාවන්ගේ සිරුර මත හැපෙන්නට ඉඩ සලස්වති. වාඩි වී යන්නේ නම් උරහිස් වද්දමින්, කකුල් පළල් කරමින් කෙසේ හෝ ස්ත්‍රී සම හෝ ස්ත්‍රී ඇඳුම ස්පර්ෂ කරන ඇතැම් මැදිවියේ පිරිමින් සිටිති. එහෙත් මේ ගැන අදහස් දක්වන ඇතැම් පිරිමි පවසන්නේ ගැහැණුද අහිංසක පිරිමින්ට ඉන්නට නොදී ඇඟට හේත්තු වන බවය. බස් සේවාව දියුණු වුවහොත් හිටගෙන යන මගීන් බසයකට දහයකට දොළහකට වඩා නැත. දුරගමන් රිය නම් බුක් කරගත හැකි මට්ටමට ආ කල, ඒවායේ බූරු ඇඳන් දික් කරන පිරිමි සහ ගැහැණු අයට වෙනම ස්ථාන වල ඉඩ වෙන් කළ හැකිය.

 

2. යාචකයින්

characters that extinct if bus service evolved

Source – youtube.com

මතු උපදින මෛත්‍රී බෝසතුන්ට මහල්ලෙක්, ලෙඩෙක් වැනි සතර පෙරනිමිති දැකීමට බස් රථ තරම් හොඳ තැනක් තවත් නැත. විවිධ ආකාරයේ විපත්, ලෙඩ රෝග, මහලු බව රැගෙන එන යාචකයෝ දුක් කතාන්දර කියමින් අපේ මානසික සහනයට බාධා කරති. ඉන් පසු ඔවුන්ගේ ජීවිකාව ගෙනයෑමේ අපහසුව ගැන කියන කතාන්දර හමාර වන්නේ අපේ සාක්කුවට අත යනතෙක් ඔවුන් අප දෙස බලා සිටීමෙනි. දැනටද මේ යාචකයෝ කොතක් සිටියද වායුසමනය කරන ලද සැප බස් වලට ඔවුන්ට ඇතුළුවීමට නොදේ. බස් සේවාව දියුණු වුවහොත් මේ බස් රිය වලට එන යාචකයින්ට වෙනත් රැකියාවක් සොයාගැනීමට අනිවාර්යයෙන් සිදුවනු ඇත.

 

3. බහුකාර්ය කොන්දොස්තර තැන

characters that extinct if bus service evolved

Source – ceciliacolussi.com

  • ටිකට් කැඩීම.
  • පසුපසින් එන බස් රිය ගැන බලා රියදුරු දැනුවත් කිරීම.
  • බස් රියේ ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම.
  • බස්රිය නිවැරදිව සැමන් ටින් එකක් ආකාරයට පැක් කිරීම.
  • බහින තැන්වලදී මගීන් ඉක්මනින් නග්ගා ගැනීම.
  • බස් රිය යන ගමනාන්ත ටික කියමින් පාරේ සිට ගෙවල් තුන හතරක් ඈත නිවෙස් වලටද ඇසෙන පරිදි කෑ ගැසීම.
  • මගීන් කොන්දෙන් තල්ලුකරගෙන පටවාගැනීම.

ආදී බහුකාර්ය රාජකාරියක් වන කොන්දොස්තර රැකියාව බස්රිය දියුණුව සමග අභාවයට යාමට නියමිත වේ. දියුණු රටවල ජනයා සිය මුදල් බස්රියේම ඇති යන්ත්‍රයකට දමා ස්වයංක්‍රීයව ටිකට් ගනිති. නැතිනම් බස් නැවතුම් වල ඇති තැන්වලින් ටිකට් ගනිති. දියුණු බස් සේවාවකදී බස් අතර තරඟයක් නොමැති බැවින් අධික ලෙස මගීන් පැටවීමත්, මහමග රේස් තරඟ පැවැත්වීමත් නැත. එබැවින් කොන්දොස්තර රැකියාව තිබුණද එය දැන් තරම් වැඩ අධික රාජකාරියක් නොවනු ඇත.

 

4. ආසන කාක්කන්

characters that extinct if bus service evolved

Source – videoblocks.com

වර්තමානයේ බස් රියක නැගුන කල ආසනයක් හැමෝටම නොලැබීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් බස්රියට නැග ස්වල්ප වේලාවකින්ම ආසනයක් ලබාගැනීමට හැකියාව ඇති පිරිස් සිටිති. කණට ළංව ආබාධයක් ගැන කියා ආසනයක් ඉල්ලා ගැනීම, ආබාධ ඇතැයි රඟදැක්වීම, තිබෙන රෝගයක් ගැන මහ හයියෙන් අනෙක් අයට කීම ආදී විවිධ උපක්‍රම මගින් ආසන කාක්කෝ බස් රිය වලට නැංග තැන පටන් වාඩි වී සිටින අයෙකු නැගිටුවා තමුන්ගේ පශ්චාත් භාගයට සැප දීමට සැදී සිටිති. බස් සේවාව දියුණු වුවහොත් වායුසමන බස්රියක දිගුවේලාවක් අපහසුවෙන් සිටගෙන යෑමට සිදුවන්නේ නැත. එවිට සිටගෙන ගියත් සනීපෙන් යත හැකිය.

 

5. වෙළෙන්දන්

characters that extinct if bus service evolved

Source – youtube.com

“මෙන්න මාත්තයෝ ඕගොල්ලන්ට ලේසියෙන් දකින්න නැති දෙයක් මම ගෙනාවා. කඩේ සාප්පුවේ වගේ වතුර බිල්, ලයිට් බිල් ගෙවන්න මට නෑ. රුපියල් තුන්සීයක් වටින මේ වටිනා දේ ඕගොල්ලන්ට දෙසීයක්ම අඩු කරලා රුපියල් සීයකට දෙනවා. කැමති කෙනෙක් ඉන්නවානම් අත උස්සලා ඉල්ලගන්න ආයේ මේම හම්බුවෙන් නෑ…” ආදී ලෙසින් පොත් පත්, සෙල්ලම් බඩු, ටෝච්, විසිතුරු බඩු ආදිය විකුණන අය බස් රිය වලද, බස් නැවතුම් වලද පෝලිමේ එති. ඒ අතර වඩේකරුවෝ, ටොපි චොකලට් විකුණන අය, රටකජු කඩල විකුණන අයද වෙති. දියුණු බස් සේවාවකදී මගීන්ට බාධා වන පරිදි වෙළඳාමේ යෙදීම වරදකි. බස් සේවාව දියුණු වීම යනු මිනිසුන්ගේ ආකල්ප මෙන්ම සමාජයද යම් දියුණුවකට පත් වීමකි. එවිට ඒ සංචාරක වෙළඳාමේ යෙදෙන අයට ඊට වඩා වැදගත් ලෙස ඒ වෙළඳාම් කටයුතු කරගැනීමට ඉඩ සැලසෙනු ඇත.

 

6. රේස් දුවන බස් රියදුරු

characters that extinct if bus service evolved

Source – sjcdeptcomm.wordpress.com

මෝටර් බයික් සහ කාර් රිය වල යන අයට බස් රියදුරෝ නම් එතරම් දිරවන්නේ නැති කණ්ඩායමකි. ඒ ඔවුන් දමන වෙට්ටු සහ කැපිලි ආදිය කුඩා වාහනකරුවන්ට හිරිහැරයක් වන බැවිනි. බස්රියේ රියදුරු අසුන පිහිටා ඇත්තේ අනෙක් කුඩා වාහන වලට වඩා උඩිනි. එබැවින් වාහන රැසක් එකවර දැකගන්නා අපේ ලේලන්ඩ් බස් රියදුරෝ ඇතැම් විට පෝලිම් කපාගෙන ඉදිරියට ගොස් කොහෙන් හෝ රිංගාගනිති. කොළඹ නම් 138 බස් රියදුරෝ තරඟයට ගොස්, විටෙක පදික වේදිකා උඩිනුත් ගමන් කොට සිය ගමන කෙසේ හෝ වේගයෙන් ගොස් ඊළඟ හෝල්ට් එක බා ගැනීමට වෙර දරති. දියුණු යුරෝපා රටවල් වල ඇතැම් තැනක බස්වල රියදුරු වෘත්තිය කරන්නේ කාන්තාවන්ය. ඔවුන්ට නියමිත වේගයක් තිබේ. යම් බැරි අමාරු මගියෙක් පැමිණියහොත් ඔහුට බස්රියේ පාපුවරු පහත්කර දී ඔහු ආරක්ෂිතව බැසයන තෙක් බලාසිටීමට තරම් දියුණු රටක, දියුණු බස් සේවාවල රියදුරෝ ආචාරශීලි වෙති. එහෙත් ඒ ආකාරයට අපේ බස් සේවාව දියුණු වුනොත් රෝලකෝස්ටරයක යනවාක් මෙන් අධිවේගී අත්දැකීමක් බස්රියේදී ගතහැකි මහඟු අවස්ථාව අපෙන් ගිලිහෙනු ඇත.

 

7. බස් ගායකයෝ

characters that extinct if bus service evolved

Source – youtube.com

බස් රියවලදී ගායනා කරන්නෝ වෙති. ඔවුහු ඩොල්කි රබන් රැගෙන විත් බස්රියේ ජනයාට ගීත කියති. එසේම බස්රියේ සෙටප් එකේ සිට අඬාවැටෙන ගායකයෝද බස් ගායකයෝ වෙති. කලක් බස් රියවල මල් ගීත ගිය අතර, අද වනවිට “පූජා කරන්නම් මලක් ඔයා නමින්” ආදී ගීත ජනප්‍රිය වී තිබේ. එකම තාලේ කොත්තු මියුසික් හෝ දොංත තකට දොංත තකට ඩිස්ටප්පර ආදී තාලවලට බස් ගීත ගැයේ. ඒ මියුසික් එකට ලව් ලෙටර් එකක් කියවාගෙන යනවා වැනිව අඬාවැටෙමින් ගයන ගායකයන්ය. මේ බස් සිංදු වලට ඇතැම්හු මහත් ආශා කරති. එහෙත් සාමාන්‍යයෙන් දැනුම් තේරුම් ඇති ගීත අසන අයට මේ ගීත මහත් කන්දොස්කිරියාවකි. බස් රිය සේවාවන් හොඳට සිදු වුවහොත් දිවා රෑ, උදෑසන, සවස නොතකා වාදනය වන මේ බස් සිංදු සහ බස් ගායකයින් බස් රිය වලදී ශ්‍රවණය වීම නවතිනු ඇත. බස්රියක ඇතුළත වුව මගීන්ට ගැළපෙන සුවපහසු වටපිටාවක් තිබිය යුතුය. ඒ වටපිටාවට කනට සහනයක් තිබීමද ඇතුළත්ය. එබැවින් ආශ්චර්යයකින් හෝ අපිට දියුණු බස් සේවාවක් ලැබුනොත්, එදායින් පසු බස් ගායකයින්ගේ ශෝක ගීතද අපිට නෑසෙනු ඇත.

බස් රිය සේවාව දියුණු වුනොත් අපිට දකින්නට ලැබෙන වෙනස්කම් රැසකි. ඒ අතර මේ ඉහත කී චරිත වල වෙනස්කම් අනිවාර්යෙන් සිදුවේ. බස් යනු පොදු ජනයාගේ වාහනය වේ. බස් සේවාව දියුණු වීම යනු නූතන දියුණුවට පා තැබීමකි. වර්තමානයේ දියුණු රටවල පාලකයෝ, හැමෝටම කාර් රිය, හැමෝටම පෙට්‍රල් අඩුවට යන තැනින් ඉදිරියට ගොස් පරිසර හිතකාමී බස් වැනි විශාල පිරිසක් එකවර ප්‍රවාහනය කළ හැකි ලාභදායී විකල්ප කරා නැවත හැරෙමින් සිටිනු දක්නට ලැබේ.

 
Cover Image Source – lanka.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *