ඔ‍ෆිස් වැඩ සහ පුද්ගලික ජීවිතය ගාණට බැලන්ස් කරගන්න මේ ටිප්ස් 7 පිළිපදින්න

balancing personal and professional lives

දැකලා තියෙනවද කොච්චරවත් වැඩ වැඩ කියාගත්තු ගමන් ඉන්න ඩයල්ස්? මේ ජාතියේ කට්ටිය ගෙදර එන්නේත් ඔ‍ෆිස් එක උස්සගෙන. ඇවිත් ගෙදරත් ඔ‍ෆිස් එකේ වැඩ. සමහර වෙලාවට මේ අයව ඔ‍ෆිස් එකෙන් මුරකාර අංකල්ට ඇවිත් මහ රෑ ඔ‍ෆිස් එක වහන වෙලාවට පන්න ගන්න වෙනවා. මේ කට්ටිය ගෙදර දොරේ වැඩක් පළක් ගැන මෙලෝ අවධානෙකින් නෑ. ගෙදර මනුස්සයන්ව සමහර වෙලාවට අඳුනන්නෙත් නෑ. ගෙදර මිනිස්සු එක්ක කතා බහ කරන්න වෙලාවකුත් නෑ. කොයි වෙලේ ඇහුවත් බිසී. හැබැයි තව කට්ටියක් ඉන්නවා ඔ‍ෆිස් එකේ වැඩක් නෑ. ඔ‍ෆිස් එකට ඇවිල්ලත් ගෙදර වැඩ. දැන් මේ දෙගොල්ලෝම සාර්ථක ජීවිත නෙවෙයිනේ ගත කරන්නේ. කොහොමත් වැඩ බදාගෙන ඉන්න මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාවය කොයි වෙලාවක හරි පහළ වැටෙනවා. ඇයි හරි හැටි විනෝදයක්, සමාජ ආශ්‍රයක්, ගෙදර දොර සම්බන්ධතාවයක්වත්, තමන් ගැන උනන්දුවක්වත් නැතුව වැඩනේ. ආන්න ඒ නිසා අපි මේ කියලා දෙන්න යන්නේ කොහොමද ඔ‍ෆිස් එක සහ පුද්ගලික ජීවිතය සමබර කරගන්නේ කියලා. මේක තමන් තනියෙන් ජීවත් වෙන කෙනෙක්ට වුනත් විශේෂයි.

 

1. දවස සැලසුම් කරගන්න

balancing personal and professional lives

Source – mediaonestudios.com

ඕනෑම ජොබ් එකක ඉන්න කෙනෙක් වැඩ එන එන විදියට වැඩ කරන්න යනවා කියන්නේ ඒ මනුස්සයා ගොඩක් දුර යන්නෙ නැහැ කියන එක තමයි. කොහොමත් තමන්ගේ දවසේ වෘත්තිමය වැඩ කටයුතු කලින් සැලසුම් කරගන්න එක ජොබ් එකටත් ඉතාම හොඳයි. කරන්න අවශ්‍ය කරන වැඩ, ප්‍රමුඛතාවයන් සඳහන් කරමින් ලැයිස්තුවක් හදාගත්තට පස්සේ පහුවෙනිදට තමන්ට හැකි ප්‍රමාණය ඇතුළේ කරන්න පුලුවන් වැඩ මෙච්චරයි කියලා එතකොට අදහසක් එනවනේ. ආන්න එතකොට වැඩ කරන පැය ගාණෙන් පස්සේ තමන්ගේ පුද්ගලික වැඩ කරන්න තියාගන්න පුලුවන්. වැඩ කරන පැය ගාණටත් පස්සේ ජොබ් එකේ වැඩ කරන්න තියාගන්න වෙන්නේ හදිසි වැඩක් ආවොත් විතරයි.

 

2. රාජකාරි ලෝකයත් ෂෙයාර් කරගන්න

balancing personal and professional lives

Source – videoblocks.com

අපි හිතමු පෙම්වතියක්/ පෙම්වතෙක් නැතිනම් සැමියෙක්/ බිරිඳක් තමුන්ට ඉන්නවාය කියලා. අන්න එතකොට තමන් කරන්නේ මොකක්ද, තමන්ගේ රාජකාරිය මොකක්ද කියන එක ඒ අයටත් කියලා තියන්න. මේ කියන්නේ රාජකාරි රහස් බෙදාගන්න කියන එක නෙවෙයි. ඒ අයට අදහසක් දීලා තියන්න තමන්ගේ ජොබ් එක මොකක්ද කියලා. ආන්න එතකොට පුද්ගලික ජීවිතය සහ රාජකාරිය කළමනාකරණය කරගන්න ඒ අයගෙනුත් සහායක් ලැබෙයි. උදාහරණයක් විදියට පොලිස් රහස් පරීක්ෂකයෙක්ගේ බිරිඳක් කවදාවත් හස්බන්ඩ් රෑ මැදියමේ හිටි ගමන් වැඩට යන එකට මොකුත් කියන්නෙ නැහැනේ!

 

3. කලින් සැලසුම්

balancing personal and professional lives

Source – guidebook.com

මෙන්න මේක අත්‍යාවශ්‍යයි හොඳ පුද්ගලික ජීවිතයක් සහ හොඳ රාජකාරි ජීවිතයක් ගෙවන්න නම්. ඒ කියන්නේ හදිසි අවස්ථාවන් ඇරෙන්න තමන් අඩු ගාණේ සතිය පුරා කරන්නේ මොනවද කියන එකවත් දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ රාජකාරියේ නම් තමන්ට තියෙන විශේෂ වැඩ කටයුතු, නගරයෙන් පිටට යන්න සිදුවෙන අවස්ථාවන්, විශේෂ ‍රැස්වීම්, කරලා ඉවර කරන්න සිද්ධ වෙන විශේෂ වැඩ වගේ දේවල් ඒ සතියේ කලින් දැනගෙන තියෙන්න ඕන. එතනදීත් හදිසියේ එන වැඩක් ඉවර කරන්න නයිට ගහන්න සිද්ධ වෙන්න පුලුවන්. හැබැයි ඒක පුරුද්දක් කරගන්න නරකයි. ඔ‍ෆිස් එකෙන් දිගින් දිගටම එහෙම වැඩ තමන්ගේ කරපිටට දානවා නම් එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කරන්න පුලුවන් වෙන්න ඕන.

දෙවෙනියට තමන්ගේ පුද්ගලික ජීවිතේ වැඩකටයුතුත් සතිය පුරා කොහොමද විහිදෙන්නේ කියන එක ගැන හොඳ අදහසක් තියෙන්න ඕන. ඒ කියන්නේ යාලුවෙක්ගේ ගෙදර යන්න තියෙන ඒවා, පාටියකට යන්න තියෙන ඒවා, අම්මව ඩොක්ටර් ගාවට එක්කගෙන යන්න තියෙන ඇපොයිමන්ට් එක, වෙඩින් ඇනිවසරි එක, යාලුවෝ සෙට් වෙන එක වගේ දේවල් සතියකට කලින් ප්ලෑන් වෙලා තියෙන තරමට හොඳයි.

හැබැයි රාජකාරියේදී වගේම පුද්ගලික ජීවිතේදීත් හදිසියේ කරන්න සිද්ධ වෙන ඒවා එන්න පුලුවන්. ඒත් රාජකාරියේදී එන හදිසි වැඩ රාජකාරි වෙලාව ඇතුළත විතරක් තියාගන්න. ඒ වගේම හදිසියේ එන පුද්ගලික වැඩ රාජකාරි වෙලාවෙන් පස්සේ තියාගන්න. මෙන්න මේ විනය අතිශයින්ම වැදගත්.

 

4. ෆෝන් කථා, චැට් කතා, ඊමේල් කතා

balancing personal and professional lives

Source – hypersense-software.com

අපි මේ වෙනකොට රාජකාරි මට්ටමෙන් වුනත් ගනුදෙනු කරනකොට ෆෝන් එක, ඊමේල් විතරක් නෙවෙයි වට්ස් ඇප් වගේ සේවාවන් පවා භාවිතා කරනවනේ. එතකොට පුද්ගලික ජීවිතේ සන්නිවේදනය වෙනුවෙනුත් ෆෝන් එක, වට්ස් ඇප්/ෆේස්බුක් චැට් සහ කලාතුරකින් ඊමේල් පාවිච්චි කරනවනේ. ඒ වගේම අපි දැන් ස්මාට්ෆෝන් පාවිච්චි කරන නිසා මේ සේවාවන් හැම එකක්ම ඕනෑම වෙලාවක අත ළඟ තියෙනවා.

හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණාව තමයි මේ ක්‍රමවේද තිබුණට ඒවා පාවිච්චි කරන්නේ කොයි වෙලාවල් වලද කියන එක තියෙන්නේ අපේ අතේ කියන එක ගැනයි. අපි කියමු රාජකාරී වෙලාව කියලා. පුද්ගලික කෝල් එකකට ආන්සර් කළාට කමක් නෑ. හැබැයි රාජකාරී වෙලාවේ විනාඩි විස්ස තිහ යන මල් කෝල්, ප්‍රශ්න විසඳන කෝල් අනුචිතයි කියන එක ඔලුවේ තියෙන්න ඕන. එතකොට පුද්ගලික චැට් වුනත් රාජකාරි වෙලාවේ කරන්න බැහැ, තමන්ගේ විවේක වෙලාව නෙවෙයි නම්.

අනික් අතට ගෙදර ඉන්න වෙලාවට අපිට ෆෝන් ඕෆ් කරන්න බැහැනේ. රාජකාරියට සම්බන්ධ කෝල් එකක් ආවොත් නොගෙන ඉන්න වුවමනා නැහැ. හැබැයි අවශ්‍ය දේ කෙටියෙන් කථා කරගෙන ෆෝන් එක තියන්න ඕන. දිගින් දිගට ඇදෙන කථාවක් නම් ඒක හෙට උදේ කථා කරමු කියලා ආචාරශීලීව කියන්න ඕන. වට්ස් ඇප් රාජකාරි චැට් එහෙමත් ගෙදර ඉන්න වෙලාවට ආවා කියලා ඒකට රිප්ලයි කරන එක අනිවාර්ය දෙයක් නෙවෙයි. හදිසියක් නෙවෙයි නම්, ඒකට දීර්ඝ උත්තරයක් ඕන නම් ඒක රාජකාරි වෙලාවෙදි කරගන්න පුලුවන්.

 

5. පුද්ගලික ජීවිතේ ක්‍රමවත් වෙන්න ඕන

balancing personal and professional lives

Source – rd.com

මේ කියන්නේ එක දෙයක් ගැන නෙවෙයි. දවස පටන් ගන්න කලින් පොඩි එක්සයිස් පාරක් එහෙම දාලා, දවසේ වැඩ ප්ලෑන් කරගෙන වැඩ පටන් ගන්න එක බොහෝම හොඳ වැඩක්. ඒ වගේම මනුස්සයෙක් වුනහම විනෝදයට කරන දෙයක්, විනෝදාංශයක් එහෙමත් තියෙන්න වුවමනායි. ඒක පොතක් පතක් කියවීම වෙන්න පුලුවන්, මල් වැවීම වෙන්න පුලුවන්, සංගීතය වෙන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න. රූපවාහිනිය නැරඹීම හරි නිදාගැනීම හරි විනෝදාංශ නෙවෙයි. විනෝදාංශයකින් මනසට යමක් එකතු වෙන්න ඕන, මනස සැහැල්ලු වෙන්න ඕන.

දැන් සමහරු ඉන්නේ නිදාගන්න කලින් පොඩ්ඩක් පොත පත කියවන. ආන්න ඒ විදියේ පුරුද්දක් හදාගන්න එක බොහොම හොඳයි. තමන්ගේ කෑම පැයේ දිවා ආහාර අරගෙන ඇවිත් විනාඩි දහයක් පහළොවක් පොතක් කියෙව්වත්, සංගීතයට ඇහුම්කන් දුන්නත් කමක් නෑ. රාජකාරි වැඩ අතරතුරදී ඒ වගේ බ්‍රේක් එකක් අවශ්‍යයිනේ. හැබැයි මේ හැම දෙයක්ම ක්‍රමවත් වෙන්න ඕන. ආන්න එතකොට තමන්ගේ වැඩ කරන වේගයත් හැදෙනවා. රාජකාරි වැඩ වෙලාවෙන් පස්සේ කරන්න දේවලුත් තියෙනවා.

 

6. ගෙදර අය වෙනුවෙන් වෙලාව

balancing personal and professional lives

Source – myjudythefoodie.com

සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙදර අයත් එක්ක මොනවා කතා කරන්නද කියන එක. ඇයි ඉතින් ගෙදර අයනේ. කොයි වෙලේත් ඉන්නවනේ. ඉතින් මොනවා කතාකරන්නද?

හැබැයි මතක තියාගන්න. ගෙදර අය වුනත් හැමදාම ඉන්නේ නැහැ. ඒ අයත් එක්ක සතු‍ටු සාමීචියේ යෙදෙන එක අතපහු කිරීම ගැන තමුන් දුක් වෙන්නේ කවදාහරි එහෙම සතු‍ටු සාමීචියේ යෙදෙන්න ගෙදර අය නැතිවුණු දවසට. ආන්න ඒ නිසා අනිවාර්යයෙන්ම දවසේ පොඩි වෙලාවක් හරි ඒ අයත් එක්ක කතා බහ කරන්න, දවසේ සිදුවීම් බෙදාහදා ගන්න වෙන් කරන එක වටිනවා. ඕන නම් ඔ‍ෆිස් ගිහින් ඇවිත් මහන්සි අරින අතරේ කතා බහ කරන්න පුලුවන්. ඒකෙන් සිද්ධ වෙන වටිනා දෙයක් තියෙනවා. එකක් ගෙදර අයත් එක්ක සමීප සම්බන්ධතාවය නොකැඩී තියෙන එක. දෙක තමයි ගෙදර දොරේ සිද්ධ වෙන දේවල්, ගෙදරින් එළියේ තමන් සහ තමන්ගේ පවුල අවට සිද්ධ වෙන දේවල් ගැන හොඳ දැනුමක් තියෙන එක. සමහර වෙලාවට මේ කතාබහේදී ගමේ ඕපදූප වුනත් අහන්න ලැබෙන්න පුලුවන්. ඒකට කමක් නෑ. තමන් ගෙදර සාමාජිකයෙක්ය කියන එක තමන්ටත්, ගෙදර අනික් අයටත් හිතට දැනෙන්න මේ කතාබහ ප්‍රයෝජනවත්.

 

7. කාලෙකට සැරයක් හොඳ නිවාඩුවක්

balancing personal and professional lives

Source – banasura.com

සාමාන්‍යයෙන් ඕනෑම රස්සාවක නිවාඩු දින ගණනක් තියෙනවා. තමන් අර ඕනෑ එකටයි එපා එකටයි නිවාඩු ගන්න නරක පුරුද්ද තියෙන කෙනෙක් නෙවෙයි නම්, ගොඩක් වෙලාවට අවුරුද්ද අන්තිම වෙනකොට මේ නිවාඩු දින ගණන ඉතුරු වෙනවා. ආන්න එතකොට තමයි මිනිස්සු ඔය ලෝන්ග් ට්‍රිප් දාගෙන සතියක් දෙකක් ගිහින් එන්නේ. හැබැයි සමහරු ඉන්නවා නිවාඩු යවන්න වෙන්නේ බලෙන්. ආන්න එහෙම වැඩ කරන එක හොඳ නෑ. ගෙදර අයත් එක්ක, ලව් එකත් එක්ක නැතිනම් යාලුවෝ එක්ක ට්‍රිප් එකක් එහෙම යන්න ඕන. හැබැයි ඒ ට්‍රිප් එක යන වෙලාවේදී වැඩ රාජකාරි අමතක කරලා තමයි යන්න ඕන.

අනික් කාරණාව මාසෙකට දවසක්වත් පොඩ්ඩක් එළියට යන්නත් මනුස්සයෙක් වුනහම ඉඩ හදාගන්න ඕන. ඒක යාලුවෙක් එක්ක හරි ලව් එකත් එක්ක හරි ගෙදර අය එක්ක හරි කෑමකට එළියට යෑමක් හෝ ‍ෆිල්ම් එකක් බලන්න යෑමක් වෙන්න පුලුවන්. වැදගත් දේ තමයි එහෙම දෙයක් මාසෙකට සැරයක් හරි කරන එක.

මෙන්න මේ විදියට වැඩ කළොත්, පුද්ගලික ජීවිතේ සහ රාජකාරි ජීවිතේ සමබරව තියාගෙන සැපේ ජීවත් වෙන එක මහලොකු අමාරු වැඩක් නෙවෙයි!

 
Cover Image Source – wisewaysconsulting.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *