අසල්වැසියො කියන අයත් එක්ක අතිශය සතුටෙන් සමාදානයෙන් ඉඳපු අතීතයක් අපේ රටට තිබුණා. ඒත් නගරයට එනකොට ඉඩකඩින් කොච්චර ළං වුණත් බැඳීම්වලින් බොහෝ දුරස් වුණා. මහා උසට තාප්ප හැදුණා, ටීවී නිසා ගෙදරින් එළියට බහින එක නැවතුණා. පසුකාලීනව කම්පියුටර් ස්මාට්ෆෝන් නිසා කාමරෙන් සාලෙට බහින එකත් නැවතුණා. ඒ කොහොම වුණත් අසල්වැසියොන්ගෙ ප්‍රයෝජන වගේම අපේ ජීවිතේට නරක විදියට අත දාන වාතකාරී හැසිරීමුත් බොහෝ තියෙනවා. තාමත් ඒවගේ දේවල්වලට හිත ඇතුළෙන් කේන්ති යන අවස්ථා නැතුවම නෙමෙයි. අපි මේ කියන්න යන්නෙ ඒ වගේ දේවල් 7ක් ගැනයි.
1. ඊයේ දිනයෙන්

Source – babycentre.co.uk
අසල්වැසියොන්ට කරන්ට් ඉෂූස් දැනගන්න පුදුම නොඉවසිල්ලක් තියෙන්නෙ. සාමාන්‍ය අතපෙවීම්වලට අමතරව ඊයේ දිනයේ ගෙදරට කන තියාගෙන හිටියට පස්සෙ අහන්න ලැබුණු දේවල් ගැන ඒ අය හාරඅවුස්සන්න පටන්ගන්නෙ කිසිම ලැජ්ජාවක් හරි හිරිකිතයක් හරි නැතුව. පොඩි එකා රෑ අඬන සද්දයක් එක්කම දෙමවුපියන් කේන්තියෙන් කෑගහන සද්දයක් ඇහුනොත්, ඇයි ඊයේ පොඩි එකාට ගැහුවෙ? කියල තමයි අහන්නෙ කෙලින්ම. ආයෙ දෙකක් නෑ. ඒ වෙලාවට ‘ඒ ඉතිං මගේ දරුවනෙ’ කියල පොඩි හින්ට්මය උත්තරයක් දුන්නනං ඔය ප්‍රශ්න නවතීවි.
2. ස්ටේටස් චෙක්

Source – medium.economist.com
අසල්වැසියන් කරන තවත් දෙයක් තමයි ස්ටේටස් චෙක් කිරීම. ඉස්කෝලෙට සුදු දිග කලිසම් අඳින්න ගත්ත දිනේ පටන් එයාලා ස්ටේටස් චෙක් කරන ගමන් ඉන්නෙ. තාමත් කෙල්ලෙක් ගැන හිතේ කැමැත්තක් නැද්ද? දැන්වත් කෙල්ලෙක් එක්ක සෙට් නැද්ද? ඒ ගැන තාම ගෙවල්වලට කිවුවෙ නැද්ද? ඒ කෙල්ලව බඳින්නෙ නැද්ද? දරුවෙක් මල්ලෙක් නැද්ද තාමත්? පොඩි එකාගෙ තනියට තව එකෙක් නැද්ද? කියල නොහොයන අසල්වැසියෙක් ලබන්න නං පින් කරන්න ඕන. මොකද ඉතිං බොහෝමයක් අසල්වැසියො ඔය ස්ටේටස් චෙක් කිරිල්ලෙ තමයි ඉන්නෙ. රස්සාවල් ගැන වුණත් ඔය තත්ත්වෙම තමයි.
3. ඔය ගේ හදන විදිය අවුල් නේද?

Source – mycity-web.com
අසල්වැසියෝ ඇණයක් වෙන තවත් විදියක් තමයි මේ කියන්න යන්නෙ. මේක වෘත්තීයමය අතපෙවීමක්. උදාහරණෙකට මෙහෙම හිතමුකො. ඔන්න ගෙදරක අලුතෙන් හදනව යම් කොටසක්. අසල්වැසියො ඇවිල්ල ඒ දිහා බලන් ඉඳලා, ‘මේක මේ හදන විදියට හොඳටම ගඩොල් නාස්ති වෙනව නේද? මුං හොරාකනව ඇති’ වගේ ටෝක් දෙනව. ඔය කියන දේවල් බාස් මහත්තුරුන්ට ඇහුනම ගෙදර හිමිකාරයත් එක්කම අපහසුතාවයට පත්වෙනවා. හැබැයි පොඩි වළක් හාරගන්න බැරි උන් ගෙවල් හැදිල්ල ගැන ටෝක් දෙන එක නවත්තන්නෙ නෑ.
4. රියැලිටි චෙක්

Source – serenityvista.com
‘හස්බන්ඩ් ඩ්‍රින්ක් එක දානව වැඩියි නේද? මං ඊයෙත් දැක්ක පාරෙ වැනි වැනි එනව.’
ඕක තනිකරම කරන්නෙ අවුලවන්න හිතාගෙන. ඇත්තටම ඔය කියන මනුස්සය පාරෙ වැනි වැනි ආවෙ නෑ වෙන්න පුළුවන්. ගෙදරට එන පටුපාරෙ ඒ පාරෙ වැසියෙක් වැනි වැනි ආවත් ඒක තවත් මිනිහෙකුට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැනෙ. මේක තනිකරම අවුලවන්න කරන ප්‍රකාශයක්. අන්තිමට ඉතිං මොකෝ ඔච්චර බොන්නෙ ඔයාලා රණ්ඩු වුනාද? වගේ සෙන්ටිමෙන්ටල් වචනයක් දාලා ගින්නට පෙට්‍රල් ටිකකුත් දාලම යවන්න එයාලා දක්ෂයි.
5. කන්සියුමර් අයිඩියාස්

Source – entrepreneur.com
නිවැසියන්ට අවශ්‍යතාවයක් නැතිදේ ගැන ඔලුවට දාන්නත් අසල්වැසියො හරිම දක්ෂයි. ආයෙ ඉතිං පර්චස් පහේ ඉඩක ගෙයක් අටවං ඉන්න මිනිස්සුන්ට අත්ට්‍රැක්ටරයක් ගත්තොත් මොකෝ වගේ ගොං අයිඩියාස් තමයි එයාලා දෙන්නෙ. ‘දැන් කාර් එකක් ගත්තොත් මොකද?’, ‘දැන් ලොකු අල්මාරියක් ගන්න. ගෙවල් ගාව කඩේ අල්මාරි ලාබයි’ වගේ ගොන් කතා කියල මොළ කන එක එයාලගෙ රාජකාරිය. සමහර නෑදෑයොත් ඉන්නව ඔය වැඩේම කරන.
6. හිත සුව පිණිස

Source – insteading.com
අසල්වැසියා – ඔයාලා මේ ටිකේම සැමන් කෑවා නේද? ඔච්චර සැමන් කන්න හොඳ නෑ උෂ්ණයි.
නිවැසියා – අංකල් කොහොමද දන්නෙ අපි සැමන් කෑවා කියල?
අසල්වැසියා – ඇයි අර කුණු බාල්දියෙ සැමන් ටින් ගොඩක් තිබ්බෙ.
නිවැසියා – අංකල් අපේ කුණු බාල්දියත් ඇද්දද?
අසල්වැසියා – නෑ මං දැක්කා.
නිවැසියා – දකින්නෙ කොහොමද අංකල් පියන අරින්නෙ නැතුව?
අසල්වැසියා – මං ඉතිං දූලගෙ හොඳටයි කිවුවෙ.
නිවැසියා – පොඩි එක්කෙනාගෙ ඉස්කෝලෙ වැඩකට හොයාගත්තු ටින් වගයක් අංකල් ඒ විසික් කළේ.
අසල්වැසියා – ආ… මේ මේ
7. දෑස් හරින්න… මෝහයෙන් මිදෙන්න…

Source – tvinsider.com
ඔය අසල්වැසියො අතදාන තවත් දෙයක් තමයි ටීවී එකේ සද්දෙ කියන්නෙ. මේ කියන්නෙ තමුන් බලන දේ රටටම ඇහෙන්න සද්දෙට දාන එක ගැන නෙමෙයි. මේ කියන්නෙ බලන දේ ගැන. එයාලා මුලින්ම ඇවිත් මැච් නේද හැමදාම බලන්නෙ? කියල ඇහුවම අපිට හිතෙන්නෙ අපේ ටීවී එකේ සද්දෙ වැඩියි කියල වුණාට, එයාලා කම්ප්ලේන් කරන්න නෙමෙයි ඇවිත් තියෙන්නෙ. එයාලා ඇවිත් තියෙන්නෙ මැච් විතරක්ම බලන්නෙ නැතුව සුමදුර ධර්ම සංඝායනාත් බලන්න කියන්න. එහෙමත් නැත්තං රෑ අටට යන සෝක් කතාව බලන්න කියන්න.
Cover Image Source – helloneighborgame.com
Leave a Reply