ආලෝකයේ වේගයෙන් දත්ත හුවමාරු කරගැනීමට ඉඩ සදනා Li-Fi!

Li-Fi tech

වයි-ෆයි කියන්නේ තවදුරටත් කිසිවෙකුටත් අරුම පුදුම තාක්ෂණයක් නොවෙයි. ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් දෙනෙක් මේ වෙනකොට වයි-ෆයි ‍රැහැන් රහිත සම්බන්ධතාවය සහිත රවුටරයන් පාවිච්චි කරනවා. ඕනෑම අවම-ශක්‍යතා ස්මාට්ෆෝන් එකක වුනත් වයි-ෆයි සම්බන්ධතාවය තියෙනවා. හැබැයි අපි කිවුවොත් වයි-ෆයි වගේ සිය ගුණයකින් වේගවත් නවීනතම ‍රැහැන් රහිත තාක්ෂණයක් මේ වෙනකොට අනාගත ලෝකයේ ‍රැහැන් රහිත තාක්ෂණික සම්මතය වෙන්නට කල් යල් බලනවා කියලා? ඔව්. මේ තාක්ෂණයට කියන්නේ ලයි-ෆයි (Li-Fi) කියලා. මේ කියන්න යන්නේ ලයි-ෆයි තාක්ෂණය ගැන වැඩි විස්තර ටිකක්.

 

1. ලයි-ෆයි කියන්නේ මොනවද?

Li-Fi tech

Source – purelifi.com

සරලවම කියනවා නම් වයි-ෆයි කියන්නේ රේඩියෝ තරංග ආධාර කරගනිමින් දත්ත හුවමාරු කරන්නට පුලුවන් ක්‍රමයක්නේ. වයි-ෆයි කියන්නේ Wireless Fidelity කියන එක. ටිකක් පිස්සු වෙළෙඳ නාමයක් වුනත් ඒක එහෙම තමයි. හැබැයි අපි කථා කරන නවීනතම ලයි-ෆයි තාක්ෂණය කියන වචනය බිඳිලා එන්නෙත් ඒ අනුසාරයෙන් තමයි. ලයි-ෆයි කියන්නේ Light Fidelity කියන එක. එතකොට ලයි-ෆයි තාක්ෂණයේදී සිදුවෙන්නේ දෘෂ්‍ය ආලෝකය හරහා දත්ත හුවමාරු කෙරෙන එක. තවත් නිවැරදිව කිවුවොත් එල්-ඊ-ඩී බල්බ් උපයෝගී කරගනිමින් තමයි ලයි-ෆයි ක්‍රියාත්මක වෙන්නේ.

 

2. ලයි-ෆයි කොහොමද වැඩ කරන්නේ?

Li-Fi tech

Source – youtube.com

ලයි-ෆයි ක්‍රියාත්මක වෙන්නේ රේඩියෝ තරංග වෙනුවට ආලෝකය ඉවහල් කර ගනිමින් කියලා අපි කිවුවනේ. ඇත්තටම අපි නිවසේ දකින LED විදුලි බල්බයන් වලට වඩා සුවිශේෂී ආලෝක ප්‍රභවයන් ලයි-ෆයි සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. සරලම ආකාරයෙන් කිවුවොත් ලයි-ෆයි තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

පත්තු වෙන ලයිට් එකකින් නිකුත් වෙන ෆෝටෝනයන් ශක්තිය ‍රැගෙන යනවා කියන එක අපි අහලා තියෙනවනේ. ෆෝටෝන වලට ශක්තියක් සහ ගම්‍යතාවක් තියෙනවා. ඒ ෆෝටෝන තමයි අපි ආලෝකය විදියට දකින්නේ. දැන් අපි හිතමු පත්තුවෙන ලයිට් එකකට සපයන විද්‍යුත් ධාරාව අතිශයින්ම සුළු ප්‍රමාණයකින් විචලනය කරනවා කියලා. එතකොට ලයිට් එකෙන් නිකුත් වෙන ෆෝටෝන ප්‍රවාහයත් ඒ විදියටම ඇසට නොපෙනෙන ආකාරයකින් සහ අතිශයින්ම ඉහළ ශීඝ්‍රතාවයකින් විචලනය වෙනවා. ආන්න ඒක තමයි ලයි-ෆයි දත්ත හුවමාරු තාක්ෂණයේ පදනම.

 

3. ලයි-ෆයි ක්‍රියාකාරීත්වය තවදුරටත් කිවුවොත්?

Li-Fi tech

Source – news.virginia.edu

අපි ගමු LED බල්බයන් සහ අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික අංගෝපාංගයන්ගෙන් නිර්මාණය වුණු ලයි-ෆයි පද්ධතියක්. දැන් මේ ලයිට් බල්බ් එකට සංඥා සැකසුම් තාක්ෂණය භාවිතා කරමින් දත්ත ලබාදෙනවා. එතකොට ලයිට් බල්ට් එකෙන් නිකුත්වෙන ආලෝක දහරාව හරහා මේ දත්ත අධි වේගයකින් නිකුත් වෙනවා. කොහොමද ආලෝක දහරාවක් දත්ත ගෙනියන්න යොදාගන්නේ කියලා අපි උඩිනුත් කිවුවනේ. අමතක කරන්න එපා. මේ දත්ත කියන්නේ 1 සහ 0 විදියට පෙන්නන්න පුලුවන් සංඥාවන් විතරයි. ආලෝක දහරාවේ ඇසට නොපෙනෙන විචලනය මගින් තමයි මේ ද්විමය සංඥා නිරූපණය කෙරෙන්නේ.

දැන් මේ ආලෝක දහරාව ග්‍රහණය කරගන්නවා ෆොටෝ ඩයෝඩ් කියලා හඳුන්වන්න පුලුවන් ආලෝක රිසීවරයකින්. මේ ෆොටෝ ඩයෝඩ් එකට පුලුවන් ආලෝක දහරාව මගින් නිරූපණය කරන දත්ත ඉලෙක්ට්‍රොනික් සංඥා බවට ආයෙමත් පරිවර්තනය කරන්න. දැන් මේ ඉලෙක්ට්‍රොනික සංඥාවන් ආයෙමත් දත්ත බවට පරිවර්තනය කරගන්න පුලුවන්. එතැනින් එහාට මේ දත්ත කියවන්න පුලුවන් ඕනෑම පරිගණකයකට, ස්මාට්ෆෝන් එකකට වැඩේ ලේසියි.

 

4. ලයි-ෆයි කොයිතරම් වේගවත්ද?

Li-Fi tech

Source – blog.unnes.ac.id

ලයි-ෆයි සම්බන්ධතාවයේ වේගය ගැන කතා කරනකොට අපිට වර්තමානයේදී හිතාගන්න පුලුවන් සම්මතයන්ගෙන් ගත්තොත් අධිවේගවත් කියලා බය නැතුව කියන්න පුලුවන්. පර්යේෂණාගාර පරීක්ෂණ වලදී තහවුරු වෙලා තියෙන විදියට ලයි-ෆයි සම්බන්ධතාවයට පුලුවන් තත්පරයකට ගිගාබයිට් 224ක දත්ත ගෙනියන්න. ඒ කියන්නේ දැන් තියෙන වේගවත්ම වයි-ෆයි සම්බන්ධතාවයකට වඩා සිය ගුණයකින් වේගවත්. අපිට තේරෙන විදියට කිවුවොත් ලයි-ෆයි සම්බන්ධතාවයක් හරහා ගෙදර ලයින් එකේ ඉඳලා කම්පියුටර් එකට ඉන්ටර්නෙට් ගත්තොත්, ලයි-ෆයි වේගෙන්ම ගෙදරට ඉන්ටර්නෙට් සපයන්න පුලුවන් සේවා සපයන්නෙකුත් අනාගතේදී ඇති වුනොත්, 720p බ්ලූරේ ‍ෆිල්ම් එකක ප්‍රමාණය ගිගාබයිට් 1.5ක් වගේ කියලා ගත්තොත්, ඒ වගේ හයි කොලිටි ‍ෆිල්ම් 18ක් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ එකම එක තත්පරයයි! හැබැයි ඉතින් එහෙම වේගෙකින් ඩවුන්ලෝඩ් කරගන්න ගෙදර ලයි-ෆයි සිස්ටම් එකක් හයි කරගත්තට බැහැ, හරිද. ඒ වේගෙන් ගෙදරට ඉන්ටර්නෙට් දත්ත හුවමාරු සම්බන්ධතාවය දෙන්න පුලුවන් සේවා සපයන්නෙකුත් ඉන්න ඕන.

 

5. ලයි-ෆයි වල ගැටළු නැතිද?

Li-Fi tech

Source – techcrunch.com

අනිවාර්යයෙන්ම තියෙනවා. ඕනෑම තාක්ෂණයක වගේම ලයි-ෆයි වලත් ඉහළ මට්ටමේ ගුණාංග වගේම ගැටළුකාරී පැත්තකුත් තියෙනවා. ලයි-ෆයි එක්ක එන ප්‍රධාන ගැටළුව තමයි ලයි-ෆයි හරහා දත්ත හුවමාරු කරන්න පුලුවන් පරාසය. දැන් අපි දන්නවනේ වයි-ෆයි රවුටර් එකක් පාවිච්චි කරනකොට මොන කාමරේ රවුටර් එක තිබුණත්, අපි වෙනම කාමරයක හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද රේඩියෝ තරංග වලට බිත්ති වගේ බාධක ගේමක්ම නැහැ. ගොඩක් වෙලාවට ගෙදරින් එලියට ගිහින් පාරට ගියත් ඒත් ගෙදර තියෙන වයි-ෆයි රවුටර් එකට කනෙක්ට් වෙන්න පුලුවන්. හැබැයි ලයි-ෆයි එක්ක ඒ සෙල්ලම් බෑ.

ලයි-ෆයි වලට තියෙන්නේ සීමිත පරාසයක්. ඒ වගේම ආලෝකයට බිත්ති හරහා යන්න බැරි නිසා වයි-ෆයි වගේ රවුටරේ සාලේ තියලා කාමරේ ඉඳලා පාවිච්චි කරන්නත් බෑ. ලයි-ෆයි ෆොටෝ ඩයෝඩ් එක සහ ලයිට් බල්බ් එක තියෙන්න ඕන එකම කාමරේක. සෘජුව ඒ දෙක සම්බන්ධ වෙන විදියේ කෝණයකින් තියෙනවා නම් ඉතාම හොඳයි. එහෙම නැතත් බිත්ති වල වැදිලා පරාවර්තනය වෙලා එන ආලෝකයටත් අඩු තරමින් තත්පරයකට මෙගාබයිට් 70 ක විතර දත්ත හුවමාරු වේගයක් ලබාදෙන්න පුලුවන්. දැන් තියෙන සාමාන්‍ය වයි-ෆයි සම්බන්ධතා වලට වඩා ඒකත් වැඩියිනේ.

 

6. ලයි-ෆයි ගැන තියෙන වැරදි වැටහීම්

Li-Fi tech

Source – info.4imprint.com

ලයි-ෆයි එක්ක එන තවත් ගැටළුවක් වෙන්නේ ලයිට් එක නිරන්තරයෙන්ම දල්වලා තියන්න සිද්ධ වෙන එක. හැබැයි LED බල්බ් කියන්නේ ටංග්ස්ටන් බල්බ් වගේ එක දිගටම දල්වලා තිබ්බත් ලොකු ගැටළුවක් වෙන්නේ නැති බල්බ් වර්ගයක් වීම වාසියක්. ඕනෑනම් මිනිස් ඇසට නොපෙනෙන, ඒත් ආලෝක ෆෝටෝන නිකුත් කරන ප්‍රමාණයකට බල්බ් එක ඩිම් කරලා තියන්නත් පුලුවන් කියලා කියවෙනවා. අන්න ඒක නිසා නිදාගන්න ගිහින් ලයිට් ඕෆ් කරලා ඇඳේ ඉන්නකොට ලයි-ෆයි පාවිච්චි කරන්න බැහැයි කියන වැරදි මතය බිඳ වැටෙනවා. ඇත්තටම ලයි-ෆයි පද්ධතියට මිනිස් ඇසට ගෝචර නොවෙන ප්‍රමාණයක, ඒ කියන්නේ 60 Lux ප්‍රමාණයටත් වඩා අඩු අවම ආලෝක මට්ටමකින් වුනත් ගැටළුවක් නැතුව දත්ත හුවමාරුව සිදුකරන්න පුලුවන් කියලා Pure Li-Fi සමාගම කියනවා.

ඒ වගේම තවත් වැරදි මතයක් තමයි සෘජු හිරු එළිය තියෙන එළිමහනකදී ලයි-ෆයි පාවිච්චි කරන්න බැහැයි කියන එක. අන්න ඒකත් වැරදි මතයක් කියලා Pure Li-Fi සමාගම පෙන්නලා දෙනවා. මේ තාක්ෂණයේදී සිද්ධ වෙන්නේ ඉතාම ඉහළ ශීඝ්‍රතාවයකින් ආලෝකය විචලනය කරවීම සහ ඒ විචලනයන් ග්‍රහණය කරගැනීම නිසා ස්වභාවික ආලෝකයේ මන්දගාමී විචලනයන්ගෙන් ලයි-ෆයි දත්ත හුවමාරුවට බාධා එල්ල වෙන්නේ නැහැ. මේ කට්ටිය 77,000 Lux තරම් දැඩි හිරු එළියේත් ලයි-ෆයි රිසීවරයන් යොදාගෙන පරීක්ෂණ කරලා ඒ බව තහවුරු කරගෙන තියෙනවා.

 

7. ලයි-ෆයි භාවිතා කරන්න පුලුවන් මොන වගේ අවස්ථා සඳහාද?

Li-Fi tech

Source – phys.org

දැන්මම ගෙවල් වල භාවිතයට නම් ලයි-ෆයි එන්නේ නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අපි ලයි-ෆයි සම්බන්ධතාවයක් ස්ථාපනය කරගත්තත් ඒ වේගෙන් අපිට ඉන්ටර්නෙට් දෙන්නේ කවුද? අනික් කාරණාව බැරි වෙලාවත් ඉස්සරහදී ඒ වේගෙන් ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් සුපිරි අන්තර්ජාල සේවා සපයන්නෙක් ලංකාවට ආවත් ඔය වගේ වේගයක් එක්ක සාමාන්‍ය ගෘහස්ථ පරිශීලකයෙක් මොනවා කරන්නද? මාසෙම ඩවුන්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්න ‍ෆිල්ම්, ටීවී සීරීස් තත්පර කෑල්ලක් ඇතුළත ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ? අනික ඔය වගේ අධි වේගයක් එක්ක එන ඉහළ දත්ත පරිභෝජනයට අය කෙරෙන ගාස්තු කොහොම වෙයිද? මේවා ඇත්තටම අනාගතයට අදාළ කරුණු. ඇත්තටම දැනටත් සාමාන්‍ය පරිශීලකයෙකුට වයි-ෆයි වේගය ඉහටත් උඩින්. හැබැයි ඉක්මනටම අනාගතයේදී වයි-ෆයි උපරිම සීමාවන් තවදුරටත් ප්‍රමාණවත් නොවෙන විදියට තාක්ෂණයන් දියුණු වෙයි. අන්න එතකොට තමයි ලයි-ෆයි වගේ තාක්ෂණයක වටිනාකම තියෙන්නේ.

අනෙක් අතට ලයි-ෆයි වල තියෙන කෙටි පරාසය සහ භෞතික බාධක නැති සම්බන්ධතාවයක් අවශ්‍ය වීම වැඩි වාසියක් කරගන්න පුලුවන් අවස්ථාවනුත් තියෙනවා. හිතන්න ගුවන්යානාවක කැබින් එකක් හරි පරමාණු බලශක්ති බලාගාරයක් හරි නැතිනම් ඉස්පිරිතාලෙක සංවේදී යන්ත්‍රෝපකරණ තියෙන කාමරයක් හරි. ඒ වගේ තැනක වයි-ෆයි පාවිච්චි කරන්න බැහැ. මොකද විද්‍යුත්-චුම්භක තරංග අතුරු බාධනය නිසා ගැටළු ඇතිවෙන හින්දා. හැබැයි ලයි-ෆයි තාක්ෂණය මේ වගේ තැනකට හරියටම ගැලපෙනවා. ආලෝකයෙන් එහෙම විද්‍යුත් චුම්භක තරංගයන්ගෙන් වගේ බාධා ගැටළු ඇතිවෙන්නේ නැහැනේ.

ඒ වගේම තමයි ලයි-ෆයි වල තියෙන කෙටි පරාසය නිසාම ලයි-ෆයි සම්බන්ධතාවයක් අපි පාවිච්චි කරන වයි-ෆයි සම්බන්ධතාවයකටත් වඩා ආරක්ෂිත කරන්න පුලුවන්.

 

8. ලයි-ෆයි නිර්මාතෘ

Li-Fi tech

Source – businesswire.com

මේ ආලෝකය හරහා දත්ත හුවමාරු තාක්ෂණය හොයාගත්තේ ජර්මානු ජාතික විද්‍යාඥවරයෙකු වෙන හැරල්ඩ් හෑස්. එයාම තමයි මේ වෙනකොට ලයි-ෆයි තාක්ෂණික උපාංග නිර්මාණය කරන ප්‍රධානතම සමාගම වෙන එංගලන්තයේ Pure Li-Fi සමාගමේ ප්‍රධානියා වෙන්නේත්. මේ කට්ටිය මේ වෙනකොටත් ලයි-ෆයි තාක්ෂණය ප්‍රායෝගිකව යොදාගන්න පුලුවන් දත්ත හුවමාරු සහ සම්ප්‍රේෂණ උපාංග සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කරලා අවසන්. දැන් තියෙන්නේ ලෝකයට මේ නවතම ලයි-ෆයි තාක්ෂණය යොදාගන්න පසුබිම නිර්මාණය කරන්න විතරයි.

 
Cover Image Source – komando.com
 

zvr
Your Reaction

Comments