අපේ තාලෙට ගමේ රසට හදන චිකන් කරියක් එක්ක වෙනස්ම චිකන් රෙසිපි 4ක්

Chicken recipes

නිතර දෙවේලෙ හැදුවට පුරුද්දට පහේ දානව මිසක් හුඟ දෙනෙක්ට රසට චිකන් කරියක් හදාගන්න දන්නෙ නෑ. අපේ රසට හදාගන්න පුළුවන් චිකන් කරියක් එක්කම හැමදාම එකම විදියට කන කරියෙන් වෙනස් වෙන්න අළුත් විදියට චිකන් හදාගන්න රෙසිපි ටිකකුත් අපි අරන් ආව. මේ විදියට හදල බලලම අපිට කියන්නකො රස ගැන.

 

1. ගමේ තාලෙට චිකන්

Chicken recipes

Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • සෝදා පිරිසිදු කර කපාගත් කටු සහිත චිකන් 400g
  • හීනියට කපාගත් ළූණු පොඩි ගෙඩියක්
  • තලාගත් ඉඟුරු, සුදුළූණු
  • රම්පෙ, කරපිංචා
  • සේර කෑල්ලක්
  • මහදුරු ඇට තේ හැඳි 1/2, කොත්තමල්ලි ඇට තේ හැඳි 1/2
  • කරදමුංගු 2
  • කරාබුනැටි 5
  • පොඩි කුරුඳු කෑල්ලක්
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • බැදපු පහේ තේ හැඳි 1 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • ලුණු රස අනුව
  • විනාකිරි මේස හැන්දක්
  • සීනි තේ හැඳි 1/2

 

  1. මස් වලට විනාකිරි, ගම්මිරිස්, ලුණු, මිරිස්, බැදපු පහේ ටික දාල හොඳින් අනාගෙන විනාඩි 30ක් සීසන් වෙන්න තියාගන්න. ඒ අතරතුර මහදුරු සහ කොත්තමල්ලි යන්තම් කබලේ බැදගෙන කුඩු කරගන්න.
  2. මැටි වලඳක් රත් වෙන්න තියල ඒකට තෙල් මේස හැඳි තුනක් එකතු කරගෙන, තෙල් ටික රත් වෙන කොට පිළිවෙලින් රම්පෙ, කරපිංචා, සේර, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු එකතු කරන්, ඒ ටික සුවඳ එන්න බැදෙන කොට ළූණු එක්ක ඉඟුරු සුදු ළූණු එකතු කරගෙන ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න.
  3. ඒකට සීසන් කරගත්ත චිකන් ටික එකතු කරගෙන කලවම් කරන් ලිපේ ගින්දර අඩුම කරල පියනකින් වහල මදගින්නෙ පිසෙන්න අරින්න. විටින් විට කලවම් කරගන්න.
  4. චිකන් වල ඇති වතුර එළියට ඇවිත් චිකන් එක තැම්බෙන්න පටන් ගත්තට පස්සෙ කබලෙ බැදල එකට කුඩු කරගත්ත මහදුරුයි කොත්තමල්ලියි එකතු කරන් කලවම් කරගෙන වතුර හෝ මිටි කිරි (කැමැත්ත අනුව අරගෙන) චිකන් එකෙන් භාගයක් වැහෙන ගාණට දාල මද ගින්දරේම හිඳෙන්න තියන්න.

 

2. ආන්ද්‍රා චිකන් කරි

Chicken recipes

Source – hungryforever.com/ytimg.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 500g
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • චොප් කරගත් ළූණු ගෙඩි 3
  • තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  • තලාගත් සුදූ ළූණු ගෙඩි 1/2
  • ගම්මිරිස් කුඩු රස අනුව
  • අබ තේ හැඳි 1/2
  • උළුහාල් තේ හැඳි 1/4
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  • කහ තේ හැඳි 1/4
  • තලාගත් කරදමුංගු 3, කරාබු නැට්ටක්, කුරුඳු පොඩි කෑල්ලක් සහ මහදුරු තේ හැඳි 1/2
  • කරපිංචා
  • ක්‍රීම් එකක් ලෙස අඹරාගත් පොල් කප් 1/2
  • ලුණු

 

  1. වලඳක තෙල් මේස හැඳි 2ක් රත් වෙන්න හැර ඒකට අබ, උළුහාල් එක් කර බැදගන්න. ඒකටම ළූණු සහ සුදු ළූණු එක් කරගෙන ලුණුත් එක් කර හොඳින් තෙම්පරාදු කරගන්න.
  2. හොඳින් තෙම්පරාදු වූ පසු කහ, කොත්තමල්ලි සහ මිරිස් එක් කරගන්න. එයට චිකන් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  3. එයට උතුරන වතුර කප් එකක් එක් කර තලාගත් කුළුබඩු ටික එකතු කරන්න. කරපිංචා එක් කර පියනකින් වසා විනාඩි 20ක් මද ගින්නේ පිසගන්න.
  4. අඹරාගත් පොල් එක් කර තවත් විනාඩි 15ක් පමණ පිසගන්න. ගම්මිරිස් උඩින් ඉස ලිපෙන් ඉවත් කරගන්න. පැය භාගයක් පමණ නිවෙන්නට හැර පිළිගන්වන්න.

 

3. මිරිස් රහිත ඇරබික් චිකන් කරි

Chicken recipes

Source – pinchofyum.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෑලි කපා දෙහි සහ ලුණු දමා සීසන් කරගත් චිකන් 1kg
  • තලාගත් ඉඟුරු තේ හැන්දයි
  • තලාගත් සුදු ළූණු බික් 3
  • කොත්තමල්ලි කුඩු තේ හැන්දයි
  • ගරම් මසාලා තේ හැන්දයි
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2
  • කපාගත් ළූණු ගෙඩි 4
  • කපාගත් තක්කලි ගෙඩි 5
  • දෙහි බෑයක යුශ
  • ගම්මිරිස් කුඩු රස අනුව

 

  1. තෙල් හෝ ගී ටිකක් රත් වෙන්නට හැර ඒකට ළූණු, ඉඟුරු, සුදුළූණු එක් කර ලුණු ස්වල්පයක් දමා ළූණු මැලවෙන තුරු තෙම්පරාදු කරගන්න.
  2. ළූණු තෙම්පරාදු වූ පසු එයට තක්කලි, ගරම් මසාලා, කුරුඳු කුඩු සහ කොත්තමල්ලි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට කපා ගත් චිකන් එක් කරගන්න. ළූණු සහ තක්කලි වල තෙතමනයෙන් චිකන් එක අඩුම ගින්දරේ තැම්බෙන්නට හරින්න.
  3. අවසානයට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර, දෙහි යුශ දමා ලිපෙන් ඉවත් කරගන්න.

 

4. තායි ශ්‍රෙඩඩ් චිකන් කරි

Chicken recipes

Source – bevcooks.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගැඹුරු තෙලේ බැද තීරු වලට ඉරාගත් චිකන් කප් 2
  • චොප් කරගත් ළූණු ගෙඩියක්
  • තලාගත් සුදුළූණු බික් 4
  • තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  • සේර කෑල්ලක්
  • ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කුරුඳු අඟල් 2
  • චොප් කරගත් තක්කලි ගෙඩි 4
  • තක්කලි සෝස් කප් 1/2
  • ලුණු රස අනුව
  • පොල් කිරි කප් 1/4

 

  1. තෙල් මේස හැඳි 3ක් භාජනයක රත් වෙන්න තියන්න. ඒකට චොප් කරගත් ළූණු, තලාගත් ඉඟුරු, සුදු ළූණු, කුරුඳු සහ සේර එක් කර තෙම්පරාදු කරගන්න.
  2. ළූණු රන් වන් පාට වෙලා බැදීගෙන එන කොට ඒකට තක්කලි සහ තක්කලි සෝස් එක් කර මිශ්‍ර කරගන්න. ඒකටම මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එක්ක රස අනුව ලුණු එකතු කරගන්න.
  3. තක්කලි වලින් තෙල් වෙන්වී පෙනෙනතුරු මදගින්නේ පිස ගෙන එයට චිකන් සහ පොල් කිරි එක් කර කලවම් කරගන්න.
    අවසානයට දෙහි ලෙලි එක් කර හොඳින් ඉතිරූ පසු ලිපෙන් ඉවත් කරගන්න.

 
Cover Image Source – wikipedia.org/
 

zvr
Your Reaction

Comments