ගැස්සෙමින් පැද්දෙමින් ලංකාවේ බස් රියක ගමනක් යෑම තරමක් බෝරින් අත්දැකීමක්. ඒක නැතිකරන්න අපේ බස් වල ඉන්න රියඳුරු සහ කොන්දොස්තරවරුන් අලුතින් බස් රියට එල්සීඩී පැනල් එකක් එක්ක ලොකු සෙටප් එකක් සෙට් කරලා තියෙනවා. අපි කැමති වුණත්, අකමැති වුණත් අහගෙන, බලාගෙන යන්න සිද්ද වෙන මේ බස් මියුසිකල් ෂෝ නිතරම දකින අය විදියට හැමදාම ඒවායේ දකින්නට ලැබෙන විශේෂාංග තියෙනවා. අපි ඒ ගැන ටිකක් සොයාබලමු.
1. ආහ් මල්ලි… විසිල් එක හූව තද තද

Source – youtube.com
බස් වල දාල තියෙන මියුසිකල් ෂෝ බොහෝවිට රාත්‍රී කාලයේ එළිමහන් තැනක රූගත කරපු ඒවා. ඒවා රෙකෝඩ් වෙලා බස් එකේ ප්ලේයර් එකට ආවත් අර ඒවයේ තියෙන ප්‍රේක්ෂකයින් පිකප් කරන පාට්ස් ටික අඩු වෙන්නේ නැහැ.
“එහෙනම් මල්ලිලා ඔක්කොම එකතු වෙලා එක පාරට… කරට ගන්න තමුන්ගේ යාලුවව, දන්න කියන ළඟ ඉන්න යාලුවා හොඳේ… දැන් කර උඩ ඉන්න යාලුවා ෆෝන් එකේ ලයිට් එක ඔන් කරලා අහසට දික් කරන්න. ආහ්… එල එල… දැන් තමයි අටකලම්පන්නේ මල්ලිලාගේ ආලෝකය ලෝකෙටම පේන්නේ.“ වශයෙන් සංගීත කණ්ඩායමෙන් ඉල්ලන හූව, අත්පුඩිය සහ අත්වැල් ගායනා ලබාදෙන්නට ප්‍රේක්ෂකයින් කටයුතු කරනවා. මේ වීඩියෝ බස් එක ඇතුළේ බලද්දි, ළඟ ඉන්න එක්කෙනා කරට ගන්න කියද්දි වාඩිවෙලා ඉන්න අයට නම් හිටගෙන ඉන්න අය කරේ අවසර නැතුවම නැගලා ඉන්න අවස්ථාත් තියෙනවා. කොහොම වුණත් ඒ බස් වල යන මියුසිකල් ෂෝ වල ගෲප් එක ඉල්ලන හූවක්, අත්පුඩියක් දීලා ඒ විදියටම බස් එකේ ජනයාත් හැසිරෙන්න පටන් ගත්තොත්, එදාට නම් කිසිම රික්වෙස්ට් එකක් නැතුවම කොන්දොස්තර හෝ රියඳුරු සෙටප් එක ඕෆ් කරන්නට කටයුතු කරාවි.
2. කවි බණ

Source – youtube.com
මම බත් කනතුරු නොකෑව අම්මා
මට බත් කවන්න වෙහෙසුන අම්මා
ඇනූ බතින් අමරස දුන් අම්මා
මගේ පණයි මගෙ ආදර අම්මා
මාකඳුරේ පඥ්ඥාසාර හිමිගේ ‘අම්මා’ කවි බණ, කලකදී බොහොම ජනප්‍රිය වූ කවි බණක්. එකල පිටකොටුවේ ඇතැම්විට මුස්ලිම් සීඩි වෙළෙන්දන්ගේ තැන්වල පවා මෙම අම්මා කාලීන කවිබණ වාදනය වුණා. යම් සංගීතමය පසුබිමක්ද සහිතව ඉතාම සරල බසින් මෙම අම්මා කවිබණ ගැයෙනවා. ඇතැම්විට ගීත වලින් නටා ගයා හෙම්බත් වූ නිසාදෝ හෝ සංගීත කණ්ඩායම් හෝ ගායකයින් විසින් මෙම කවිබණ තාලයට ගායනා කිරීම සිදුකරනවා. චාමර රණවක ප්‍රසංග වේදිකාවේ සිට කරන අටෝරාශියක් බහුරූ කෝලම් අතරට මෙම කවි බණ ගායනද ඇතුළත් වෙනවා. වේග රිද්ම ගීත අහමින් පිබිදී නටන පිරිස එකවරම සාවධාන උපාසක පිරිසක් බවට පත් කරන්නට මෙම කවිබණ ප්‍රසංග වේදිකාවේ ගායනා කිරීමෙන් හැකි වෙනවා.
3. අනුග්‍රාහකයින්ට පින් දීම

Source – army.lk
අද කාලේ සංගීත සංදර්ශනයක් පැවැත්වීම ලෙහෙසි වැඩක් නෙමෙයි. සම්පූර්ණ වියදම ප්‍රේක්ෂකයින්ගෙන් අයකරන්නට ගියොත් ප්‍රේක්ෂකයින්ට රුපියල් තුන් හාරසීයක ටිකට් පතක් ගන්නටත් සිදු වෙනවා. ඒ නිසා බොහෝවිට නගර හෝ ගම්මාන ආශ්රිත වෙළඳ සංගම් මගින් මේ සංගීත සංදර්ශන වලට අනුග්රහයන් ලබාගන්නවා. ගායකයින්ට, සංගීත කණ්ඩායමට වගේම නැටුම් කණ්ඩායම්, ආලෝකය, සවුන්ඩ්, පටිගත කිරීම වගේ කාරණා වලටත් අනුග්‍රාහකයින් සිය දායකත්වය ලබා දෙනවා. නිවේදන කටයුතු අතරදී මේ අනුග්‍රාහකයින් මතක් කිරීම නිතරම සිදුවෙනවා. ගායිකාව හෝ ගායකයා ගී ගයන්නට ප්‍රථමත්, ඉන් පසුවත් මෙම අනුග්‍රාහක භවතුන් මතක් කිරීම බස් සංගීත සංදර්ශනවල තිබෙන අංගයක්. ඉතා දීර්ඝ මේ අනුග්‍රාහක පින්දීම් තරමක නීරස ගතියක් තිබෙන නිසාදෝ දැන් දැන් එම දීර්ඝ නිවේදන කොටස් කපා දමා, මියුසිකල් ෂෝ එකේ සන්දර්ශනාත්මක අංග පමණක් ප්ලේ කරන්නට ඇතැම් බස්රිය ක්‍රියාකරනවා.
4. ඕඩියන්ස් එකෙන් ප්‍රේක්ෂිකාවක් තෝරා බයිට් කිරීම

Source – youtube.com
මෙය බටහිර රටවල ඇතැම් විශාල ප්‍රසංගවලත් සිදුකළත්, ඇතැම් විට ලංකාවේ සංගීත සංදර්ශනවලදී මෙය සිදුකරන ආකාරය බලා සිටීමටත් අපහසු, හිරිකිත විලාසයක් ගන්නවා. මෙහිදී ප්‍රේක්ෂකයින් අතරින් යුවතියකට එන්නට යැයි කියා ඇයට උසුළු විසිළු කිරීම සහ නටන්නට අපහසු බීට් එකක් වාදනය කොට වේගයෙන් නටන්නට යැයි කීම සිදු වෙනවා. ඒ තැනදී එය විහිලුවක් වුවත්, සිය දහස් ගාණක් බලා සිටින තැනකදී කාන්තාවක අපහසුතාවයට පත් කිරීම ශිෂ්ට සමාජයට නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ. මේ ආකාරයට ෂෝ එක පවත්වන පළාතෙන් යුවතියක් එන්නැයි කී විට, යුවතියක් නැතිම වුවොත් සංගීත කණ්ඩායම විසින් නර්තන කණ්ඩායමේ යුවතියක් හෝ දන්නා කියන එවැනි යුවතියක් යොදාගෙන මේ වේදිකාව උඩ කෙල්ලෙක් බයිට් කිරීමේ ජවනිකාව රඟ දක්වන්නට කටයුතු කරනවා.
5. දීර්ඝතර නිවේදන කටයුතු

Source – youtube.com
අපේ රටේ ප්‍රසංග වේදිකා ඇතැම් විට රාත්‍රියේ පටන් ගත්විට පසුදා අලුයම වනතෙක් නොකඩවාම පැවැත්වෙනවා. එවන් අවස්ථාවල සංගීත කණ්ඩායමේ සිටින වාදකයින්ට නොකඩවා එවන් වැඩි කාලයක් දිගින් දිගටම වාදනය කරන්නට අපහසුයි. එම නිසා අතරතුර පැමිණෙන නිවේදකතුමාට සිය දීර්ඝ පින්දීම, ගායකයා හඳුන්වාදීම ආදී කටයුතු වලට සෑහෙන වෙලාවක් වෙන් වෙනවා. මේ නිවේදකට ලැබෙන අවස්ථාව ඔහු විසින් ඉතාම ගෞරවයෙන් ලබාගන්නා අතර, එහිදී විශේෂ ලතාවකට සංගීත කණ්ඩායම සහ ගායකයින්ව හඳුන්වාදීමද නිවේදකයා විසින් සිදුකරනවා.
6. බහුකාර්ය ශිල්පීන්

Source – youtube.com
කලකට පෙර ප්‍රසංග වේදිකාවලදී වැඩිපුරම දැඟලීම, එහෙමත් නැතිනම් ප්‍රාසාංගික අත්දැකීම් ලබාදීමේ අවස්ථාව ලබාගත්තේ සංගීත කණ්ඩායමයි. දැන් නම් එය වෙනස් වී, ගී කියන්නට එන ගායකයා කවිබණ, විරිඳු, නර්තන, අභිරූපණ ආදී විවිධ කුසලතාවයන් පෙන්වන්නට එය අවස්ථාවක් කරගන්නවා. එවන් පිරිස අතර ප්‍රසංග වේදිකාවේ තමුන්ට ලැබෙන කාලය විවිධ ආකාරයට පාවිච්චි කරන චාමර රණවක අමතක කරන්නට බැහැ. ඔහු කමිසය නැතිව හූ කියමින්, ප්‍රේක්ෂකයින් අතර යමින්, රෙගේ ගයමින්, විරිඳු කියමින් ප්‍රේක්ෂකයින් අමුතුම ලොවකට අරන් යන්නට සමත් වෙනවා. ඔහු අනුව ගිය සංගීත කණ්ඩායම් වලින් බිහිවූ ඇතැම් ගායකයින්ද ප්‍රසංග වේදිකාව බහුවිධ කලා මංගල්‍යයක් කරගන්න අවස්ථා දැන් දැන් බස් ටීවී වල යන ප්‍රසංග වල දකින්නට තියෙනවා.
7. සෙක්සි ඩාන්ස් නර්තන කණ්ඩායම

Source – youtube.com
බස් වල යද්දී අපේ ඇස් ගැටෙන සංගීත සංදර්ශන නරඹන පිරිමින් වැඩිපුරම ආසා කරන්නේ ඩාන්ස් කරන ලඳුන්ටයි. ගැයෙන්නේ විරහ ගීතයක් ද, දුක් ගීතයක් ද යන්න කිසිම අදාළත්වයක් නැති මේ වේග රිද්ම කාන්තා නැටුම් කණ්ඩායම්, විවිධ ඇඳුමින් සැරසී වේගවත් නැටුම් ඉදිරිපත් කරනවා. මේ ස්ටේජ් එක උඩ සිදුවන නැටුම් ස්ටේජ් එක පහළ සිටින පිරිස දකිනවාටත් වඩා හොඳට කැමරා සහ වීඩියෝ ශීල්පින් විසින් අපට ගාණට උලුප්පා පෙන්වනවා. නටන ගැහැණු ළමුන්ගේ පහළින් ඉහළට කැමරා ඇල්ලීම, නිතඹ ළැම සෙලවෙන හැටි දෙස සූම් කරන අයුරින් කැමරා ඇල්ලීම ආදී විශේෂ ප්රයෝගයන් වේදිකා වීඩියෝකරුවන් භාවිතා කරනවා. ඒ ආකාරයෙන් ප්‍රසංග වේදිකා නැටුම් වඩාත් සිත් ඇදගන්නාසුලු ශෘංගාරාත්මක නැටුමක් ලෙසින් බස් එකේ යන ප්‍රේක්ෂකයන්ට ලබා දීමට වීඩියෝ කාර්යමණ්ඩල ලොකු දායකත්වයක් ලබා දෙනවා.
බස් රියක නැගී නිවීහැනහිල්ලේ යන මගියාව, ප්‍රසංග වේදිකාවක උඩ පනිමින් නටන ප්‍රේක්ෂකයෙකුගේ තත්ත්වයට මේ බස් වීඩියෝ මගින් පත් කරනු ලබනවා. වෙහෙස මහන්සි වී රාජකාරියකට, උවමනාවකට ගමනක් යන මගියාට මේ බස් රිය ප්‍රසංග මගින් සෑම විටම සතුටක් ඇතිවන්නේ නැහැ. ඒ ප්‍රසංග වේදිකාවල යන ඇතැම් දෙපිට කැපෙන වදන් සහ නිරූපණ දරුවන් සමග එකට සිට නැරඹීමටද අපහසුයි. ප්‍රවාහනයේදී මගියාගේ පහසුව ගැන සිතන්නේ නම් මේ ඕලාරික සංගීත සංදර්ශන නිතර දෙවේලේම මගීන්ට දකින්නට සැලැස්වීම පාලනය කළ යුතුයි. නැතහොත් සැනසීමෙන් බසයට නගින මගියාට බසයෙන් බහින්නට වෙන්නේ දැඩි කලකිරීමකින්.
Cover Image Source – kirstyandpeter.com
Leave a Reply