පඩිය කියන එකත් එක්ක සෑහෙන භාවිත වන නාම විශේෂණේ සොච්චම් කියන එකනේ. ඒ කියන්නේ ඉතින් ගොඩ දෙනෙක්ට ඕක මෙහෙක් කරනකොට වාෂ්ප වෙලා යන අරුම පුදුම දෙයක්. ඒත් ඉතින් ලැබෙන සොච්චමෙන් කාලා බීලා කරලා වසන්න වෙලා තියනවා. ඇත්තෙන් ම එහෙම කරන්නත් පුළුවනි. හැබැයි කරන්නන්වාලේ නෙවේ. කොහොම හරි පඩිය ඉතුරු කරගන්න ඕනි කියලා හැඟීමක් තියෙන්න ඕනි.
1. බජට් එකක් හදාගන්න
මාසෙට යන වියදම් ආදායම් ගැන කලින් අපිට කියන්න පුළුවන් ගොඩක් වෙලාවට. සියයට සියයක් ම බැරි වුණත් අහවල් දේවල්වලට වියදම් වෙනවා කියලා දළ අදහසක් ගන්න පුළුවනි. එතකොට ඒ ඒ වියදම්වලට සල්ලි වෙන් කරලා තිබ්බම අන්තිම මොහොතේ හිර වෙන්නේ නැහැ. බජට් එකක් අනුව වැඩ කරාම සල්ලි වියදම් වෙන්නේ ඒ කියලා තියෙන ඒවාට විතරයි. අනවශ්‍ය වියදමක් වෙන්නේ නැති තරම්. හදන බජට් එකක් පවුලේ උදවිය එක්කත් කතා කරලා සම්මත කරගන්න වේවි.
2. හම්බ කරනවාට වඩා අඩුවෙන් වියදම් කරන්න
මිනිස්සු දුප්පත් වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි තමන්ගේ ආදායම්වලට වඩා වියදම් කරන්න පෙළඹෙන එක. ජීවත්වෙන්න නම් වෙලා තියෙන්නේ අරුමෝසම් ලෝකයක තමයි. ඒත් එහෙමයි කියලා එතන හැම එකටම රැවටෙන එක නම් තමන්ගේම වල කපාගන්න විදියක්. දැන් හිතන්නකෝ මෙහෙම. පඩිය 40,000යි නම් 50,000ක ෆෝන් කට්ටක් එක පාර ගන්න තරම් හදිසි වෙන්න එපා. ගන්නම ඕනි නම් අර ඉස්සෙල්ලා කිව්ව බජට් එකෙන් මාසෙකට ඒකට ම කියලා කීයක් හරි ඉතුරු කරලා හිමීට ගන්න.
3. ණය බරෙන් මිදෙන්න
ණයක් ගන්නවා කියන්නේ දණක් මඩේ එරෙනවා වගේ වැඩක්. ගොඩක් රජයේ සේවකයන් ණයක් ගත්තම ඒක පොළී එක්කම කැපෙන්නේ මාසික පඩියෙන්. හම්බවෙන්නෙත් පොඩ්ඩයි නම් ඒකටත් අනවශ්‍ය දෙයක් ඔය ණය කියන හෙනහුරා. සමහර ආයතනවල නම් සේවකයන්ට සහන පොළියට ණය කියලා අරවා මේවා කරනවා. ඒවටත් අතගහන්න කලින් හොයලා බැලුවොත් තමයි හොඳ.
4. ඉතුරු කිරීමේ ගිණුමක් එක්ක පඩිය සම්බන්ධ කරන්න
දැන් ඉතින් තාක්ෂණික යුගයේ පඩිය කියන එක ගිහින් දෑතින් ම ගන්න ඕනි කියලා එකක් නැහැනේ. අන්න ඒ නිසා පඩිය ලැබුණ ගමන් ඒක ඉතුරුම් ගිණුමකට බැර වෙන විදියකට හදාගන්න. එහෙම වුණාම ඒක සුරක්ෂිතයි. සල්ලි ඔක්කොම අතට ආපු ගමන් අපි දන්නෙත් නැහැ ඔක්කොම වියදම් වෙනකන්. බැංකු ගිණුමක් එක්ක ටැලි කරන එකෙන් සල්ලි ඉතුරුවෙන එකත් වෙනවනේ.
5. වියදම් කපාහරින්න
ඒ කිව්වේ මෙහෙමයි. අවශ්‍ය අනවශ්‍ය කියලා නැහැ වියදම් නම් වියදම් තමයි. පේන මානයේ තියෙන තැනකට යන්න ත්‍රීවිල් එකකින් යන්න ඕනි නැහැනේ. ඒක අනවශ්‍ය වියදමක්. එතකොට ඇත්තටම වෙන වියදම් වුණත් කවර් කරගන්න පුළුවන් විදියක් තියනවා. දැන් හිතන්න වත්තේ පිටියේ එලවලු වවලා තිබ්බා නම් පොළට ගිහින් පදිරි වෙන්න දෙයක් නැහැනේ. සල්ලිත් ඉතුරුයි. ඊළඟට ටීවී බලන්නෙයි කියලා රටේ නැති අභබ්බ තියෙන සැටලයිට් ටීවී වල අනවශ්‍ය චැනල් පවා ගන්නවා. මේවා අනවශ්‍ය වියදම්. ඔන්න ඕවා අයින් කරලා දාන්න.
6. රැකියා ස්ථානය ලබා දෙන පහසුකම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න
ඉස්සෙල්ලත් කිව්වනේ රැකියා ස්ථානවලින් ණය දෙනවා කියලා. ඒවා එකපාරට ගන්නේ නැතිව පොඩ්ඩක් හොයලා බලන්න කියලත් කිවුවනෙ. මේවා ගැන හොඳින් හොයලා බලලා ඇත්තටම තමන්ට සහනයක් ලැබෙනවානම් ඒවා ලබාගන්න පසුබට වෙන්න එපා. ණය පහසුකම් විතරක් නෙවෙයි රක්ෂණාවරණ එහෙමත් හම්බ වෙනවානේ. මේවට සම්බන්ධ වෙන්න. කරන්න තිබ්බා කියලා පස්සේ හූල්ලන්න තියාගන්නේ නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න.
7. තවත් ආදායම් මාර්ග ගැන හිතන්න
ඇත්තටම එක රැකියාවක් කරලා ගන්න පඩිය මදි වගේ හිතෙනවා නම් ඕනි තරම් අවස්ථා තියෙනවා එහෙම අයට. ඔපීසි වැඩවල ඉඳන් අන්තර්ජාලයේ ෆ්රීලාන්සින් කෙරුවාව දක්වා ම අවස්ථා කොච්චර තිබ්බත් ඒවා ගන්න ප්‍රමාණය හරිම සීමිතයි. නගරාසන්න අය නම් දැනටමත් වැඩ දෙක තුන කරනවා ගොඩ යන්න බලන්. ඒත් හැමෝම එහෙම නැහැනේ. සමහරුන්ට තත්ත්වය පහළ බහී කියලා ඕවා කොරන්න හිතෙන් නැහැ.
Cover Image Source – emerhub.com
Leave a Reply