“අමාරුවෙන් හරි යන්න ඕනි ගමනක් ඒක.”
බොහෝ අපහසු කඳු තරණයක් හෝ එවැනි සංචාරක අත්දැකීමක් ලබාගත් පසු ඒ ගැන මිතුරන්ට කියන්නේ එහෙමයි. එහෙම අමාරුවෙන් හරි එකපාරක් ගිහින් එන්න වටින තැන් ගොඩාක් ලංකාවේ තියෙනවා. ඒ තැන් වලට මිනිසුන්ගේ පහස නිතරම ලැබෙන්නේ නැහැ. ඒත් ඉඳහිට අවදානමක් ගන්න කැමති පිරිස ඒවායේ අසිරිය දැකබලාගන්නවා. ඒ විදියට කට්ට කාගෙන ගිහින් එන්න වටින තැන් මොනවද? අපි ඒ ගැන ටිකක් දැනගමු.
1. කච්චතිව් දිවයින
ලංකාවේ කෙළවර පිහිටි කච්චතිව් දූපත, ඉන්දියාව සහ ලංකාව අතර පටු මුහුදු තීරයේ මැදට වන්නට ලංකාවේ යාපන අර්ධද්වීපයට ආසන්නයේ පිහිටා තිබෙන්නක්. මෙය පෞරාණික ගිනිකන්දක් නිසා ඇති වූ වොල්කැනික් අයිලන්ඩ් එකක් යැයිද මතයක් තියෙනවා. මෙම දිවයින දැනට ලංකාවේ නාවුක හමුදාව භාරයේ තමයි තියෙන්නේ. කලකට පෙර ලංකාව සහ ඉන්දියාව අතර අයිතිය සම්බන්ධයෙන් වාද විවාද ඇති වුවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ මෙම දූපතේ පාලනය ලංකාවේ නාවුක හමුදාවට ලැබුණා. මෙම දූපතේ පිහිටා ඇත්තේ ක්‍රිස්තියානි පල්ලියක් පමණයි. ඒ පල්ලියේ මංගල්‍ය කාලයට පමණයි දූපතට මහජනයාට රිසිසේ ඇතුල් වෙන්නට ලැබෙන්නේ. එම පල්ලියේ මංගල්‍යයට ඉන්දියාවෙන්ද ලංකාවෙන්ද ක්‍රිස්තියානි බැතිමතුන් සහභාගී වනවා. දූපත තුළ පල්ලිය හැර වෙනත් විශාල ඉදිකිරීමක් නොමැති අතර දූපත බලන්නට යනවා නම් ජලය සහ වෙනත් සියලු දෑද දූපතට යන විට රැගෙන යා යුතුම වේ.
2. බත්තලංගුණ්ඩුව
මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව නවකතාව කියැවූ අයෙකුට නම් බත්තලංගුණ්ඩුවට යාත්‍රා කිරීමට ආසාවක් උනන්දුවක් ඇති වේ. බත්තලංගුණ්ඩුව කල්පිටිය අර්ධද්වීපයේ කෙළවර පිහිටා තිබේ. බත්තලංගුණ්ඩුවට වඩාත් ආසන්නතම ගොඩබිම විල්පත්තු මහා වනාන්තරය වේ. දූපතේ ධීවර රැකියාවේ යෙදෙන අය පෑ තුනක බෝට්ටු ගමනකින් අවශ්‍ය කළමනා ආදිය කල්පිටියෙන්ම සපයා ගනී. සාමාන්‍ය දිනවල දූපත බලා යන විශාල ට්‍රෝලර් යාත්‍රාවක් තිබේ. එය දූපතට ළඟා වන්නට පැය 3-4ක කාලයක් ගනී. පොල් රුප්පාවක්, නාවික හමුදා කඳවුරක් සහ පල්ලි කිහිපයක් හැරුණු කළ දූපත පුරාම ඇත්තේ තාවකාලිකව ඉදිකරන ලද මාලු වාඩි වේ. ධීවර ජනයා මෙය සිය ධීවර රක්ශාවේ අතරමැද ස්ථානයක් ලෙස පාවිච්චි කරති.
3. බලතුඩුව ගොම්මෝල්ලිය
බලතුඩුව ගොම්මෝල්ලිය යනු හෝටන් තැන්න බෑවුමේ පිහිටි කමණීය කඳු දෙකකි. මීටර 2000කට ආසන්න මේ කඳු දෙක එකිනෙකට ආසන්නව ලෝකාන්ත බෑවුමේ පිහිටා තිබේ. මේ කරා යන මාර්ග දෙකක් පවතී. එකක් නම් පඹහින්න අන්තයෙන් පිවිස ආදර කන්ද හරහා ගමනයි. අනෙක නම් කළුපහන බඹරකන්ද සීමාව හරහා පිවිසීමයි. මේ මාර්ග දෙකෙන් කවරක් තෝරාගත්තද මේ කඳු දෙක තරණය කර දිනකින් නැවත ඒම අමාරුය. බලතුඩුව කඳු මුදුනට ගිය කල අංශක 360ක වපසරියක දුර ඈත ක්ශිතිජ ඉම දක්වා ගොඩබිම්, කඳුවැටි ජලාශ සේම ලෝකාන්ත මායිම ද දර්ශනය වේ. දුරදක්නයක් ගෙන ගියහොත් බලතුඩුව මුදුනට ලෝකාන්තයේ පහළ බලන සංචාරකයින්ද බලාගත හැකිය.
කළුපහන අන්තයෙන් වංගෙඩිගල වංගෙඩිකන්ද තරණය කරන්නෝ බොහෝ වෙති. අනෙක් පසින් ආදර කන්ද අමාරුවෙන් තරණය කරන්නෝද බොහෝ වෙති. එහෙත් බලතුඩුව ගොම්මෝල්ලිය කඳු මුදුන් සොයා ඇදෙන්නෝ සිටින්නේ අතළොස්සකි. මන්ද එය තරමක් අමාරු කටුක ගමනකි.
4. දැරණියගල උඩමාලිබොඩ හරහා සිරිපා කරුණාව
මාර්ගයේ මුල පටන්ම මහ වනය හරහා ගමන් කරන දැරණියගල උඩමාලිබොඩ සිට සිරිපා කරුණාව පාන්දරම උඩමාලිබොඩින් පටන් ගත යුතුය. මේ ගමනේදී වනාන්තරය හරහා පෑ 6-7ක් ගමන් කළ යුතුය. රත්නපුර පලාබද්දල, කුරුවිට එරත්න, හැටන් නල්ලතන්නිය හරහා එනවිට මෙන් ජනාවාස කඩපිල් නිතර හමු නොවන මේ ගමන වනාන්තරයක් හරහා වැටී ඇති හෙයින් තරමක අවදානම් ගමනකි. අවසානයේ මේ මාර්ගය කුරුවිට එරත්න මඟේ ඉහළ කොටසකට සම්බන්ධ වන අතර එහිදී පාන්දරම ගමන ආරම්භ කර සාමාන්‍ය වේගයකින් ගමන් කළත් රත්නපුර පාරේ ඉඳිකටුපානට ළං වනවිට සැන්දෑ සමය උදා වී තිබේ.
5. සප්ත කන්‍යා
සප්ත කන්‍යා කඳුවැටියේ ඩී සී අට අහස් යන්ත්‍රය ගැටීමෙන් විශාල අනතුරක් සිදු වූ මුත් ඒ ස්ථානය දැකබලාගැනීමට යෑම නම් ලේසි නැත. සප්ත කන්‍යා කඳුවැටිය පිහිටා ඇත්තේ හැටන් නල්ලතන්නිය මාර්ගයට යාබදවය. ලක්ශපාන ඇල්ලට යාබදව ඉහළින් පිහිටි සප්ත කන්‍යා කඳුවැටියට හරිහැටි පිවිසුම් මාර්ගයක් නොමැත. හොඳින්ම දන්නා අයෙකු මිස අන් අයෙකුට ගොස් මාර්ග සොයාගැනීමට අපහසුය. වැසි කාලයේ ගමන් කරන්නේ නම් අනිවාර්යෙන්ම කූඩැල්ලන්ගෙන් ගැලවීමට ක්‍රම සොයාගත යුතුය. සප්ත කන්‍යා බෑවුම් වල ඉතා ළඟින් වෙලී ඇති බට පඳුරු මගින් තැනෙකදී අත් පාද සීරී යයි. කෙසේ හෝ මෙහි සප්ත කන්‍යාවන්ම දැක ගැනීමට නම් දින දෙකක්වත් උවමනාය. ජලය ආහාර රැගෙන යා යුතු ඒ ගමන තද ආනතිය සහ ඝන සැරට වැඩුණු වනය නිසා සෙමෙන් තරණය කළ යුතු අපහසු තරණයකි. කෙසේ වෙතත් වර්තමානයේ වනජීවී සංරක්ෂණ අංශ වලින් නිසි අවසර ලබාගැනීමෙන් තොරව සප්ත කන්‍යාවන්ට පිවිසීම තහනම් කොට තිබේ.
6. ලකේගල
ලකේගල තිබෙන මීමුරේ අඩවිය රජ කාලයේ පටන් සැඟවී තිබුණු කැලෑ බද ගමකි. එහෙත් 2010න් පසු නිර්මාණය වූ නව්‍ය මීමුරේ සංචාරක අත්දැකීම් ව්‍යාපාර තුළින් මීමුරේ යනු තවත් එක් ඈත ගමක් පමණක් තත්ත්වයට අද පැමිණ තිබේ. මීමුරේ සීමාවට පෙනෙන ලකේගල ලංකාවේ ඇති නැගීමට අපහසු එහෙත් ජනප්‍රිය කඳු තරණයන් අතර මුල් තැනක තිබේ. ලකේ ගල පෙනෙනා පරිද්දෙන්ම උල් හැඩයෙන් පිහිටා තිබේ. එයට කඹ රහිතව නැගිය හැක්කේ කඳු ශිඛර තරණය පිළිබඳ හොඳ පුහුණුවක් ඇති කෙනෙකුට පමණි. ලකේගල තරණය අපහසු වුවත්, කඹ මතින් එය නැගීම බොහෝ කඳුනගින අයගේ සිහිනයකි.
7. කුරුල්ලන්ගල
බදුල්ලේ සිට ඇල්ල මාර්ගයේ පල්ලම් බසින විට කරඳගොල්ල ගම්පළාතෙන් කුරුල්ලන්ගල වෙත පිවිසිය හැකිය. හුළං මුවාවන් ඔස්සේ තද බෑවුම් වල එල්ලීගෙන යායුතු කුරුල්ලන්ගල ගමන ත්‍රාසජනක අත්දැකීමකි. පිවිසීමට අපහසුතාවය නිසාම ලොවෙන් හුදෙකලා වී ඇති මෙම ගල්තලාව මීට වසර දහස් ගණනකට පෙර ජනාවාස වී තිබූ බවට කදිම සාක්ෂි එහි මුදුනතින් හමු වේ. පුරාණ කාලයට අයත්, කුරුල්ලන්ගල ඇති සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි පිරිසක් කියති. තවත් විද්වතුන් පිරිසක් පෙන්වා දෙන්නේ ඒවා ලංකාවේ විසූ වැද්දන් වැනි ආදිවාසීන් පිරිසකගේ චිත්‍ර බවයි. කෙසේ වෙතත් තවමත් හරියාකාරව සිතුවම් වල කාලය නිර්ණය කර ගෙන නොමැති මේ චිත්‍ර කරා ළඟා වීමට ඇති අපහසුතාවය නිසා දෝ ඒවා විද්වතුන්ගේ තියුණු ඇසින් සැඟවී තිබේ.
මහා ගොඩබිම් සමඟ සසඳා බලන කල ලංකාව යනු කුඩා දූපතකි. ඉන්දුනීසියාව යන විශාල රටටම ලංකාවට වඩා විශාලතර මහා දූපත් 5ක් අයිති වී තිබේ. මේ අපේ කුඩා දිවයිනේ අපහසුවෙන් ළඟා විය යුතු සුන්දර ස්ථාන රැසක්ම තිබේ. එය එක්තරා අතකින් අප ලැබූ වාසනාවකි. දේශපාලන සමාජීය අතින් කෙතරම් පසුගාමී වුවත් ලොව අරුම පුදුම විවිධත්වයක්, ලස්සනක් සහිත දූපත් අතරින් නම් අපේ දූපත මුල්පෙළේම නම කියවෙන කදිම දූපතකි.
Cover Image Source – Danka Holzer
Leave a Reply