ඉළ ඇදෙන විහිළු තිබුණු ලංකාවේ හැදුණ හොඳම කොමඩි ටෙලිනාට්‍ය 11

srilankas best comedy dramas

ඔන්න මිත්‍රවරුණි මේ සටහනේ කිසිම ජෝක් එකක් නැතත් ඔයාලට හිනා යාවි. ඒ ඇයි කියනවනං අපි ලියන්න යන්නෙ කොමඩි නිර්මාණ ටිකක් ගැන. මේ ටෙලිනාට්‍ය ටික මතක් කළත් හිනා යන තත්ත්වයක් තාමත් තියෙනවා. ඒවායෙ තිබ්බ සරල වගේම පොහොසත් හාස්‍ය ගුණය, රඟපෑමේ විශිෂ්ට හැකියාවන් පවා එයට හේතුවෙන්න ඇති. ඒ නිසාම මේ සිහිපත් කිරිල්ල අපිව කවදත් හිත සන්තෝසෙන් තියපු කොමඩි ටෙලිනාට්‍ය ටික ගැනයි.

 

1. බෝඩිම

srilankas best comedy dramas

Source – youtube.com

චරිත හැමෝම ඉන්නෙ තමුන්ගෙ ඇත්ත ජීවිතේ නම්වලින් බිඳුණු නම් කෑල්ලක් අරගෙන. පත්තරකාරයෙක්, ෆයිට්කාර මාකටින් බුවෙක්, සංගීත මාස්ටර් කෙනෙක්, ඉංග්‍රීසි ගුරෙක් එක්ක බෝඩිමේ මගෝඩි කරන මහතැන සහ පිස්සු නටන සහායක කොලුවාට එහාගෙදර තට්ටෙ තියෙන කෙට්ටු මනුස්සයෙක් එකතු වෙන රස කතාව. බෝඩිමේ මියුසික් එක ඇහෙද්දිම හිනා යන තත්ත්වයකුයි තිබුණෙ. පටන්ගැන්මේ සිටම සුළු සුළු දේවල්වලින් පවා හාස්‍ය මතුකරපු මේ නාට්‍ය ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම කොමි ටෙලි නාට්‍යය කියල ඇදක් නැතුව කියන්න පුළුවන්.

 

2. නෝනාවරුණි මහත්වරුණි

srilankas best comedy dramas

Source – youtube.com

මාලිනන්දනී කියන ජනකාන්ත නිළියට ආදරය කරන ප්‍රේමචන්ද්‍රගේ කතාව. විජය නන්දසිරි සහ ග්‍රැන්විල් රොඩ්‍රිගූ කියන අතිදක්ෂ නළුවන් දෙදෙනා පණපොවන ප්‍රධාන චරිත දෙක සමග නිළියන් විදියට එක්වෙන්නේ කුසුම් රේණු එක්ක සනෝජා බිබිලේ. ග්‍රැන්විල් රොඩ්රිගූගේ හදිසි අභාවයෙන් පස්සේ ඒ තැන පුරවන්නේ ජයසේකර අපෝන්සු. ඒ අතරට රොඩ්‍නි වර්ණකුල වගේම විල්සන් ගුණරත්නගේ රංගනය එක්වෙලා දිගහැරුණ කතා පෙළ බාල මහළු හැමෝම ඒ කාලෙ ආසාවෙන් බැලුවා.

 

3. කොට උඩ මන්දිර

srilankas best comedy dramas

Source – youtube.com

ගැරේජ් එකක් බස් දෙකක් ගෙවල් දෙකක් විදියට රෙන්ට් එකට දෙන කතාව. ඒ රෙන්ට් එකට එන පවුල් දෙකේ ජීවිතවල හැලහැප්පීම්. ගරාජ් එකෙන් ඊට කරන මැදිහත්වීම්. මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ තියෙන හීන මානයන් එක්ක ඒ කාලෙ ලංකාවෙ කවුරුත් නොහිතපු පැත්තකින් අල්ලපු කතාවක් විදියට මේක ගැන කියන්න පුළුවන් වුනා. අතිදක්ෂ නළු නිළි පිරිසක් නිසාත්, සෑම මොහොතකම හාස්‍ය මතුකරවන්නට කතාව තුළ දරා තිබුණු උත්සාහය නිසාත් කිසිම ඒකාකාරී බවකින් තොරව කතාව නරඹන්නට බොහෝ අය එක්වුණා.

 

4. නාන කාමරේ

srilankas best comedy dramas

Source – youtube.com

බන්දු සමරසිංහ කරපු කොමඩි ටෙලිනාට්‍ය කිහිපයම පාහේ හොඳටම ලංකාවේ හිට් වුණා. ඒ අතරින් ප්‍රසිද්ධම නාට්‍යය විදියට නාන කාමරේ හඳුන්වන්න පුළුවන්. රෙන්ට් එකට නාන්න දෙන ප්ලේස් එකක හිමිකාරයා සහ ගමේ මිනිස්සු එක්ක ගෙවෙන කතාවෙදි, ඉංග්‍රීසි ගුරෙකුත්, කඩේ ඉන්න සුකුමාල කාන්තාවක් එක්ක ඇගේ කටකාර සැමියාත්, හැම මොහොතෙම හින්දි සින්දුවක් මුමුණන තරුණයෙකුත්, නානකාමරේ සහයට ඉන්න පොඩි එකාත් කියන අමතර චරිත එක්ක පොඩි මහත්තයා කියල හඳුන්වන ප්‍රධාන චරිතයේ පෑහීම හාස්‍ය රසය මනාව බිහි කළා.

 

5. දර ගැරේජ්

srilankas best comedy dramas

Source – youtube.com

වැඩි වැඩක් කරන්න නොදන්න ගරාජ් එකක් ඇතුළෙ සිද්ධ වෙන්න පුළුවන් මොනවද? සිද්ධ වෙන්න බැරි දෙයක් නැති බවයි මේ ටෙලිනාට්‍ය බලපු අපිට නම් තේරුම් ගියේ. කාර් කැඩිච්ච සංගීතකාරයො, රිලවුන්ට ඇඳුම් මහන මිනිස්සු, චණ්ඩි වගේම සේමිනී ඉද්දමල්ගොඩ රඟපු සුන්දර යුවතියගෙ චරිතය එක්ක මේ කතාව හැම තත්පරයකම හිනාවක් මුවේ රඳවන්න සමත් වුණා.

 

6. එතුමා

srilankas best comedy dramas

Source – youtube.com

“සර්ට සියළු දෙවිදේවතාවුන්නාන්සේලගෙ පිහිටයි, ආරස්සාවයි” කියල ෆෝන් එක තියන මන්ත්‍රී කෙනෙක්ගෙ කතාව. තමුන්ගෙ පුටුව රැකගන්න මන්ත්‍රී කෙනෙක් දරණ දුක, ඒ වෙනුවෙන් මන්ත්‍රී කෙනෙක් කරන බොරුව සහ මන්ත්‍රීට මිනිස්සු කරන බොරුව, මන්ත්‍රී බිරින්දෑවරුන්ගෙ පුරාජේරුව එක්ක එතුමා නාට්‍ය උපහාසාත්මක හාස්‍යයක් එක්ක මිනිස්සුන්ට අතිශය සමීප වුණා.

 

7. යර්ස් බොස්

srilankas best comedy dramas

Source – youtube.com

විජය නන්දසිරි කොමඩි චරිතවලට කරන අතිශය සාධාරණය සහ මිනිස්සු ඒ දේවල් තදින් වැළඳගැනීම කියන එක ටෙලිනාට්‍යයකින් අවසන් වරට දකින්න ලැබුණේ යර්ස් බොස් හරහායි. ඉන්පසුත් විජය නන්දසිරිගෙ කොමඩි නාටක කිහිපයක් ටෙලිනාට්‍ය ලෙසින් පැමිණියත්, සෙනරත්ගෙයි රෝෂිනීගෙයි ආදර කතාව මැද්දට නිහාල් බොස් අත දාන හැටි තිබ්බ යර්ස් බොස් තරම් ඒවා නැගල ගියේ නැහැ.

 

8. තට්ටු ගෙවල්

srilankas best comedy dramas

Source – youtube.com

ස්කීම් එකටනෙ ආඩම්බර කියල තමයි ඒ දවස්වල හැම මනුස්සයගෙම කටේ තිබුණෙ. අනිත් එක බංකු බංකු. රජිත හිරාන් පිංපොං විදියට බෞතීස්ම වුනෙත් ඒ කතාවෙන්. කොයිවෙලෙත් හින්දි සින්දුවක වචන කෑල්ලක් මුවග තිබ්බ ‌පිංපොං වගේම ස්කීම් ගෙවල් පේළියක මිනිස්සු ටිකක් කරන ජීවන අරගලය තමයි කතාව පුරාම තිබුණෙ. සමාජය ඇතුළෙ යටින් දුවන දේශපාලනයට උපහාසාත්මක පිළිතුරුත් එල්ලවෙච්ච නියමම හාස්‍ය නිර්මාණයක් විදියට තට්ටුගෙවල් හඳුන්වන්න පුළුවන්.

 

9. සකිසඳ එලියස්

srilankas best comedy dramas

Source – youtube.com

බඩේ ගින්දරේ බෑ කියන්නෙත් තවත් ට්‍රෙන්ඩ් වෙච්ච වචනයක්. රොජර් සෙනෙවිරත්න, ජෝ අබේවික්‍රම එක්ක ප්‍රධාන නළුවා වුණේ ජයලත් මනෝරත්න. මුඛරි කතා කියන, දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන අතිශය කපටි චරිතයක් වුණත් එලියස්ව බොහෝ මිනිස්සු අතිශය ආදරයෙන් වැළඳගත්තා. කතාව පුරාම එකිනෙකා පටලාගන්නා අනියම් සබඳතා එක්ක මේ කතාව තවත් රසවත් වුණා කියල කියන්න පුළුවන්.

 

10. අසල්වැසියෝ

srilankas best comedy dramas

Source – youtube.com

1989 අවුරුද්දෙ විකාශය වෙච්ච මේ ප්‍රහසන ටෙලිනාට්‍යයට එලන් සිල්වෙස්ටර්, හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, ගුණරත්න රංහොටි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වුණා. පරණ විදියට කතාව හඳුන්වාදීමකින් පටන්ගත්තට මොකද තාමත් අලුත් ලෝකය පවා හිනස්සන්න පුළුවන් නියම කතාවක් විදියට අසල්වැසියෝ හඳුන්වන්නට පුළුවන්.

 

11. ජෝඩු ගෙදර

srilankas best comedy dramas

Source – youtube.com

කසාද බැඳපු ජෝඩුවලට විතරක් ගෙදර රෙන්ට් කරන වයසක ජෝඩුවකගෙ කතාවක්. තනිකඩ තරුණියක් සහ තරුණයෙකුත් ඒ ගෙදර නීත්‍යානුකූලව වාසය කරනව. සුපුරුදු ලෙසින්ම සරාගී තරුණියකගෙ චරිතයක් කරන සුජානි මේනකාට ජගත් චමිල ආද‌රය කරමින් සිටින, හැලහැප්පිලි මැද සල්ලි හොයන මිනිස්සු පිරි කතාවක්. ඔය අතරෙ කතාවට එකතු වෙන්නෙ කසාද බැන්දා කියල ලෝකෙට පෙන්නලා වයසක ජෝඩුවගෙ සල්ලිවලට විදින්න ආපු හොරු දෙන්නෙක්. ඉන්න අනිත් අයත් හොරු කියලා හිතෙන්නෙ සල්ලි හොයන්න කරන වැඩ දැක්කාම තමයි.

Cover Image Source – Lifie Graphics

Leave a Reply

Your email address will not be published. Required fields are marked *