ලංකාවේ ඔන්ලයින් පොත් ගෙදරටම ගෙන්වා ගැනීමේ සේවාවන් 7ක්

Online Book Delivery Services

පොත් කියවන්න අපේ රටේ ඉන්න උදවියගේ තියෙන උනන්දුව නම් ලොවෙත් අංක එක. පහුගිය දවස්වල තඩි නරක වෘකයා ගොඩ බැහැලා හිටියෙත් කියවන්න උපන් හපන්නු (පොත්) මේ මුතු ඇටේ ඉන්න නිසා. මේ පොත් කියවන්න තියෙන ලෙඩේ හොඳ කරගන්න ඕනි ලෙඩක් නෙවේ. උත්සන්න වෙන තරමට හොඳයි. ඔය ලෙඩේ වැඩි කරන්න හිතාන ලෝකය පුරා පොත් සම්බන්ධයෙන් වෛවාරණ වැඩ සිද්ධ වෙනවා. පොත් කඩේට දුව ඇවිදින්න කාරී නෑ දැන් වත්තේ හතරමායිමේ ඉඳන් ගෙදරටම අලුත් පොත් ගෙන්නා ගන්න පුළුවන්. මේවා සුදු මහත්තුරු විතරක් කරන වැඩ නෙවේ. අපේ අයියලාත් දැන් මේ සම්බන්ධයෙන් ඔස්තාර්. මේ විදියට ලංකාවේ ඉන්න පොත් ගුල්ලොන්ට පොත් ගෙන්නා ගන්න පුළුවන් ලේසි පහසුම සේවාසපයන්නෝ තමයි මේ.

 

1. Grantha.lk

Online Book Delivery Services

Source – Grantha.lk

ලංකාවේ පොත් ගෙන්නන ක්‍රමයක් තියෙනවද කියලා අහපු ගමන් මතක් වෙන නම තමයි Grantha.lk කියන්නේ. පොතක් ඕඩර් කරාට පස්සේ දවස් තුනක් ඇතුළත කොහෝමහරි පොත ගෙදරට එනවා ලු. ඒ අතින් කාර්යක්ෂමතාව හොඳයි. ඊළඟට මෙයාලාගේ වෙබ් පොත් රාක්කෙ වැහෙන්නම තියෙන පොත්වලට ලෝස් නැතුව වට්ටම් ලැබෙනවා. උණු උණු පොත්වලට 20%ක 30%ක වට්ටමක් ලැබෙනවා කියන්නේ ඉතින් පොත් පිස්සෙක්ට තව මොනවද ඕනි කරන්නේ. මොරටුවේ පැත්තේ ගියා නම් මෙයාලාගේ මහගෙදරට ගොඩ වැදිලා පොත් ගන්නත් පුළුවන්. සිංහල මාධ්‍යයෙන් විතරක් නෙවෙයි ඉංග්‍රීසියෙන් ලියවුණ පොතුත් තියෙනවා.

 

2. KBOOKS

Online Book Delivery Services

Source – KBOOKS.lk

Grantha එකේ කට්ටිය වගේම පොත් සම්බන්ධයෙන් ලාංකික ප්‍රජාවගේ ආකර්ෂණය දිනා ගත්ත තවත් සේවා සපයන්නෙක් ගැනයි මේ කතාව. ලංකාවේ විතරක් නෙවෙයි පිටරට ජීවත්වන ලාංකිකයන් පවා ආසාවෙන් පොත් ගෙන්නා ගන්නේ KBOOKS එකෙන්. ඕඩර් එක ලබාගන්න අපේ කැමැත්ත අනුව සාමාන්‍ය තැපෑල, ශීඝ්‍රගාමි තැපෑල සහ කුරියර් ක්‍රමය භාවිත කරන්න පුළුවන්. කෑම පිඟානේ කිරට, මිරිසට හදපු කරියක් දෙකක් එක්ක පපඩම් නැත්නම් පලා මැල්ලුමක් සෙට් වෙනෝ වගේ KBOOKS කට්ටියගේ නවකතා කිව්වොත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන තුනෙන් ම තියෙනවා. නවකතාවලට අමතරව තවත් නොසෑහෙන්න වර්ග තියෙනවා. වෙබ්සයිට් එකට ගොඩවැදිලා බලන්නකෝ.

 

3. Books.lk

Online Book Delivery Services

Source – Books.lk

මෙයාලාගේ වැඩේ පුස්තකාලෙක පොත් අඩුක් කරලා තියෙනවා වගේමයි. අලුත් පොත් වෙන ම, ඊළඟට සෙකන්ඩ් හෑන්ඩ් පොත් නම් එහෙම, වට්ටම් තියෙන පොත් තවත් තැනක, පොත් විතරක් කියවන එක මහා කම්මැලි වැඩක් කියලා හිතෙන අයට ඩීවීඩී නැත්නම් සීඩී. ඉංග්‍රීසි සහ දෙමළ පොත් වෙන ම තැනක. හරිම පිළිවෙලයි. දැක්කම ආසයි. රුපියල් 1000ක ගනුදෙනුවකදී ඩිලිවරිය නොමිලේම කරගන්න පුළුවන්. අපි හොයන පොතක් මෙයාලාගේ ලැයිස්තුවේ තිබ්බේ නැත්නම් ඒක ලබාදෙන්න උපරිම උත්සාහයක් දරනවා.

 

4. සරසවි

Online Book Delivery Services

Source – sarasavi.lk

පොත් එක්ක වෙන ගනුදෙනුවලදී සරසවි කියන්නේ නමක් නෙවෙයි රටක් මහත්තයෝ කියන තරමට සැලන්ඩර්. පොත් කඩේට විතරක් වෙලා ඉන්නේ නැතුව අන්තර්ජාල සේවාවක් විදියට ඇවිදින් දොරකඩටම පොත් ගෙනල්ලා දෙන තරමට සරසවි ලොකු ලොක්කෙක්. ඒ ඒ වසරට අදාළ කැටලොග් එකත් සයිට් එකේ දානවා. සරසවි එකට ගියපු කෙනෙක් දන්නවා ඒක කතන්දර පොත් විතරක් තියෙන තැනක් නෙවේ කියලා. අධ්‍යාපනික පොත්, ලිපිද්‍රව්‍ය වගේ කඩේ සාප්පුවේ ගන්න තියෙන ඒවත් වෙබ්සයිට් එකෙන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. අලුත් ඉංග්‍රීසි පොත් සිංහල පොත් ගන්න තමයි සරසවි ප්‍රසිද්ධ.

 

5. Books Bay

Online Book Delivery Services

Source – booksbay.lk

මේක අලුත් වැඩක්. මේ නිසා බොහෝ දෙනෙක් දන්නෙත් නැතුව ඇති. හැබැයි සයිට් එක පැත්තේ කරක් ගහලා ආවම තේරෙනවා දිගු ගමනක් යන්න හැකියාව තියෙන පොත් ගුලක් කියලා. පොත් ඔක්කොට ම ලොකු ලොකු වට්ටම් තියෙනවා. තෝරා ගැනීමත් හරිම පහසුයි. පිටරට වෙසෙන ලාංකිකයන්ටත් දින 14කින් වගේ පොතක් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න පොත් ගුල්ලෙක්ට සාමාන්‍ය තැපෑලට අමතරව ඉවසා වදාරන්න බැරි තරමේ හදිසියක් තියෙනවා නම් කුරියර් කරගන්න පුළුවන්. ලංකාවේ නිර්මාණවලට ලොකු අගයක් දීලා තියෙන බව දැක්ක ගමන් කියන්න පුළුවන්.

 

6. Makeen Books

Online Book Delivery Services

Source – makeenbooks.com

ලාංකේය ඉංග්‍රීසි කතා කියවන පිස්සොන්ට ගාලු පාරේ තියෙන Makeen කියන්නේ දිව්‍යලෝකයක්. ඇතුළට ගියාම තියන වෛවාරණ පොත් ගොඩවල් අස්සේ දවසක් ගිලිලා හිටියත් මදි. එහෙම හිතෙන ඔයා වෙනුවෙන්ම තමයි Makeen එකෙන් පොත් ගෙදරටම ගෙනල්ලා දෙන්නේ. ලංකාවේ වගේම ලෝකේ ඕනි තැනකට ඩිලිවර් කරගන්න පුළුවන්. මාලිගාවක් හදන්න තරම් පොත් තිබුණත් හැම එකම එක ගොඩේ ගහලා නැහැ. තෝරාගන්න ලේසි වෙන්න එක එක කැටගරිවලට බෙදලා තියෙනවා. අනවශ්‍ය විකාර නැතුව අවශ්‍ය ඔක්කොම දේවල් සයිට් එකේ ගෙඩිය පිටින් ම තියෙනවා.

 

7. Vijitha Yapa Online Bookstore

Online Book Delivery Services

Source – vijithayapa.com

ඉංග්‍රීසි කියවිල්ල හදපු තවත් තැනක් තමයි විජිත යාපා කියන්නේ. පොත් විතරක් නෙවේ ඉංග්‍රීසියෙන් ලියවුණ පත්තර මැගසින් වගේ ඒවත් නිවසට ගෙන්වා ගන්න පුළුවන්. හැබැයි ඒවා නම් ඩිලිවර් කරන්නේ ලංකාවේ විතරයි. පොත් නම් ලෝකේ පුරාවට බෙදනවා. ඉංග්‍රීසි පොත්වලට විතරක් ප්‍රසිද්ධයි කිව්වට සිංහල පොතුත් ඒ වගේම තියෙනවා.

ඉතින් මොකද හිතන්නේ? මේ සේවාවන් භාවිතා කරලා, අදම පොතක් ගෙන්නලා බලමු ද?

 
Cover Image Source – economist.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *