ඒ කාලේ අපි ආසාවෙන් බලපු ළමා නාට්‍යය 7ක්

Old Children Teledramas

අහිතකින් කියනවා එහෙම නෙවේ ඒත් අවංකව ම අද කාලේ පොඩ්ඩෝ පව්. ළමා දෙයක් කියලත් ටෙලිවිෂන් පෙට්ටියෙන් පෙන්නන්නේ කොලු තාත්තලාගේ දේවල්. වයසට නොපෑහෙන විහිළු එක්ක නිතර දෙවේලේ දකින මේ නිර්මාණ ළමයින්ට මොකක්වත් දෙනවට වඩා පොකට් තරකරගන්න කරන නොහොබිනා වැඩ. ඒත් මීට දශක කීපයකට කලින් ඔබත් මමත් හැදුණේ වැඩුණේ ඇත්තට ම ළමා නිර්මාණ රසවිඳගෙන. අපේ ළමාකමට සීරිමක්වත් කරන්නැතුව ගලාගියපු මේ ටෙලි නිර්මාණවලට අපේ හිත්වල අදටත් ගෞරවයක් ආදරයක් තියෙන්නේ සුන්දර ළමා කාලයක් අපිට දුන්න නිසා වෙන්න ඇති.

 

1. අඹ යාළුවෝ

Old Children Teledramas

Source – youtube.com

“කටු අකුළේ මල් ඇහැරේ”, “මල් පිපෙයි දෙනෙත් ඇරෙයි”, “පහන තියා බුදුසාදුට” කියන සින්දු බැරිවෙලාවත් කොහේදී හරි ඇහුණොත් සතුටකින් හරි දුකකින් හරි දෙකම මිශ්‍ර වුණ මොකක් හරි එකකින් හරි හිතට මොකද්දෝ වෙන්නේ ආයෙත් සැරයක් පුංචි කාලෙට ගිහින් අඹ යාළුවෝ බලන්න බැරි නිසා. ටී.බී. ඉලංගරත්න ශුරීන්ගේ නවකතාව ආශ්‍රයෙන් ලියවුණ මේ ටෙලිය ඒ දවස්වල අම්මලා පුතාලා දුවලා මොන තරම් ආදරයෙන් වැළඳගත්තද? මේ වගේ ආදරයක් අද කාලේ ටෙලි නිර්මාණයකට ලැබෙනවා දකින්න හරි අමාරුයි. සුදු අප්පෝ, නිමල්, නපුරු මෛත්‍රී, ආච්චි අම්මා, අම්මා, තාත්තා මේ හැමෝම අපේ ජීවිතවලම කොටස්කාරයෝ. ලොකු මිනිස්සුන්ගේ හිත්වල මොන මොන දේවල් තිබුණත් ළමා ලෝකයේ තියෙන සුන්දරත්වය, මිත්‍රත්වය, ආදරය, අහිංසකකම කියන දේවල් හරි ලස්සනට පෙන්නපු අඹ යාළුවෝ කාට කොහොම අමතක වෙන්නද?

 

2. සිරි සිරිමල්

Old Children Teledramas

Source – vodtv.vhx.tv

ඉෂාම් සම්සුදීන්ව කලා ලෝකය හරියට අඳුරගත්තේ සිරි සිරිමල් බැලුවට පස්සේ. මාක් ට්වේන් නිර්මාණය කරපු ටොම් සෝයර් සහ හකල්බරි ෆින් කියන චරිත දෙක පාදක කරගෙන එකදාස් නවසිය බර ගණන්වල ලංකාවේ වුණ කතාවක් විදියට පෙළ ගස්වපු මේ කතාව බලන්න වෙලාවට කට්ටිය ටීවී එක ඉස්සරහ. ආය ඉතින් ඇස්වහක් කටවහක් නැහැ තේමා ගීතයේ ඉඳන් ම ආසාවෙන් බලන්න පුළුවන්නේ. නැන්දගේ ආදරේ යටතේ හැදී වැඩෙන සිරිමල් එයාගේ යාළුවත් එක්ක මුහුණ දීපු වික්‍රම ගැන තමයි කතාව පුරාම තිබ්බේ.

 

3. සෙල්ලම් ගෙදර

Old Children Teledramas

Source – youtube.com

මේක මතකයි නම් දැන් බඳින වයසත් හරි කියලා කට්ටිය කියන්නේ ටිකක් පරණ කතාවක් නිසයි. වත්තක් කෙලවර තියෙන සෙල්ලම් ගෙදරකට එක්රොක් වෙන පොඩ්ඩෝ ටිකක්. දවසින් දවසට එක එක අය. මොකක් හරි සමාජ ප්‍රශ්නයක් විදියට දකින දෙයක් තේමාව කරගෙන ඒකට කරන රංගනය. සමහර ඒවාට නම් ඉල ඇදෙන්න හිනා යනවා. අනික මේ රඟපෑම සිද්ධ වෙන්නෙත් එසේ මෙසේ නෙවේ. සාරි පටලන්, ලොකු සපත්තු දාගෙන, ලිප්ස්ටික් පවුඩර් නාලා, බොරු රැවුල් අලවාගෙන තමයි වැඩේ සිද්ධ වුණේ. තේමා ගීතයත් තකට තක.

 

4. දඟමල්ල

Old Children Teledramas

Source – youtube.com

හරි පුදුම ඉස්කෝලෙට ගියපු එලිසෙබත් මතකද? සමහරු එලිසෙබත් ගැන දැනගත්තේ දඟමල්ල බලලා, තවත් සමහරු එලිසෙබත්ව හරියට දැක්කේ තමන් කියවපු එලිසෙබත්ටත් වඩා මේ කෙල්ල යක්ෂ කෙල්ලෙක් නේද කිය කියා හිතලා. ළමා ගායිකාවක් විදියට දැනගෙන හිටපු නතාෂා පෙරේරා කවුරුත් ආදරේ කරන ළමා නිළියක් බවට පත් කරේ දඟමල්ල. මේ ටෙලි නාට්‍යයේ තිබ්බ “දුර ඈත ඈත දුරින් දුරට” ඒ දවස්වල ඉස්කෝලවල කෙල්ලොන්ගේ ජාතික ගීය වගේ.

 

5. තක්සලාව

Old Children Teledramas

Source – archives.dailynews.lk

ගමක ඉස්කෝලෙට යන ටීචර් නෝනා කෙනෙක්. ඒක දුෂ්කර ගමක්. ඉගෙනගන්න තිබ්බේ ඉස්කෝලයක් නෙවෙයි පැල්පතක් විතරයි. මේ ටීචර් නෝනා ළමයින්ට කොහොමින් හරි උගන්නලා හොඳ නෝනා මහත්තුරු ටිකක් කරන කතාව තමයි මේ. තනිකරම ළමා කතාවක් කියන්නත් බැහැ. මොකද හෝ ගානා පොකුණේ වගේම මේකෙන් දෙන්නේ වෙනත් ලොකු තේමාවක්. කොහොමින් හරි ළමා චරිත එක්ක ගැටෙන සිද්ධි වැඩියි. ටෙලියේ අවසානය නම් හරිම සංවේදියි.

 

 

6. ඈන්

Old Children Teledramas

Source – whyteleafeacademy.com

දඟමල්ලේ ඌෂ්ණේ ඇඟට ගහපු පාර ඒක නැති කරගන්න හරි අමාරු වුණා නොව. අන්න ඒකටත් හරියන්න ඈන් කියලා හුරතල් කෙල්ලෙක් ආවා මතකද? කොලුවෙක් බලාපොරොත්තුවෙන් හිටපු මැතිව් මාමාටයි මරිල්ලා නැන්දාටයි අනාථ මඩමෙන් එවලා තිබ්බේ ඈන්. මේ පුංචි කෙල්ල මේ සහෝදර දෙපළගේ ජිවිතේ සම්පුර්ණයෙන් ම වෙනස් කරනවා.

 

7. සෝමපුර වීරයෝ

Old Children Teledramas

Source – facebook.com

කුලසේන ෆොන්සේකා මහත්මයාගේ පොත ආශ්‍රයෙන් නිර්මාණය වුණ සෝමපුර වීරයෝ කතාවේ තියෙන්නේ යහළුවෝ තුන්දෙනෙක්ගෙ ත්‍රාසජනක අත්දැකීමක් ගැන. පොළොන්නරුවේ නටඹුන්, ඒවා ආශ්‍රිත කොල්ලකරුවන්, එතකොට අතුරුදහන් වුණ ගුරුතුමෙක්! මේ ටෙලියේ රඟපාපු ළමා නළුවෝ නම් දැන් අඳුරගන්න සෑහෙන අමාරු වෙයි.

 
Cover Image Source – Lifie Graphics
 

One response to “ඒ කාලේ අපි ආසාවෙන් බලපු ළමා නාට්‍යය 7ක්”

  1. […] ගත්තේ ඊට පසු කාලෙක. ඒ කාලේ නොකඩවා බලපු මේ ටෙලිනාට්‍යයේ ආපු එලිසබත්ගේ චරිතයට නතාශා හොඳ […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *