කියුබාව කියපු ගමන් අපිට මතක් වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් හවානා සුරුට්‍ටු. අනික ෆිදෙල් කැස්ත්‍රෝ සහ කියුබානු විප්ලවය. හවානා සුරුට්‍ටු ගැන අපි දන්නේ ලංකාවේ හවානා සුරුට්‍ටු හොයාගන්න නැති තරම් කියන එක. ෆිදෙල් කැස්ත්‍රෝ සහ කියුබානු විප්ලවය ගැන අපි දන්නේ ඇමරිකාවේ සහාය හිමිවුණු බැටිස්ටාගේ ඒකාධිපති පාලනය පෙරළලා දාලා සමාජවාදී කියුබාවක් නිර්මාණය කළා කියන එක. ඒ හින්දා කියුබානු ජනතාවට සහනයක් ලැබුණා කියලා තමයි අපි දන්නේ. ඇත්තටම ඒක හරිද, වැරදිද, ඇත්තද, බොරුද කියන කාරණා ගැන අපි කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ මේ ලිපියෙන්. ඒත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමාජවාදී කියුබාව බිහිවීමත් එක්ක සදහටම වැළලිලා ගියපු හරිනම් අපිට මේ වෙනකොට කියුබාව කියනකොට බොනවිස්ටා සෝෂල් ක්ලබ් එකත් මතක් වෙන්න ඕන. ඒ තරම් සංස්කෘතික වටිනාකමක් තියෙනවා, බොනවිස්ටා සෝෂල් ක්ලබ් එකට සහ ඒකෙන් බිහිවුණු සංගීතයට. මේ ඒ ගැන කරුණු කීපයක්…
1. මොකක්ද මේ බොනවිස්ටා සමාජ ශාලාව?
බොනවිස්ටා සමාජ ශාලාව කියන්නේ කියුබාවේ බොනවිස්ටා වල තිබුණු ‘මෙම්බර්ස් ඔන්ලි’ සමාජ ශාලාවක්. මේකට යන්න පුලුවන් සාමාජිකත්වය තියෙන අයට විතරයි. බොනවිස්ටා කියන එකේ තේරුමම “හොඳ දර්ශනය” කියන එක. මේ බොනවිස්ටා සමාජ ශාලාව මූලිකවම ආරම්භ කෙරුණේ 1932 කියලා තමයි කියැවෙන්නේ. පසුව, ඒ කියන්නේ 1939 දී ඉඩ අවකාශ මදි කම නිසාම මේ සමාජ ශාලාව වෙනත් තැනකට, ඒ කියන්නේ මරියනාඕ වලට ගෙන යැවෙනවා. කොහොම වුනත් පහුකාලයකදී, ඒ කියන්නේ අනූ ගණන් වලදී කාටවත් බොනවිස්ටා සමාජ ශාලාව හරියටම තිබුණු තැන කියන්න බැරි වුණු බව පේනවා, ඒ ගැන රයි කූඩර් කරපු වාර්තා චිත්‍රපටය බලනකොට.
සමාන රසඥතාවයක් ඇති සංගීතවේදීන්ගෙන් සෑදුණු සමාජ හවුලකටත් වඩා එහා ගිය සංස්කෘතියක් බොනවිස්ටා සමාජ ශාලාව ආශ්‍රයෙන් නිර්මාණය වෙනවා. නිරන්තරයෙන්ම සංගීත උත්සව, නර්තන උත්සව පැවැත්වුණු ජනප්‍රිය සංස්කෘතික මධ්‍යස්ථානයක් විදියට තමයි බොනවිස්ටාව කියුබාවේ එක්තරා කාලයකදී ස්ථානගත වෙන්නේ.
2. බොනවිස්ටාවේ සාමාජිකයින්
බොනවිස්ටා සමාජ ශාලාවේ හිටියේ නිකම්ම ඇවිත් මත්පැන් වීදුරුවක් තොලගාන ගමන් සංගීතයට සවන් දෙන සමාජ ශාලා සාමාජිකයෝ නෙවෙයි. කැරිබියානු ලෝකයේ වගේම කියුබාවේත් සමාජය බොහෝ කොට එක් එක් සමාජ කව නැතිනම් සමාජ ශාලාවන් වටා එක් රැස් වී තිබුණා. සුරුට්‍ටු ඔතන්නන්ගේ සමාජය, බේස්බෝල් ක්‍රීඩකයින්ගේ සමාජය, කාඩ් ක්‍රීඩාකරන්නන්ගේ සමාජය වගේ විවිධාකාරයේ සමාජ. බොනවිස්ටා සමාජ ශාලාව ඇත්තටම කියුබාවේ සංගීතඥයින් එක් රැස් වී හිටපු සමාජ කවය විදියට හඳුන්වන එක වැරදි නැහැ. ඔවුන් එතන සංගීත සන්දර්ශන, නර්තන අංග වගේ විවිධ ක්‍රියාකාරකම් වල නියැළුනා.
එතකොට බොනවිස්ටා සමාජ ශාලාව සංස්කෘතික මධ්‍යස්ථානයක් විදියට කියුබාව පුරා ප්‍රචලිත වීමත් එක්ක මෙතනට සංගීතඥයින් පමණක් නොව, කලා ලෝලී ඉංජිනේරුවන්, දොස්තරවරුන් වගේ තවත් පිරිසකුත් ඇදී ආවා.
3. බොනවිස්ටාවේ ස්වර්ණමය යුගය
“ඒක කියුබාවේ නියම සංගීතය රජ කරපු කාලයක්. ඒ කාලයේදී විශාල වශයෙන් මුදල් ඉපැයීමට අවස්ථාව තිබුණෙත් නැහැ. මුදල් ඉපැයීම කොහොම වෙතත් හැමදෙනාම සංගීතය වාදනය, ගායනය කළේ මුදල් වෙනුවෙන් නෙවෙයි, හැමෝටම ඒ ගැන ලොකු ඕනෑ කමක් තිබුණු නිසාමයි”
මෙහෙම බොනවිස්ටාවේ ස්වර්ණමය යුගය වුණු 1940 දශකය සම්බන්ධයෙන් හඳුන්වන්නේ බොනවිස්ටාව යලි උපදවීමෙන් පස්සේ බොනවිස්ටා සෝෂල් ක්ලබ් ඇල්බමයට පියානෝ වාදනය කරපු රූබන් ගොන්සාලේස්. සංගීතය මුල් කරගත් සංස්කෘතික මධ්‍යස්ථානයක් විදියට බොනවිස්ටාව, හවානාවේ රාත්‍රී සමාජ ශාලා ලෝකයේ අග්‍රගන්‍ය ස්ථානයක වැජඹුනා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඇත්තටම කියුබානු සංගීතයේ ස්වර්ණමය යුගය විදියට හැඳින්වුණු 1930 සහ 1950 අතරතුර කාලය හඳුන්වන්න යොදන නොනිල යෙදුමක් බවට ‘බොනවිස්ටා සමාජ ශාලාව’ කියන එක පත්වීමම, කියුබානු සංගීත ලෝකයේ කෙවැනි තැනක බොනවිස්ටාව වැජඹෙන්නට ඇතිදැයි කියලා අපිට හොඳ අදහසක් ලබාදෙනවා.
4. බොනවිස්ටාවේ අභාවය
ෆිදෙල් කැස්ත්‍රෝ ගේ ජූලි 26 විප්ලවීය ව්‍යාපාරය මගින් 1959 දී දියත් කරපු කියුබානු විප්ලවයට පස්සේ කැස්ත්‍රෝගේ පළමුවෙනි තේරීම විදියට බලයට පත්වුණු කියුබානු ජනාධිපති මැනුඑල් උරුතියා විසින් ආරම්භ කරපු සූදු පිටි, රාත්‍රී සමාජ ශාලා ඇතුළු හවානාවේ සුඛපරම ජීවන රටාවේ අංගයන් තහනම් කිරීමේ ව්‍යාපෘතියට බොනවිස්ටාවත් අසුවනු ඇති බවට සැක කරන්නට ඉඩක් තිබුණේ නැහැ. කියුබානු දේශපාලනය වාමාංශික දේශපාලනය දෙසට ශීඝ්‍ර හැරවුම් ලක්ෂ්‍යයක් ගැනීමෙන් පසුව, පංති පරතරයක් සහ වර්ණ භේදයක් නැති කියුබාවක් බිහිකිරීම සඳහා ගිය දේශපාලන ගමනේදී අහිමි වූ එක් දෙයක් විදියට බොනවිස්ටා සමාජ ශාලාව හඳුන්වන්නට පුලුවන්.
5. බොනවිස්ටාව ප්‍රතිනිර්මාණය
1996 දී ඇමරිකානු ගිටාර් වාදන ශිල්පියෙක් වෙන රයි කූඩර්ට හවානා වලට ආරාධනාවක් ලැබුණේ, මාලි වලින් පැමිණි අප්‍රිකානු සංගීතඥයින් සහ කියුබානු සංගීතඥයින් සමගින් පටිගත කිරීමක් සිදුකරන්නටයි. කොහොම වුනත් කූඩර් කියුබාවට යන විට මාලි සංගීතඥයින්ට කියුබාවට වීසා ලැබී නොතිබුණු නිසා ඔවුන් පැමිණ තිබුණේ නැහැ. මේ නිසා රයි කූඩර් සහ ඔහුට ආරාධනාව ලබාදුන් සංගීත නිෂ්පාදක නික් ගෝල්ඩ් තීරණය කළේ කියුබාවේ දේශීය සංගීතඥයින් සමගින් කියුබානු සොන් සංගීතය රැගත් ඇල්බමයක් පටිගත කිරීමටයි.
මේ කටයුත්තට බේස් වාදන ශිල්පී ඕර්ලැන්දෝ ‘චචියාතෝ’ ලොපේස්, ගිටාර් වාදන ශිල්පී එලියාදේස් ඔචෝආ, සංගීත අධ්‍යක්ෂක හුවාන් දෙ මර්කෝස් ගොන්සාලේස් සහ ගායක මැනුඑල් ලිසේඕ, ගායක කොම්පේ සෙගුන්දෝ සහ පියානෝ වාදන ශිල්පී රූබන් ගොන්සාලේස් යන පිරිස එකතු වෙනවා. මේ පැරණි කියුබානු සංගීතඥයින්ගෙන් ඉතිරි වී සිටියවුන්. ඔවුන් සමගින් රයි කූඩර් විසින් නිර්මාණය කරනා ඇල්බමය මගින් බොනවිස්ටාව ප්‍රතිනිර්මාණය වෙනවා. මෙම ඇල්බමය ‘බොනවිස්ටා සෝෂල් ක්ලබ්’ යන නමින් ලෝකය පුරාම ප්‍රචලිත වෙනවා.
6. බොනවිස්ටා සෝෂල් ක්ලබ් වාර්තා චිත්‍රපටය
බොනවිස්ටා සෝෂල් ක්ලබ් ඇල්බමය ලෝකය පුරා ලබාගන්නේ අතිමහත් සාර්ථකත්වයක්. ඒ හරහා ලෝකය පුරා සංගීත ලෝලීන් බොහෝ දෙනෙක් විප්ලවයට පෙර වැජඹෙමින් තිබුණු කියුබානු සාම්ප්‍රදායික සංගීතය සහ විප්ලවයට කලින් තිබූ සමෘද්ධිමත් හවානාව මූලික කොටගත් කියුබානු කලා සංස්කෘතිය සම්බන්ධයෙන් උනන්දු වෙන්න පටන් ගන්නවා. මේ අතුරින් එක් අයෙකු වෙන්නේ ජර්මානු ජාතික අධ්‍යක්ෂකවරයෙකු වුණු විම් වෙන්ඩර්ස්. ඔහු රයි කූඩර්ගේ දීර්ඝ කාලීන මිතුරෙක්. ඔහු ‘බොනවිස්ටා සෝෂල් ක්ලබ්’ නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණයට අත ගසනවා.
මේ වාර්තා චිත්‍රපටයෙන් විදහා දැක්වෙන්නේ රයි කූඩර්ස් විසින් ඉතිහාසගත පැරණි කියුබානු සංගීතඥයින් එක් තැන් කරමින් බොනවිස්ටාව ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයම. මේ වාර්තා චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින්ව මොහොතකට පැරණි සමෘද්ධිමත් හවානාවේ රාත්‍රී සංස්කෘතික ලෝකයට ගෙන යනවා විතරක් නෙවෙයි, ඒ ගැන අතීත කාමී හැඟීමක් ලබාදෙන්නටත් සමත් වෙනවා. ඒ නිසාම විචාරකයින්ගේ සහ සිනමා ලෝලීන්ගේ නොමඳ ප්‍රශංසාවන් ලැබූ බොනවිස්ටා සෝෂල් ක්ලබ් වාර්තා චිත්‍රපටය, ඇකඩමි සම්මානයක් සඳහාද නාමයෝජනා ලබාගන්නා අතර, බොහෝ සම්මාන ගණනක් විවිධ අවස්ථාවන් වලදී අත්පත් කරගන්නට සමත් වෙනවා.
7. කියුබානු සංගීත උරුමය
බොනවිස්ටා සෝෂල් ක්ලබ් ඇල්බමයත්, බොනවිස්ටා සෝෂල් ක්ලබ් වාර්තා චිත්‍රපටයත් සමගින් ලෝක ප්‍රසිද්ධ වුණු කියුබානු සංගීතයට ඔබත් ඇතැම් විට සවන් දී තිබෙනවාට සැකයක් නැහැ. මේ බොනවිස්ටා සෝෂල් ක්ලබ් ඇල්බමයේ එන ගීත කීපයක්.
- කන්දේලා
- චැන් චැන්
- දොස් ගාර්දෙනියාස්
- දෙ කමීනෝ අ ල වෙරේදා
Cover Image Source – captivatingcuba.com
Leave a Reply