ලංකාවේ වර්තමානයේ ඇති මාර්ග වලින් බොහෝමයක් ඉංග්‍රීසි කාලයේ බිහිකරන ලද ඒවාය. ඔවුන්ට රට තුළ ප්‍රවාහනය දියුණු කිරීමට උවමනා විය. එක් එක් පළාත් වලින් උපයාගත් ආර්ථික බෝග වරාය කරා ළඟා කරවන්නටත් ඒ වගාවන්ට අවශ්‍ය පොහොර වැනි දෑ ප්‍රවාහනයටත් මාර්ග වැදගත් විය. ඊට අමතරව මුල්කාලයේදී කැරළි කෝලාහල වලදී හමුදාව ඉක්මනින් අනුයුක්ත කිරීමත් මාර්ග ඇතිකිරීමේ එක් අරමුණක් විය.
1. සුද්දාට කලින් මාර්ග හමු නොවූයේ ඇයි?
එවකට ලංකාවේ කිසිදු ඉදිකළ දීර්ඝ මාර්ගයක් පැහැදිලිව දකින්නට නැතැයි 1815න් පසුව වූ යටත්විජිත වාර්තා වල දැක්වේ. තාර දමා කොන්ක්‍රීට් දමා මාර්ග සංවර්ධනය කිරීම 20 වන ශතවර්ෂයේදී දියුණු වූවකි. ඉන් පෙර කල තිබූ ගල් ඇතිරූ හෝ බොරලු දැමූ මාර්ගයක් වනයට යට වන්නට වසර 50ක කාලයක් හොඳටම ප්‍රමාණවත්ය. 1505 සිට 1815 වන තෙක්ම රටේ යුරෝපීයයන් සහ දේශීය පාර්ශව අතර නොනවතින සටන් ඇති විය. එම කාලවලදී කන්ද උඩරට සීතාවක ආදී පළාත්වලදී මාර්ග පැවතීම වෙරළබඩ සිටි ලන්දේසි, පෘතුගීසි සහ ඉංගිරිසි සතුරන්ට පහසුවෙන්ම රාජධානිවලට ඇතුල් වන්නට හේතුවක් වේ. එම නිසා මාර්ග පෙර තිබුණද ආරක්ෂක උපක්‍රම ලෙස ඒවා අඩි පාරවල් ලෙසම භාවිතා කරන්නට පසුකාලීනව උඩරට පළාතේ ජනයා පෙළඹෙන්නට ඇත.
2. ලන්දේසිකාරයාගේ ජල මාර්ග
ඉංග්‍රීසින් මාර්ග තැනීමට උනන්දු වූවද ලන්දේසීන්ගේ භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය වූයේ ජල මාර්ගයි. දැනටද තිබෙන හැමිල්ටන් ඇල සහ මෝඩ ඇල සේම දකුණු පළාතේද ස්ථාන රැසක ලන්දේසි ඇල මාර්ග තිබී ඇත. සියවසකට වැඩි කාලයක් තිස්සේ වෙරළබඩ කළාපය පාලනය කල ලන්දේසිහු සිය ගමන් අවශ්‍යතා ඇල මාර්ග හරහා සපුරාගන්නට උත්සාහ කරන්නට ඇත.
3. සීගිරියේ නගරය
සීගිරියේ ගල මත ඇති ශිලා උද්‍යානය මෙන්ම පහළ ඇති නගර නිර්මාණයද විශ්මිත නිර්මාණයකි. ඒ නිර්මාණ කාර්යයේදී පෙර කල මාර්ග වෙන් කොට, ජල මාර්ග ආදියද ඉදි කොට තැනූ අලංකාර නගර සැලසුම් එදා තිබී ඇති බව අපිට පෙනේ.
4. යකා බැඳි ඇල්ල
ගිරි උල්ල පළාතේ පිහිටා ඇති, මා ඔය හරස් කර බැඳ ඇති යකා බැඳි ඇල්ල නැමැති ස්ථානයේ ටොන් ගණනාවක් බර ගල් කුට්ටි වලින් නිම වූ ගල් බැම්මකි. එම ගල් බැම්ම හරහා අමුණක් තිබූ බවටත් පාලමක් තිබූ බවටත් කතා දෙකකි. කෙසේ වෙතත් වත්මන් පාලම් ඉදිකිරීම් තාක්ෂණයට පෙර මහා ගල් කුට්ටි ඔය හරහා හරස්කොට තැනූ පාලම් තිබෙන්නට ඇති බවට සාධකයක් ලෙස ගිරිඋල්ල යකා බැඳි ඇල්ලේ දැනට ද ඉතිරි වී ඇති, මිනිසුන් විස්සකටවත් එකවර එසවිය නොහැකි තරමේ විශාල ගල් කුට්ටි සාක්ෂි සපයයි.
5. අනුරාධපුරයේ සිට වරාය දක්වා වීදි
අනුරාධපුරයේ සිට නැගෙනහිර සහ බටහිර වෙරළවල මහාතිත්ථ සහ ගෝකණ්න ආදී පුරාණ වරාය කරා සම්බන්ධතා තිබී ඇත. ෆාහියන්ගේ දේශාටන සහ මහාවංශ දත්ත අනුව එවැනි වීදි පද්ධතියක් වරායන්හි සිට අභ්‍යන්තර නගරයක් වූ අනුරාධපුර දක්වා වැටී තිබේ. ෆාහියන්ගේ වාර්තා අනුව මෙම වීදි වල ක්‍රමවත් ජල සම්පාදන ක්‍රමයක්ද තිබී ඇත.
6. රාජ වීදි
අනුරාධපුර නගරයේ අභ්‍යන්තර වීදි ගැන 1960 දී කැණීම් සිදුකර තිබුණි. එහිදී සොයාගත් කරුණු අනුව ශ්‍රීමහා බෝධිය දකුණු දොරටුව ආදී ස්ථාන යාකරමින් පුළුල් මාර්ග පද්ධතියක් තිබී ඇත. අස් රියෙන් ගමන් කරන කල එළාරගේ සොහොන අසල නවත්වා ගරු බුහුමන් ලෙස බැස ගමන් කල යුතුයැයි වංශකතාවන් වල සඳහන් වී තිබේ. එනම් එකල නගරයේ යම්තාක් දුරට හෝ රිය මගින් ගමන් කිරීම ප්‍රචලිත වී තිබේ.
7. දිඹුලාගල රාජ වීදිය
පළමුවන වික්‍රමබාහු රජුගේ කාලයේදී දිඹුලාගල ලෙන් විහාර දෙකක් අතර මාර්ගයක් ගල් අල්වා සංවර්ධනය කළා යැයි සෙල්ලිපියක සඳහන් වී තිබේ. ඒ අනුව සඳ මහ ලෙන සහ හිරු මහ ලෙන නැමැති ලෙන් විහාර දෙක අතර මහා මාර්ගයක් වික්‍රමබාහු රජුගේ සුන්දර දේවිය විසින් ඉදිකොට තිබේ.
8. ගල් පාලම්
අනුරාධපුරයේ සිට දඹකොළ පටුන හෙවත් මන්නාරම් දෙසට වූ වෙරළ තීරය දක්වා මාර්ගයක් ඉදිකරන විට ප්‍රධාන වශයෙන් මල්වතු ඔය තරණය කිරීමට සිදු වේ. මේ අභියෝගය ජයගත් පැරැන්නෝ මල්වතු ඔය හරහා ගල් පාලමක් නිර්මාණය කොට තිබුණි. ඒ ගල් පාලම මල් වතු ඔයේ පතුලේ ගල් පිහිටි ස්ථානයක සිදුරු විද, ඒ මතින් ගල් පුවරු පිහිටුවා ශක්තිමත් පාදමක් සහිතව නිර්මාණය කොට තිබේ යැයි මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීරගේ පුරාවිදු වාර්තාවන්හි දැක්වේ. මෙහිදී ගලින්ම කළ සුරු විරුකමින් නිර්මාණය කොට ඇති ගල් පාලමට යකඩ ඇණ යොදාගැනීමක් සිදුවී නොමැත.
9. ලී පාලම්
ලී පාලම් ගැන කීමේදී වර්තමානයේදී ඉතිරිව ඇති බෝගොඩ පාලම එක් නිදර්ශනයකි. ඈත අතීතය සැලකීමේදී පිටරටට පවා සහල් යවා රට ස්වයංපෝෂිත කළ පරාක්‍රමබාහු යුගයේ ලී පාලම් තැනූ බවට වංශකතා සාධක තිබේ. ඒ අනුව සේනාපති දේව නැමැති අයෙකු විසින් ඇත් අස් රිය පාබල ආදී සේනාවන්ට පහසුවෙන් යෑම පිණිස අලංකාර පාලමක් කලා ඔය හරහා ඉදිකර ඇති බව දැක්වේ.
10. විශ්වකර්ම ඉදිකිරීම්
ලෝවාමහාපාය මෙන් ගල් මතින් කළ මහා ඉදිකිරීම් වලට විශාල ගල් කුට්ටි ආදිය තැනකින් තැනකට ගෙන යෑම අත්‍යාවශ්‍ය විය. අප සරල උදාහරණයක් ලෙස ගතහොත් සඳකඩ පහන වැනි තනි ගල් පතුරක් වුව අදකාලේ ද විශාල යන්ත්‍ර රහිතව එසවිය හැකි නොහේ. වාරි නිර්මාණ වලදී සොරොව් බිසෝකොටු බැඳීම, විහාර කර්මාන්ත වලදී විශාල ඉදිකිරීම් සිදුකිරීම වැනි කාර්යයන් වලදී අනිවාර්යෙන්ම මාර්ග වල අවශ්‍යතාවය පැනනගී. අලින් මගින් භාණ්ඩ ප්‍රවාහනය කළද ඒ සඳහාද සැලකිය යුතු තරමේ මාර්ග පහසුවක් තිබිය යුතුය. ඒ අනුව කාලයේ වැලිතලාවට වැසී ගියත් දැනට ඉතිරි වී ඇති සුවිශාල වාරි නිර්මාණ, ශිලා නිර්මාණ ආදිය දකින විට එදා අනිවාර්යෙන්ම දියුණු මාර්ග පද්ධතියක් තිබෙන්නට ඇති බව අපිට නිගමනය කළ හැකිය.
11. සැඟවිය නොහැකි පෙර සුරු විරුකම්
රාජධානි මාරුව සමග වඩාත් කඳුකර දුෂ්කර බලකොටු කරා සිංහලයා ගොනු වන්නට විය. කන්ද උඩරට වැනි රාජධානි අනෙක් පහසුකම් කෙසේ වුවත් ආරක්ෂාව පිණිසම නිර්මාණය වූ ඒවා විය. අවසාන රාජධානිය දෙස බලා අප රට මාර්ග තිබුණේම නැතැයි කීම යුක්ති සහගත නොවේ. මහ වැව්, වෙහෙර විහාර තිබූ සෞභාග්‍යමත් අතීතයේ මාර්ග පාලම් සහිත දියුණු ප්‍රවාහන පද්ධතියක් ලංකාවේ තිබෙන්නට ඇති බවට සාධක රැසකි. එසේනම් තවදුරටත් සුද්දා තමයි ලංකාවේ පාරවල් මුලින්ම හැදුවේ යැ කියන්නට පෙර නැවත වරක් සිතා බැලීම කළ යුතුය.
Cover Image Source – cntraveller.com
Leave a Reply