ශාරුක් ඛාන් ගේ හොඳම රඟපෑම් ඇතුළත් චිත්‍රපට 10ක්

Top Ten Movies Of Sharukh Khan

අද වෙද්දි ශාරුක් ඛාන්ව බොලිවුඩයේ King Khan කියලයි හැඳින්වෙන්නේ. ඒ වුනාට ශාරුක් සිනමා කර්මාන්තයට ආපු මුල්ම කාලයේ ශාරුක් ගෙ හිනාව සාතන් ගේ හිනාවට සමාන කරපු විචාරකයෝ දකින්න ලැබුණා. කොහොම උනත් මේ සාතන්ගේ හිනාව හිමි නළු තරුණයා බොලිවුඩයේ රජු දක්වා ආපු ගමන සුන්දර වුණේ නැහැ. අපි මේ සූදානම් වෙන්නේ ඒ ගමනේ විශේෂ සංධිස්ථානයන් කිහිපයක් ගෙන හැර පාන්න. මේ ශාරුක් ඛාන් එදා මෙදා රඟපෑ හොඳම චිත්‍රපට දහයක් ගැන තොරතුරු.

 

1. Dilwale Dulhania Le Jayenge (1995)

එදා මෙදා තුර එකම සිනමාහලක වැඩිම දර්ශන වාර ගණනක් පසු කල චිත්‍රපටය ලෙස ශාරුක් ඛාන් සහ කාජල් රඟපෑ මේ සිනෙරුව වාර්තාවක් පවා තබා තිබෙනවා. යුරෝපයේ දුම්රිය ගමනකදී හමුවන තරුණ යුවලක් වන සිම්රන් ගේ සහ රාජ් ගේ ආදර කතාවයි මේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ආදිත්‍ය චොප්රා විසිනුයි. 1996 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නලුවා, හොඳම නිලිය, හොඳම අධ්‍යක්ෂක යන සම්මාන ත්‍රිත්වයම දිනාගැනීමට මේ චිත්‍රපටය සමත් වෙනවා.

 

2. Dil To Pagal Hai (1997)

ශාරුක් ඛාන්, මධුරි ඩික්සිත් සහ කරිශ්මා කපූර් දායක වූ මේ තුන් කොන් ආදර කතාවක් රැගත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ යාශ් චොප්රා විසිනුයි. මේක සංගීතමය චිත්‍රපටයක් වුණා. 1998 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නලුවා, හොඳම නිලිය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ත්‍රිත්වයම මේ සිනෙරුවට හිමිවුණා.

 

3. Kuch Kuch Hota Hai (1998)

මේක ඉන්දියාවේ රසිකයෝ වගේම ලංකාවේ රසිකයොත් ඉතා ආදරයෙන් වැළඳගත් චිත්‍රපටයක් කිවුවොත් නිවැරදියි. සංවේදී තුන් කොන් ආදර කතාවක් මෙහිදීත් කතාවේ ප්‍රධාන තේමාව බවට පත් වෙනවා. ශාරුක් , කාජල්, රාණි මුඛර්ජි මෙහි ප්‍රධාන චරිත මවනවා. අධ්‍යක්ෂණය කලේ කරන් ජොහාර්. 1999 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නලුවා, හොඳම නිලිය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ත්‍රිත්වයම හිමි වූයේ මේ සිනෙමා කෘතියටයි.

 

4. Kabhi Kushi Kabhie Gham (2001)

යොවුන් ආදරය, මවුපිය සෙනෙහස, සහෝදර ප්‍රේමය ගැන කියැවෙන සංවේදී සිනෙමාපටයක් මේ. ශාරුක්, කාජල්, රිතික් රෝශන්, කරීනා කපූර්, අමිතාබ් බච්චන්, ජයා බච්චන් යන සුපිරිතම නලු නිලියන්ගෙන් හැඩවුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කරන් ජොහාර්.

 

5. Kal Ho Naa Ho (2003)

අතිශය සංවේදී ආදර කතාවක් රැගත් මේ සිනෙමාපටය අධ්‍යක්ෂණය කලේ නිකිල් අද්වානි සමගින් රොන් රීඩ්. ශාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ සායිෆ් අලි ඛාන් මෙහි ප්‍රධාන චරිත මවනවා. ඉතාම සංවේදී අවසානයක් සහිත චිත්‍රපටයක් මේක. පරිත්‍යාගය, ආදරය, සෙනෙහස ගැන පාඩම් රැසක් ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වන සිනෙමාපටයක් තමයි කල් හෝ නා හෝ.

 

6. Veer Zaara (2004)

ඉන්දියානු ගුවන් හමුදා නිළධාරියෙක් අහම්බෙන් පකිස්තානු තරුණියක් සමග ආදරයෙන් බැඳෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පකිස්ථානයට යන ඔහුට වෙනත් වැරැද්දක් පටවලා සිරගත කරන්න පකිස්ථානයේ ප්‍රභූ පවුලක් වන ඒ තරුණියගේ පවුලේ උදවිය පියවර ගන්නවා. සිර මැදිරිය තුළම ඔහු වියපත් වෙනවා. එහෙත් එක් නීතිඥවරියක් වසර ගණනාවකට පසු ඒ සිරකරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මේ වීර් සාරා හි එන කතාව. ශාරුක් ඛාන්, ප්‍රීති සින්ටා, රාණි මුඛර්ජී රංගනයෙන් දායක වුණු වීර් සාරා අධ්‍යක්ෂණය කලේ යාශ් චොප්රා විසිනුයි. 2005 වසරේ අයිෆා හොඳම නලුවා සම්මානය වගේම, ෆිල්ම්ෆෙයාර් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය වීර් සාරා දිනාගන්නවා.

 

7. Kabhi Alvida Na Kehna (2006)

විවාහක යුවලක් සතුව තිබිය යුතු අන්‍යෝන්‍ය අවබෝධය නොමැති තැන පවුල් සංස්ථාව පුපුරා යනවා. ඉන්පසු කුටුම්භගත යුවල තමන්ට ගැලපෙන සිත් ඇත්තන් සොයා යන්නට පෙළඹෙන්නේ නිසඟයෙන්මයි. මේ සංකීර්ණ කතාව මනාව විස්තර කල සිනෙරුවක් ලෙස Kabhi Alvida Na Kehna හැඳින්විය හැකියි. ශාරුක් ඛාන්, අභිශේක් බච්චන්, රාණි මුඛර්ජි, ප්‍රීති සින්ටා චරිත මවන මේ සිනෙමා කෘතිය අධ්‍යක්ෂණය කලේ කරන් ජොහාර් විසිනුයි. මතක හිටින ගණයේ ගීත රැසක් එලි දැක්වුණු සිනෙරුවක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

 

8. Chak De.! India (2007)

බොලිවුඩයේ ක්‍රීඩාව වෙනුවෙන් බිහිවූ චිත්‍රපට අතරේ හොඳම චිත්‍රපටය ලෙස තවමත් සමහර විචාරකයන් නම් කරන චක් දේ ඉන්දියා, හොකී ක්‍රීඩාව පදනම් කරගත් චිත්‍රපටයක්. ශාරුක් ඛාන් මෙහිදී ඉන්දියානු කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරුගේ චරිතය මවනවා. ශිමිත් අමින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොඳම නලුවා සම්මානය ලබන්නට ශාරුක් සමත් වුණා.

 

9. Rab De Bana Di Jodi (2008)

හාස්‍යමය ගණයේ සිනෙමාපටයක් වුණත් මේ සිනෙමාපටයේ ශාරුක් ගේ රංගනය විචාරක ඇගයීමට ලක් වෙනවා. මේ සිනෙමා පටයේ ද්විත්ව චරිතයකට පණ පොවන ශාරුක් හාත්පසින්ම වෙනස් චරිත දෙකකට එහිදී සිය රංගනය කැප කරන්නේ ආයාසයකින් තොරව බව නරඹන අපට හොඳින්ම පෙනෙන කාරණයක්. ශාරුක් ඛාන් සමගින් අනුශ්කා ශර්මා මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. අධ්‍යක්ෂණය ආදිත්‍ය චොප්රා ගෙන්.

 

10. My Name is Khan (2010)

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාවේ ජීවත් වුණු මුස්ලිම් ජනතාවගේ ජීවිත වෙනස් වුණේ කොහොමද කියලා කියවෙන සිනෙමාපටයක්. මෙහි ශාරුක් ඛාන් රඟපෑවේ Asperger Syndrome නම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන මුස්ලිම් තරුණයෙකුගේ චරිතයක්. ශාරුක් ඛාන් ට අමතරව කාජල් මෙහි චරිත නිරූපණයෙන් දායක වුණා. අධ්‍යක්ෂණය කරන් ජොහාර් ගෙන්. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නලුවා, හොඳම නිළිය සහ හොඳම චිත්‍රපටයට හිමි සම්මාන ත්‍රිත්වයම දිනාගත් මේ සිනෙමාපටය බොහෝ මතභේදයට තුඩු දුන් සිනෙමාපටයක් වුණා.

ශාරුක් ඛාන්ගේ ඔබ කැමතිම චිත්‍රපට මේ ලැයිස්තුවේ නැතිනම්, ඒවා ගැන පහළින් කමෙන්ටුවක සඳහන් කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *