දැන් ගම්වල මිනිස්සු නෑ. ඒවායේ හිටපු ඔක්කොම රොත්ත පිටින් අවස්ථා හොයාගෙන නගරෙට එනවා. ඒ එන්නේ මොනවාම හරි බලාපොරොත්තු තියාගෙන. ඉස්සර ගම්වල මිනිස්සු තමයි හොඳම මනුස්සකම බලන් ඉද්දි වෑහෙනවා වගේ කතන්දර ඇහුණට දැන් ඒකේ අනික් පැත්ත. නගරවල ඉන්න මිනිස්සු හොඳයි. ඒත් ඒ හොඳ අස්සේ ඉන්න එකෙක් දෙන්නෙක් වෙන හීනමානකාරයෝ එක්ක ඒ හොඳේ තියන හොඳකම ගැන ප්‍රශ්නයක් මතු වෙලා තියනවා. එහෙම හිතෙන්නේ නගරේ ඉන්න එක එක හාල්පාරුවෝ මෙන්න මේ වගේ කතා කියනකොටයි.
1. ඩොටේ

Source – kalundewaretreat.com
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කතා කරොත් කොළඹ ඇරෙන්න අනික් හැම නගරයක් ම හද්දා පිටිසර කියලා හිතන ලයින් එකක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදියට කියනවා නම් කුරුණෑගලයි කොළඹයි අතරමැදක තියෙන සඳලංකාව ගොඩක් නාගරිකයන්ට ඩොටේ. හැබැයි එහේ ඉඳන් කොළඹට එන්න පැය එකහමාරක්වත් යන්නේ නෑ. ට්‍රැෆික් එකත් එක්ක ඊට වඩා වෙලා යනවා කොටුවේ ඉඳන් දෙමටගොඩට වගේ යන්න. හැබැයි කෝචෝක් පාර වැටෙන්නේ දෙමටගොඩින් සඳලංකාවට. අනික ගමකින් ආවා කියන එකේ තේරුම කටුමැටි වරිච්චි බිත්තිවල ඉඳන් ආවා කියන එකම නෙවේනේ. සමහරවිට කොළඹ ඉන්න ණය වෙලා කාර්බාර් ගන්න උදවියට වඩා පාඩුවේ වගාවක් දාගෙන ඉන්න මනුස්සයා හරිහම්බ කරනවා. හැබැයි කොළඹින් එහා නම් ඔයාට අහගන්න වෙන්නේ ඩොටේ කියලා තමයි.
2. ඔය ගම් ගතිය අතෑරපල්ලා

Source – youtube.com
ගම්වල ඉන්න මිනිස්සු සත්ගුණවත් කියලා සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් කිව්වට මොකෝ ඒ අයට ගොඩක් දේවල් මග හැරෙනවා. ඒ ගමක ජීවත්වුණ එකෙන් ලැබුණ අමුතු කුලෑටිකමක් නිසා. මේ කියවන්නේ අපි පොත්වලින් දැකපු ගම්වල මිනිස්සු ගැන හිතලා මිසක් ඇත්ත අය ගැන හිතලා නෙවේ. මීට අවුරුදු විස්සකට තිහකට එහා නම් කතාව ඇත්ත වෙන්න තිබ්බා. ඒත් දැන් ගම්වල ඉන්නේ අණ්ඩපාලයෝ නොවැ. කොහොමින් හරි අර කිව්ව කුලෑටි ගතිය තියාගෙන කොළඹ ආවාම ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. අනික ඒ බය පක්ෂපාතකම් නිසාම සමාජය ඒ මිනිස්සුන්ගේ ශ්‍රමය අයුතු විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ ගැන හිතලා ගම් ගතිය අතාරින්න කියලා කවුරුහරි කිව්වොත් ප්‍රතිචාරය අදාළ පුද්ගලයා මත රඳා පවත්වාගන්න. ඒ කිව්වේ සමහරු නියම ට්‍රැක් එකට ගන්න ඕනි නිසා ඔහොම කියනවා. තවත් සමහර කොළඹයියලා කිණ්ඩි දැමීමේ පරම චේතනාවෙන් මෙහෙම කියනවා. ඒ වෙලාවට හොඳ ගුලියක් ඇඹරුවට කිසිම වරදක් නෑ.
3. හැමෝම කියන්නේ නම් ටවුන් එකට ළඟයි කියලා තමයි

Source – commons.wikimedia.org
දැන් හිතන්නකෝ කවුරුහරි අහනවා ඔයා කොහෙද කියලා. කිරිඉබ්බන්ආරේ ඉඳන් ආපු හාදයෙක් කියනවා අනුරාධපුරේ කියලා. මොකෝ ඔය කිරිඉබ්බගේ කතාව කිව්වොත් මෙලෝ යකෙක් දන්නැති නිසා. පස්සේ ඒ යකාව අල්ලගෙන බයිට් කරනවා ‘කියන්නේ නම් මෙහේ කියලා ඒත් ඇත්ත තත්ත්වේ මෙහෙමයි’ කියලා. තව කෙනෙක් ඉන්නවා ශ්‍රී මහා බෝධිය පේන මානයේ. එයාගෙන් ඇහුවොත් කියනවා ටවුන් එකේ ඉන්නේ කියලා. කිරිඉබ්බගේ මතකයත් එක්ක කොළඹ මහත්තුරු කියනවා හැමෝම කියන්නේ එයාලා ටවුන් එකට ළඟයි කියලා තමයි කියලා. ඒ වෙලාවට පෙළහර පෑවත් එයැයිලා පිළිගන්නේ නෑ.
4. උඹලාව රවට්ටන්න හරි ලේසියි

Source – videoblocks.com
ඕනම තැනක උපදෙස් දෙන සෙට් එකක් ඉන්නවනේ. නගරයක ජීවත් වෙන එක ගැන මෙලෝ අවබෝධයක් නැතුව ඇති කියලා හිතාන කොළඹ ගැන වාර්තා චිත්‍රපටයක්ම කරලා පෙන්නයි ඕනි නම්. කොමන් සෙන්ස් එක බින්දුවයි කියලා හිතාන මේ දෙන උපදෙස් ඔක්කොගෙම තියෙන්නේ එකම දේ. කල්පනාවෙන් ජීවත්වීම. ඒක ඉතින් දැන් කොළඹ ඇවිල්ලා අමුතුවෙන් මතක් කරගන්න ඕනි දෙයක් නෙවේ. ගම්වල ඔයිට වඩා දැන් කල්ලකපටි වැඩ වෙන්නේ. ඒත් කොළොම්පුරේ අරුමෝසම් වැඩි ගතියත් එක්ක නොදැනීම සල්ලි වියදම් වෙනවා. ඒ නිසා මේ කියන දේ ඇත්තක්. හැබැයි ගම්වල මිනිස්සු වගේම කොළඹ ජාතක වෙච්ච අයත් සෝබනේට රවට්ටගන්න ලේසියි.
5. නිවාඩු දවස්වල හරිම නිදහස් උඹලා ගමේ යන නිසා

Source – wingsoffancy.blogspot.com
එකෝඩින්ග් ටු කොලුම්බු පීප්ල් කොළඹ හැදිලා තියෙන්නේ ගම්වලින් ආපු අයගෙන්. එතකොට කොළඹ ම තමයි අපි කියලා පාරම්බාන්න ඉන්න කට්ටිය අඩුයි. ඒ අඩු කට්ටිය කියන කතාවක් තමයි මේ. මෙච්චර කාලයක් ඒ මිනිස්සුන්ගේ ඇඟ උඩ හිටියා වගේ කියනවා උඹලා ගමේ ගියාම හරිම නිදහස් කියලා. ආය නොයෙන්න හිතෙනවා වගේම ඇවිත් පැලපදියම් වෙන්න තරම් මෝටිවේෂන් පාරකුත් ඒ වගේ කතා අහනකොට හිතෙනවා.
6. අපිටම රැස් පෙන්නනවනේ උඹලා

Source – booking.com
දැන් එතකොට ගමකින් ආපු ඔයා ඉන්න ඕනි ඒ ආපු විදියටමයි. පොඩ්ඩක්වත් ජීවිතයේ ඉහළට යන්න නරකයි. ශක්තිමක් ආර්ථික පසුබිමක් හදාගෙන ෂැන්ග්‍රිලා පැත්තේ ගිහින් මාළුපාන් කන්න නරකයි. කොෆී ෂොප් එකකට යන්න නරකයි. කඩ්ඩෙන් කතා කරන්න නරකයි. මේ ඔක්කෝම නොකර හිටියොත් තමයි හොඳ පුතා වෙන්නේ. ගමෙන් ආවා නම් ඒ විදියට ඉඳපන් වගේ එකක් තමයි මේකෙන් ඇඟවෙන්නේ.
7. අපිට වඩා කොළඹ ගැන දන්නවනේ

Source – magnoliabox.com
ගම්වල ඉඳන් ආපු අය මොනා හරි කරලා ඉස්සරහට යන්න තමයි බලන්නේ. කොළඹ හතේ ඉපදිලා කාර්බාර් වලින්ම ඉස්කෝලෙටයි දොට්ට පිලටයි (වොෂ්රූම්) ගිහිල්ලා ගෙදරට වෙලා දෙමව්පියන්ගේ සල්ලිවලින් කකා බිබී ජොලි කර කර ආතක් පාතක් නැතුව ඉන්න අය ගමෙන් ආපු මිනිහාගේ ජයග්‍රහණ දැකලා, ඒ මනුස්සයාගේ දැනමුතුකම් දැකලා මෙහෙම දේවල් කියන අවස්ථා තියනවා. කොළඹ කියන්නේ අපායක් නෙවෙයි වැඩ්ඩෙක්ට ජීවිතේ දිනන්න තියෙන වේදිකාවක් කියලා පෙන්වනකොට, කොළඹයියලාගේ තියරි එක දෙක කැඩෙනකොට මේවා එළියට පනිනවා.
කොහොමින් හරි මේ කතන්දර ගොඩක් කියන්නේ කුරුඳුවත්තේ ඉපදුණා කියලා පෙන්වන ඒත් කළගෙඩිහේනේ, පාදුක්ක පැත්තේ ඉන්න අය. ඇත්තටම කොළඹ ඉපදුණ මිනිස්සු ගමෙන් ආපු ඔබට මට වඩා මිත්‍රශීලියි.
Cover Image Source – blog.vistarooms.com
Leave a Reply