මාතර ගැන ඔබත් මේ කතා අහල තියෙද…? මෙන්න ඇත්ත නැත්ත

Truth About Matara

මාතර කියන්නේ ලංකාවේ සුන්දරම දිස්ත්‍රික්කයක්. එක පැත්තක දෙනියාය පැත්තේ සීතලෙනුත්, අනික් පැත්තෙන් මාතර නගරය කිට්ටුව තියෙන රස්නෙනුත් මාතර තියෙන සොබාදමේ විවිධත්වය මනාව පෙන්නුම් කරනවා. ඒ විතරද? කඳු පන්ති, තැනිතලා, තේ වතු, කුඹුරු, මුහුද, වෙරළ මාතර හැම අතින්ම ලස්සන කරනවා. ඒ සොබාදහමේ සුන්දරත්වය පැත්තකින් තිබ්බම ලංකාවේ මිනිස්සු මාතර ගැන හිතන්නෙ කොහොමද කියලා කල්පනා කලාම පොඩි අමුතු හැඟීමක් අපට එනවා. මාතර කිවුවම මාතර ගැන මාතර මිනිස්සුවත් නොදන්න දේවල් කියන්න ලංකාවේ හැම පළාතකම සමහර අයියලට තියෙන්නෙ පුදුම හැකියාවක්. අපි අද ඔබත් එක්ක බෙදාගන්න යන්නෙ මාතර ගැන ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන විවිධාකාර මත කිහිපයක් සහ ඒවායේ ඇත්ත නැත්ත ගැන තොරතුරු ටිකක්.

 

1. මාතර ගුරුකම් හදි හූනියම්

Truth About Matara

Source – twitter.com

“මාතර ගුරෙක්ලු ඔය. මාතරින් කපුවෙක් ගෙන්නලලු ඕක කලේ. මාතර ගුරෙක් කලොත් ආයෙත් අහන්න දෙයක් නෑ”

මේ වගේ කතා ඔබට අහන්න ලැබිලා ඇති. මේ විසි එක් වෙනි සියවස උනත් මාතර ගුරුකම් කිවුවොත් ඔය විද්‍යා ඔක්කොම පැත්තක තියලා ඒව ඉන්තේරුවෙන්ම හරි කියලා විශ්වාස කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙම හිතන් ඉන්න අයට කියන්න තියෙන්නෙ මාතර ඉන්නෙත් ලංකාවේ අනිත් තැන් වල ඉන්නවා වගේම පිරිසක් විතරයි. සමාජය විසින් මාතර ගුරුකම් නිවැරදිය කියලා මතයක් හදල තියෙන නිසා බොරැල්ල හංදියේ ඉන්න කපු මහත්තය වුණත් බෝඩ් ලෑල්ලෙ ගහන්නෙ “මාතර ප්‍රබල ගුරුකම්” කියලයි. මාතර නෙමෙයි ඉන්දියාවේ හිමාල වනයෙන් ආවා කිවුවත් ඔය බොරු වලට රැවටෙන්න නම් එපා හිතවතුනි.

 

2. මාතර මිනිස්සු සැරලු

Truth About Matara

Source – aguntasolo.co

“මාතර මිනිස්සු ගණන් කාරයෝ” ය කියලා කියනවා අහල තියෙද..? ගණන් කාරයෝ කියන්නෙ මේ එකයි එකයි දෙකයි කියලා ගණන් හැදිල්ල ගැන නෙමෙයි. මාතර මිනිස්සු ඉක්මනින් තරහ ගන්න, තරහ ගත්තම පාලනය කරන්නත් අමාරු හයි කාරයෝ කියලයි ඒකෙන් කියවෙන්නේ. ඇත්තටම ඒක අර්ධ සත්‍යයක් කියලා කිවුවොත් මම හරි. මාතර මිනිස්සු වැරැද්දක් දැක්කම ඉක්මනින් කෝප වෙන පිරිසක්. හැබැයි කෝපය පාලනය කරන්න බෑ, මාතර මිනිස්සු මැරයෝ ය කියන කතා බොරු. හැබැයි මාතර දිස්ත්‍රික්කයේ වෙරළ කිට්ටුව ජීවත් වන සහෝදර ධීවර ජනතාව මාතර ඇතුළේ ජීවත් වන අයට වඩා නම් ටිකක් සැරයි. හැබැයි ඒත් අසාධාරණයක් වෙනව කියල හැඟෙනවනම් තමයි. මේ ඔක්කොම කතා අවසානයේ ඔබට කියන්න තියෙන්නෙ මාතර මිනිස්සු හොඳ හදවතක් තියෙන, ඒත් වැරැද්ද දුටු තැන කිපෙන මිනිසුන් පිරිසක් බවයි.

 

3. මාතර බත් කඩේ

Truth About Matara

Source – gta5-mods.com

මාතර බත් කඩ ලංකාවේ හැම තැනකම තියෙනවා විතරක් නෙමෙයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ පවා විදෙස් රටවල මාතර බත් කඩ දාල තියෙනවා. විහිලුවට කියන්නෙත් හඳට ගියාමත් මාතර බත් කඩයක් තියෙනවය කියලනේ. ඔබත් සමහර විටෙක මාතර බත් කඩේ කියන නමට කඩේකට කන්න ගිය කෙනෙක් වෙන්න ඇති. ඇත්තටම මාතර අය කෑම හදද්දි විශේෂයෙන් කරන දේ තමයි හොඳට තුන පහ මිරිස් කුලුබඩු ආදිය එක් කරන එක. කුලුබඩු වලට ප්‍රකට වෙළඳ නාම බොහොමයක් තියෙන්නෙත් මාතර දිස්ත්‍රික්කයේ තමයි. හැබැයි ඉතින් වැඩේ කියන්නෙ මාතර බත් කඩේ කියලා තියෙන බොහෝ කඩ මාතර කියලා ගෑවිලාවත් නැති අයගේ කඩ වෙන එකයි. ඒවයෙ කෑම වල මොන පහේ දැමිල්ලක්ද..? මාතර බත් කඩ වල බත් කාලා මාතර කෑම මෙහෙමයි කියලනම් නිගමනයකට එන්න ඔබට බෑ කියන එකයි අපි මේ කියන්නෙ.

 

4. මාතර ව්‍යවහාරය

Truth About Matara

Source – lifie graphics

මාතර භාෂා ව්‍යවහාරය ගැන ගොඩක් අය කතා කරනවා. ඒ වගේම ඒකට හිනාවෙන පිරිසුත් දකින්න ලැබෙනවා. මාතර භාෂාවය කියලා මහ වෙනස් කමක් දකින්න නම් නැහැ. ඒත් සමහර වෙලාවට කතා කරද්දි යෙදෙන වචන එක්ක මේ මාතර කෙනෙක් කියලා අඳුනගන්න අමාරු වෙන්නෙ නම් නැහැ. මාතර මිනිස්සු “ඔහේ” කියන වචනේ ඔබ, ඔයා වගේ හෘදයාංගම යෙදුමක් විදිහට භාවිතා කරනවා. ඒ වගේම මාතර සමහර පළාත් වල “මොකක්ද” කියන වචනය වෙනුවට “මක්කෙයි” කියන වචනේ පාවිච්චි කරනවා. “මක්කද..?” කියල අහනවත් ඇහෙනවා. “කෑවද බිවුවද ලිවුවද” වගේ ප්‍රශ්න මාතරදී බොහෝ වෙලාවට ඇහෙන්නෙ “කෑවය..? බිවුවය..? ලිවුවය..?” ආදී විදිහටයි. “පුලුවන්” කියන වචනෙ වෙනුවට “ඇහැකි” කියන වචනෙත් ඇහෙනවා මාතරදී. මේ භාෂා ව්‍යවහාරය දැන් අලුත් පරම්පරා එක්ක නැති වී ගෙන යනවා. ඒ වගේම මාතර හැම පැත්තකම මිනිස්සු ඔහොම කතා කරන්නෙ නෑ. සමහර පැති වල මිනිස්සු විතරක් ඔය විදිහට දේවල් ව්‍යවහාර කරනවා.

 

5. අලුත් වචන

Truth About Matara

Source – exploresrilanka.lk

මාතර ව්‍යවහාර වන වෙනස් වචන කියලා පහුගිය කාලේ ගොඩක් උදවිය වචන සෙට් එකකට හිනා වුණා. එකක් තමයි කූඹින්ට හින්නො කියන එක. හීනි කියන්නෙ පුංචි. පුංචි උං කියන අර්ථයෙන් තමයි ඔය හින්නො කියන වචනය එන්නේ. ඊට පස්සේ බොම්බයි මොටයි වලට සීනි පොල් කොහු කියන එක. ඇත්තටම සීනි පොල් කොහු කියන්නෙ බොම්බයි මොටයි වලට නෙමෙයි. පොල් කොහු හැඩය ගන්න වෙනත් රස කවපු ආහාරෙකට. ඊට පස්සෙ වියන් රෝල් වලට සීනි කුරුල්ලෝ කියන එක. වියන් රෝල් වල හැඩය බලල සමහර පළාත් වල කිඹුල බනිස් කියලත් ඔය ආහාරෙට කියනවා නොවැ. ඉතින් මාතර මිනිස්සුත් ඒ නම ඒ ආහාරෙට තිබ්බේ හැඩය බලලයි. ඔය වගේ ඒ ඒ පළාත් වල විවිධ දේවල් නම් කරන්න භාවිත කරන වචන එකිනෙකට වෙනස් වෙනවා. මොනම ප්‍රදේශයක මොනම ව්‍යවහාරයක්වත් සිනහවට හාස්‍යයට ලක් කරනවා කියන්නේ හොඳ වැඩක් නම් නෙමෙයි නේද..?

 

6. මොරවක මිනිස්සු මෝඩද..?

Truth About Matara

Source – yamu.lkaustralianentertainmenttalentagency.com.au

අර තුම්පනේට කියන මෝඩයන්ගේ කතාව වගේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශය කවුරු හරි මෝඩ වැඩක් කලාම සමහර උදවියට මතක් වෙනවා. “උඹ මොරවක් කෝරළේ ද..?” කියල අහන්නෙ අන්න ඒ වෙලාවට. මේකට මූලිකව හේතු වෙන්නෙ ජනප්‍රවාදයේ එන කතාවක්. ඒ තමයි හඳට ගල් ගහපු මොරවක මිනිස්සුන්ගේ කතාව. මේ කතාව මොරවකට වගේම තව ගොඩක් තැන් වලට ආදේශ කරල කිවුවත් වඩා ප්‍රකට මොරවක මිනිස්සු මේක කලා කියල තමයි. ඇත්තටම මොරවක් කෝරළේ මිනිස්සු මෝඩ ද..? වර්තමානයේ මොරවක කියන්නෙ තේ ආර්ථිකයෙන් යැපෙන ප්‍රදේශයක්. මහා තේ වතු වගේම, කුඩා තේ වතුත් මොරවක එමට තියෙනවා. අධ්‍යාපනය අතිනුත් මොරවක ඉන්නෙ ඉහළ තැනකයි. ඒ හන්දා මොරවක ඉස්සර හිටපු මිනිස්සු මෝඩ උනත් දැන් ඉන්න මිනිස්සුනම් මෝඩ නැහැ පුතේ.

මාතර ගැන ඔබ තවත් කතා අහල තියෙනවනම් ඒව පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබත් නිවාඩුවක් ලැබුණු වෙලාවට මාතර පොඩි සංචාරයක යෙදිල ලස්සන පරිසරය විඳින්නත්, මාතර මිනිස්සුන්ගෙ හෘදයාංගම බව අත් විඳින්නත් වෙලාවක් වෙන් කරගන්න.

 
Cover Image Source – wikiwand.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *