අපි හැමදාමත් කොල්ලන්ට උපදෙස් දෙනවනේ, කෙල්ලෙක්ව ඩේට් අවුට් එකකට එලියට එක්කගෙන යන්න කලින් මෙහෙම ලැහැස්ති වෙයං, ගියාට පස්සේ මෙහෙම හැසිරියං, දත් පෙන්නලා හිනා නොවෙං, අනං මනං කියලා. හැබැයි ඉතින් ගෑණු ළමයෙක් වුනත් ඩේට් අවුට් එකකට යන්න කලින් දැනගෙන ඉන්න ඕන දේවල් තියෙනවා. ආන්න ඒ දේවල් දැන කියාගෙන කොල්ලෙක් එක්ක එලියට යන එක හිතටත් හොඳයි, ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකටත් හොඳයි, කොල්ලටත් හොඳයි.
1. කසාද බඳින්න නෙවෙයි නංගි යන්නේ!
මෙන්න මේ කාරණාව සිහි තබාගන්න එක දෙපැත්තටම හොඳයි. පළමුවෙනි ඩේට් අවුට් එක කියන්නේ දෙන්නෙක් සාමාන්‍යයෙන් දැන හැඳිනගෙන, ඒ දෙන්නම දෙන්නට දෙන්නා ගැන කැමැත්තකින් ඉන්නවා කියන කාරණාව හෙළිදරවු වුනාට පස්සේ, දෙන්නට ආදර සම්බන්ධයකට යන්න හැකියාවක් තියෙනවාද කියලා දැනගන්න ක්‍රියාවලියේ පළමුවෙනි පියවර. දැන් තේරුනා නේද? ඩේට් අවුට් එකකට යනවා කියන්නේ රෙජිස්ට්‍රාර් හම්බුවෙන්න යනවා කියන එක නෙවෙයි. ඩේට් අවුට් එකට ගියාට පස්සේ අර උඩ කිවුව අනිකා ගැන තියන කැමැත්ත, ලව් එකකට යන්න පුලුවන්ද කියලා ට්‍රයි එකක් දීලා බලන්න තියෙන කැමැත්ත නැතිවෙන්නත් පුලුවන්. අනික් එකා අපි ගැන තියෙන කැමැත්ත නැතිවෙන්නත් පුලුවන්. ආන්න ඒ නිසා විවෘත මනසකින් යුතුව තමයි පළමු එකිනෙකාව හැඳිනගැනීමේ හමුවට යන්න ඕන.
එහෙම නැතුව පළවෙනි ඩේට් අවුට් එකට ගිහින්, කොල්ලා එතනින් එහාට තමන්ව මුණගැහෙන්න කැමැත්තක් දක්වන්නේ නැති නම් ‘එයා මගේ ජීවිතේම විනාස කලා’ කියලා නඩු දාන්න යන එක තේරුමක් නෑ.
2. හොඳට ඇඳලා යන්න ඕන!
අනිවාර්යයෙන් හොඳට ඇඳලා යන්න ඕන තමයි. කොල්ලත් එක්ක එලියටනේ යන්නේ. හැබැයි මගුල් ගෙදරට අඳින විදියේ සාරියක් ඇඳලා යන්න නෙවෙයි මේ කියන්නේ. ගොඩක් වෙලාවට ගැහැණු ළමයින්ට මතුවෙන ප්‍රශ්නයක්නේ ඇඳුම් කියන්නේ. ආන්න ඒ නිසා මුලින් දැනගන්න කොහේටද යන්නේ කියලා. ඒක ‘සර්ප්‍රයිස් එකක්’ කියලා කිවුවොත් අහලා බලන්න සර්ප්‍රයිස් වුනාට කමක් නෑ, මොන වගේ තැනකටද යන්නේ කියලා. දැන් තැන දැනගත්තට පස්සේ අඳින්නේ මොනවද කියලා තීරණය කරගන්න පුලුවන්.
ඇත්තටම ෆර්ස්ට් ඩේට් එකේදී දෙන්නට දෙන්නා, තමන් ගැන අනිකා තුළ හොඳ හැඟීමක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවනේ. අන්න ඒ නිසා තමන්ට උචිත හොඳම විදියට සැරසෙන එක හොඳයි. හැබැයි ඒ ගැන අපිට උපදෙස් දෙන්න බෑ. ඒක තම තමන් තීරණය කරන්න ඕන කාරණා.
3. අතේ සල්ලි තියාගන්න!
මොකද්ද ඒ කුණුහරුපේ? මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ඩේට් අවුට් එකකට කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑම කෑවට පස්සේ බිල ගෙවන්නේ කවුද? ඔව්, ගොඩක් වෙලාවට කොල්ලා තමයි. මොකද ඒක තමයි හරිම ජෙන්ටා ක්‍රමය. මේ ජෙන්ට්ල්මන්’ස් කෝඩ් එකේ තියෙනවා ජෙන්ටා කොල්ලෙක් තමන් බිල ගෙවනවාය කියලා. හැබැයි දැන් මේ ඩේට් අවුට් එකට ආපු උන්දෑ ජෙන්ටා කොල්ලෙක් නෙවෙයි නං? එහෙම නැතිනම් එයා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය විස්වාස කරන ඩයල් එකක් නං? අන්න එතකොට සමහර විට බිල බෙදාගන්න සිද්ධ වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් කොල්ලා රටේ පොලුකාරයෙක් නං සම්පූර්ණ බිල තමන්ට ගෙවන්න වෙන්න පුලුවන්. අන්න ඒ වගේ අවස්ථාවකට කරුණාකරලා සූදානම් ශරීරෙන් යන්න. මොකද අපි දන්නෙ නෑ කොල්ලා කොහොම එකෙක්ද කියලා. ජෙන්ටෙක් නෙවෙයි නං ඌව පළවෙනි ඩේට් අවුට් එකෙන්ම කපලා දාන්න පුලුවන් කෙල්ලෙක්ට. හැබැයි ඒකටත් ඉතින් කාලා බිල ගෙවලා ඉන්න එපායැ. අන්න ඒ නිසා අතේ සතේ නැතුව ඩේට් අවුට් එකකට යන්න සූදානම් වෙන්න එපා.
අනික් කාරණාව, කොල්ලා හරි ජෙන්ට්ල්මන් කෙනෙක් විදියට කෙල්ලව ගෙදරින් හරි වෙන තැනකින් හරි අරගෙන ප්‍රවාහන පහසුකම් සපයන්න, ආයෙමත් ඩේට් අවුට් එකෙන් පස්සේ ගෙදරට ගෙනැත් දාන්න පුලුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්. ආන්න ඒ නිසා තමන්ගේ ප්‍රවාහන කටයුතු සලසා ගන්න එක වැදගත්. වුවමනා වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒත් සූදානම් සරීරේ ඉතා හොඳයි.
4. කංකෙඳිරිගාන්නියක් වෙන්න එපා!
මේකත් අන්දබූත කතාවක් වගේද? හරි, පැහැදිලි කරගමු. සමහර ගෑණු ළමයි හරියට ඉන්නේ ස්වර්ගයේ ජේඩ් අධිරාජයා තමන්ගේ අප්පච්චි වගේ. ගෙදර තමන්ගේ අතට පයට දැසිදසුන් ඉන්නවා වගේ. මේ ජාතියේ තමන් ලෝකේ මැද කියලා හිතාගෙන ඉන්න ගෑණු ළමයින්ට කොහොම මොනදේ කළත් හොඳ නෑ. සුපිරිම රෙස්ටුරන්ට් එකකට එක්ක ගෙන ගියත් එතන ඇදයක් හොයා ගනී. කෑම එක ලෝකේ හොඳම චෙෆ් කෙනෙක් අතින් හැදිලා ආවත් කෑමේ වැරැද්දක් හොයා ගනී. ආන්න ඒ වගේ කෙනෙක් වෙන්න එපා කියලයි අපි කියන්නේ. ඕනෑ දේටයි එපා දේටයි මැසිවිලි නගන්න, කංකෙඳිරි ගාන්න, පැමිණිලි කරන්න, වැරදි හොයන්න යන්න එපා. ඩ්‍රාමා ක්වීන් කෙනෙක් වගේ හැසිරෙන්න යන්න එපා. සමහර වෙලාවට ඩේට් අවුට් එක තමන්ට අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්. “ආයෙමත් මේ පිස්සු ගෝතයා එක්ක එලියට යන්නෙ නං නෑ නෑමයි” කියලා හිතේ තියෙන්න පුලුවන්. හැබැයි ඒක ඒ වෙලාවේ එලියට දාන්න යන්න එපා. හැකි පමණින් ඒ අවස්ථාවට අනුව හැසිරෙන්න. පුලුවන් තරම් මේ වෙලාව එන්ජෝයි කරන්න.
5. ඒත් තමන්ගේ තත්ත්වය තියාගන්න
අනිවාර්යයෙන්ම තමන්ගේ තත්ත්වය තියාගන්න ඕන. ඒ කියන්නේ තමන් ඉරෙන් බැහැපු කුමාරිකාව වගේ ඉන්න කියන එක නෙවෙයි. හැබැයි අපි කියමු ඩේට් අවුට් එකට කියලා යන්න ලැහැස්ති වෙන්නේ ගල්කිස්සේ මූදුවෙරළේ, ගල්පරයක් අස්සේ තැනකට කියලා. අන්න එතකොට ඩේට් අවුට් පැත්තක තියලා සුද්ධ සිංහලෙන් දෙකක් කියලා ගෙදර යන්න පුලුවන් වෙන්න ඕන. (හරි, ගල් අස්සේ ඩේට් අවුට් එකකට කැමති නම් අපිට අවුලක් නෑ, අපි කියන්නේ පළවෙනි හමුවීමෙන්ම එහෙම එකකට අකැමැති කෙනෙකුට). තමන්ව එක්කගෙන යන්නේ හරියට ඉඳගන්නවත් තැනක් නැති, පුද්ගලිකව තමන් කිසිම කැමැත්තක් නැති, කිසිම පිරිසිදුකමක් නැති පොඩි කෝපි කඩේකට හරි සයිවර් කඩේකට හරි නම්, එතනට යන එකෙන් තමන්ගේ මූඩ් එක යකාට යෑම මිසක් වෙනත් කිසිම හොඳක් සිද්ධ වෙන්නෙ නැතිනම්, ඒක කෙලින්ම කියන්න වුවමනායි. මොකද ඩේට් අවුට් එකක් කියන්නේ තමන් හිත සතුටින් මොහොතක් ගත කරන්න යන අවස්ථාවක්නේ.
ඊට අමතරව මේ තත්ත්වය කියන එක වෙනත් හැමදේකටමත් බලපානවා. උදාහරණයක් විදියට, ඩේට් අවුට් එකට ඇවිත් කොල්ලා තමන්ගේ තත්ත්වය පහත වැටෙන විදියට හැසිරෙනවා නම්, තමන්ට ඒ විදියට සලකනවා නම් වහාම එතැනින් නැගිටලා එන්න තමන්ට හැකියාව තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක්.
6. ඩේට් අවුට් එකට ගිහින් මොකෝ කරන්නේ?
අන්න හොඳ ප්‍රශ්නයක්. බඩගින්නේ ඉන්න එපා. බඩ පිරෙන්න කන්න. හැබැයි ඩේට් අවුට් එකක් කියන්නේ කන්නම යන සීන් එකක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න. මේ තමන්ට ආදර සම්බන්ධතාවයක් දක්වා කෙනෙක් එක්ක යන්න පුලුවන්ද කියලා බලන්න යන ට්‍රයල් එකක්. එතකොට එතනදී එකිනෙකා ගැන දැනගන්න වුවමනා දේවල් දැනගන්නයි ඩේට් අවුට් කියන සංකල්පයම තියෙන්නේ. අන්න ඒ නිසා දෙන්නත් එක්ක සුහදව කතාබහ කරන්න. දෙන්නට දෙන්නාව නිරීක්ෂණය කරන්න. ස්වභාවිකවම කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවෙන්න ඉඩ තියන්න. දෙන්නත් එක්ක ට්‍රයල් එක දිගටම ගෙනිහින් එක්සෑම් එකට යනවද, නැතිනම් ට්‍රයල් එකෙන් වැඩේ අතාරිනවාද කියලා තීරණය කරන්න පළවෙනි ඩේට් අවුට් එක ඉතාම වැදගත්.
අනික ඩේට් අවුට් එකට ගිහින් තොරතෝංචියක් නැතුව තමන්ගේ කලින් කොල්ලා දාලා ගියපු හැටියි, ඌ හොඳම යාලුවත් එක්ක ගෝල්ෆේස් එකේ ඉන්නකොට අතටම අහුවුණු හැටියි කියන්න යන්න එපා. ඩේට් අවුට් එකට ආපු කොල්ලට වඩා කලින් කොල්ලා කොච්චර හොඳද නැතිනම් ඌට වඩා මූ කොච්චර හොඳද වගේ කතන්දරත් කියන්න යන්න එපා. ඊට වඩා දෙන්නට කතාබහ කරන්න තමන්ගේ දේවල් තියෙනවනේ. ඒ වගේම තමයි, කතාකිරීම වගේම ඇහුම්කන් දීමත් ඉතා වැදගත්.
අනික් කාරණය. ඩේට් අවුට් එක ඉවරවෙලා මොකද්ද වෙන්න ඕන කියන එක පැහැදිලිවම තීරණය කරන්න. පළමුවෙනි ඩේට් අවුට් එකෙන්ම ඇඳට යන්න දෙන්නටම වුවමනා නම් ඒක අන්‍යාන්‍ය කැමැත්තට සිද්ධ වුනාට අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි බබා වෙන්න යන්න එපා. ඒ කියන්නේ, කොල්ලා කිවුවොත් අපි තව නිදහසේ කතාබහ කර කර ඉන්න හොටෙල් රූම් එකකට යමු කියලා, හා යං අය්යේ කියල ඇවිත් පස්සේ ‘අතෑරපිය වනචරයා’ කියන්න හදන්න එපා. තමන්ට හරි කියලා නොදැනෙන ඕනෑම ආරාධනාවක්, ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්න.
අපි මුලිනුත් කිවුව කතාව මතක තියාගන්න. මේ ආවේ කසාද බඳින්න නෙවෙයි. තවමත් මේ ඉන්නේ ආගන්තුකයෙක්!
7. ඉතින් ඊට පස්සේ?
ඔව්, ඩේට් අවුට් එක අවසාන වුනාට පස්සේ කරන්නේ මොනවද කියන එක පැහැදිලිව තීරණය කරන්න කියලා අපි කලිනුත් කිවුවනේ. ඒක කොහොම අවසාන වුනත්, ඩේට් නයිට් එක භූමිකම්පාවකින් අවසාන වුනේ නැතිනම්, පැහැදිලිවම කොල්ලාට ස්තුති කරන්න. තමන් හොඳ කාලයක් ගත කරපු බවත්, ඒක ගැන සතුටු වෙන බවත් කියන්න.
පළවෙනි ඩේට් අවුට් එක අවසන් කරලා ආවට පස්සේ දෙවෙනි ඩේට් අවුට් එකටත් යනවද? ආන්න ඒක දෙන්නම තීරණය කරන්න ඕන දෙයක්. ගොඩක් වෙලාවට කොල්ලනේ ඉස්සර වෙන්නේ. ඉතින් කොල්ලා ඇහුවොත් ‘කවදාද ආයෙ එන්නේ’ කියලා, තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත පැහැදිලිවම ප්‍රකාශ කරන්න. හොඳට මතක තියාගන්න, තමන්ට මේ කොල්ලත් එක්ක ආයෙමත් දවසක් මුණගැහෙන්න කැමැත්තක් නැතිනම්, ෆෝන් එක ආන්සර් නොකර ඉන්න හරි මග අරින්න හරි තියාගන්න එපා. මේක සිද්ධ වෙන්නේ නැති බව ආචාරශීලීව කියන්න. ඕන නම් කියන්න පුලුවන් ‘තමන් සෑහෙන්න කාර්යබහුල වෙන නිසා ඉදිරියට බලමු’ කියලා. එතකොට කොල්ලා තේරුම් ගනීවි ඒ කිව්වේ ‘ආයෙමත් උඹයි මායි ඩේට් අවුට් නෑ’ කියලා තමයි කෙල්ල කිවුවේ කියන එක.
අනෙක් අතට කොල්ලා තමන්ට පස්සේ කෝල් එකක්වත් දීලා බලන්න උනන්දුවක් නැතිනම්, තමන් කතා කලා කියලා තත්ත්වය පහත වැටෙන්නේ නැහැ. හැබැයි ඒත් කොල්ලා උනන්දුවක් පෙන්නන්නෙ නැතිනම්, ඒ කියන්නේ වැඩේ හරියන්නෙ නැහැයි කියන එක. ආන්න එතකොට තවත් ඒ කොල්ලා වෙනුවෙන් තමන්ගේ කාලය මිඩංගු කරන්න එපා. වෙන අතක් බලාගමු!
Cover Image Source – eharmony.com
Leave a Reply