එමිල් සවුන්ද්‍රනායගම් – ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා

emil saundra

ගේම් කාරයා කියන වචනය වඩාත් ජනප්‍රියත්වයක් ලබන්නේ මෑතකදි අවසන් වෙච්ච කූඹියෝ ටෙලිය හින්දයි. ගේම් කාරයො කියල කිවුවම ඉතින් ලංකාවෙ වැඩි දෙනෙක්ට මතක් වෙන්නෙ අපේ දේශපාලක සෙට් එක තමයි. හැබැයි අපි මේ කියන්න යන්නේ ඊටත් වඩා ඉහළින්, ජාත්‍යන්තර වශයෙන් ගේම් ගහපු ලංකාවෙන් බිහිවුණ ප්‍රබලම Con Artist කෙනෙක් ගැනයි. මේ නම නම් අද කාලෙ බොහෝ දෙනෙක් අහලවත් නැතිව ඇති. අපි මේ කියන පුද්ගලයාගෙ කූට මොළයෙන් ගහපු ගේම් හින්දා සමහර රටවල් වලට පවා ආර්ථික පසුබෑම් ඇතිවෙලා තියනවා. ඒ විතරක්ද? මහා බ්‍රිතාන්‍යයේ මිනිස්සු හාර ලක්ෂයකගෙ කණින් රිංගලා, ඒ අයගෙ මුදල් වංචා කරලා සැපවත් ජීවිතයක් ගෙවන්න මෙයා සමත් වෙලා තියනවා. ලෝකයේ ප්‍රබලම දේශපාලකයින්ව විතරක් නෙමෙයි, ඒ කාලෙ හිටපු පාප් වහන්සේව පවා තමන්ගෙ සාක්කුවෙ දාගෙන හිටියා කියල කියන, ලංකාවෙන් බිහිවුණ ලොකුම ගේම්කාරයා එමිල් සවුන්ද්‍රනායගම් ගැනයි මේ ලිපිය.

 

1. ලංකාවෙ ජීවිතය

emil saundra

Source – gettyimages.in

මයිකල් මැරියන් එමිල් ඇනක්ලිටස් පියරේ සවුන්ද්‍රනායගම් උපත ලබන්නෙ 1923 වසරේදියි. ධනවත් කතෝලික දමිළ පවුලකට අයත් එමිල්ගේ පියා සහ මව නීතීඥ දෙපළක්. එමිලුත් නීති විද්‍යාලයට ඇතුළත් වුණත්, ඔහු එහි අධ්‍යාපනය හමාර කරන්නේ නැහැ. ඒ වෙනුවට කළු කඩ වෙළඳාම වගේ ලෙහෙසියෙන් මුදල් හෙවීමේ ක්‍රම වලට තමයි ඔහු කැමැත්තක් දක්වන්නේ. තරුණ අවදියට එළඹෙන එමිල් යාපනයේ ධනවත් පවුලක තරුණියක් සමග විවාහ වෙනවා. පසු කාලෙකදි මේ අය යුරෝපයට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ තමයි එමිල්ගේ කූට මොළෙන් ගහන මහා පරිමාණ ගේම් එකින් එකට සැලසුම් ඇඳෙන්නෙ.

 

2. එමිල් චීනුන්ට තෙල් විකුණූ හැටි

emil saundra

Source – gcaptain.com

1950 ගණන් විතර වෙද්දි චීනයේ තෙල් සැපයුම සෑහෙන අඩාලවයි පවතින්නේ. ඒ වෙද්දි පැවතුණ කොරියානු යුද්ධය තමයි මේකට හේතු වෙන්නෙ. තමන්ගේ ශූර බුද්ධිය පාවිච්චි කරන එමිල් සවුන්ද්‍රනායගම් මෙතනදී හිතනවා චීනුන්ට වැඩක් දෙන්න. ඔහු කරන්නේ යුරෝපයේ සිට චීනයට තෙල් සපයන්න තමන්ට පුළුවන්ය කියලා චීනුන්ට කියන එක. ඩොලර් මිලියන දොළහකට මේ වැඩේ කරන්න එමිල් පොරොන්දු වෙනවා. තෙල් නැව චීනයට පිටත් වුණාට පස්සෙ මුදල් ලැබෙන ආකාරයට ස්විස් බැංකුවක මේ මිලියන ගණනක මුදල තැම්පත් වෙනවා. කෙටි කාලයකට පස්සෙ ස්විස් බැංකුවට මේ තෙල් නැව පිටත් වූ බවට අදාළ ලිපි ලේඛන ලැබෙනවා. ඒ අනුව බැංකුව විසින් එමිල්ට මුළු මුදලම ලබා දෙනවා. නමුත් එනවාය කියූ තෙල් නැව නම් එන්නේ නැහැ. අන්තිමේදි මේ සම්බන්ධ ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවටත්, එමිල් සවුන්ද්‍රනායගම් තමන්ගෙ කණින් රිංගූ බවටත් චීන රජයට සහ ස්විස් බැංකුවට ඒත්තු යනවා.

 

3. ගෝවේ හාල් වංචාව

emil saundra

Source – kashmirobserver.net

චීන තෙල් වංචාවෙන් පස්සේ වැඩි කාලයක් නොගිහින්ම එමිල් තමන්ගේ ඊළඟ ලොකු ගේම ගහනවා. ඒ පාර ඔහු භාරගන්නේ පෘතුගාලයේ සිට ඉන්දියාවේ ගෝවේ වෙතට සහල් ටොන් විශාල ගණනක් ප්‍රවාහනය කරන්නයි. මේ වැඩේදිත් එමිල් කරන්නේ කළින් චීනුන්ට කළ දේමයි. භාණ්ඩ නිකුත් කල පසු ගෙවන පොරොන්දුව පිට බෙල්ජියමේ බැංකුවක තැන්පත් කරපු මුදල් එමිල් ව්‍යාජ ලිපි ලේඛන හදලා ඩැහැගන්නවා. හැබැයි පළමු අවස්ථාවේදි වගේ එමිල්ට මේ පාර ලේසි වෙන්නෙ නැහැ. එමිල්ව කොටු කරගන්න බෙල්ජියම් පොලීසිය ඔහුව අවුරුදු පහකට හිරේට දානවා. ඒ වුනත් ඒ අයට එමිල්ව වැඩි කාලයක් කොටු කරගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනකොට ඔහු ඇති කරගෙන හිටපු ඉහළ පෙළේ සම්බන්ධතා වල උදවුවෙන් ඉතා කෙටි කාලයකින් එමිල් නිදහස ලබනවා.

 

4. ඝානාවේ පතල් කෙරුවාව

emil saundra

Source – ghanalive.tv

එමිල් විසින් සිදු කරපු තවත් මහා පරිමාණ වංචාවක් තමයි ඝානාවේ ඛණිජ පතල් කොල්ලකෑම. ඝානාවේ ඉහළ පෙළේ රජයේ නිලධාරීන් ඉදිරියේ එමිල් පෙනී හිටින්නේ ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපාරවල අයිතිකරුවෙක් හැටියටයි. ව්‍යාජ ලිපි ලේඛන සකසලා, ඝානා රජයේ ඇස් ඩොලර් වලින් අන්ධ කරලා ඒ රටේ ඛණිජ නිධි කැනීමේ අයිතිය තමන් යටතට ගන්නට එමිල් සමත්වෙනවා. අවසානයේදී එමිල්ගේ ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරවල සැබෑ ස්වරූපය ඝානාවේ ඉහළ පුටු වලට හෙළි වෙද්දි එමිල් මේ ඛණිජ කොල්ලකෑමෙන් විශාල ධනස්කන්ධයක් උපයලත් හමාරයි. එමිල්ට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන්නට ඝානා රජයට නොහැකි වෙන්නේ අදාළ පරීක්ෂණ සිදු කිරීමෙන් තමන්ගේ ප්‍රතිරූපයටත් දැඩි කැළලක් සිදුවන නිසයි. අවසානයේදී එමිල්ව එරටින් පිටුවහල් කරනු ලබනවා.

 

5. කෝපි වලට කොස්ටරීකාවත් අන්දයි

emil saundra

Source – cafeimports.com

තමන්ගේ කෝපි වලට ප්‍රමාණවත් ගැණුම්කරුවො නැතිව කොස්ටරීකා රජය කනස්සල්ලෙන් ඉන්දැද්දි එමිල් මේක තමන්ගෙ වාසියට හරවගන්නවා. ඔහු කැමැත්ත පළ කරනවා විශාල ප්‍රමාණ වලින් කොස්ටරීකා කෝපි මිලදීගන්න. කලින් වතාවල වගේ නැතුව මේ අවස්ථාවෙදි එමිල් ඔවුන්ගෙන් කෝපි යම් ප්‍රමාණයක් මුළු මුදලම ගෙවලා මිලට ගන්නවා. මේ මිලදී ගැනීම නිසා එමිල් කෙරෙහි විශ්වාසය තහවුරු කරගන්නා කොස්ටරීකාව ඊළඟ පාර ටොන් විශාල ගණනක කෝපි ප්‍රමාණයක් එමිල්ට යවනවා. ඒවාට මුදල් හම්බුනාද නැද්ද කියලා අයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

 

6. ලොකුම ගේම – ෆයර් ඔටෝ ඇන්ඩ් මැරීන් වංචාව

emil saundra

Source – youtube.com

1960 ගණන් වෙද්දි එංගලන්තයේ වාහන රක්ෂණ සමාගම් වලට ඇති නීති ඉතාම ලිහිල් කියල එමිල්ට තේරුම් යනවා. මේ ආයතන නිසියාකාර අධීක්ෂණයකට ලක්කෙරෙන්නෙත් නැති බව ඔහු දැනගන්නවා. මේ හරහා වංචාවකට අර අදින එමිල් කරන්නේ ෆයර් ඔටෝ සහ මැරීන් (Fire, Auto and Marine) නමින් රථවාහන රක්ෂණ සමාගමක් පටන්ගන්න එක. ඒ කාලෙ හැටියට ඉතාම දියුණු පරිගණක තාක්ෂණයක් භාවිතා කරමින්, ඉතාම ඉක්මනින්ම රක්ෂණ ආවරණ ලබා දෙන්න එමිල්ගේ ආයතනය ක්‍රියා කරනවා. අනිත් රක්ෂණ සමාගම් වලට සාපේක්ෂව එමිල්ගේ සමාගමේ රක්ෂණ වාරික මුදලත් ඉතාම අඩු හින්දා ඉතා ඉක්මනින් වැඩි පිරිසක් මේ ආයතනය යටතේ රක්ෂණය වෙනවා. ගණන් වශයෙන් කිවුවොත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 4ක් විතර මේ සමාගමේ රක්ෂණ ආවරණ ගන්නවා. හැබැයි මේ අයට තමන් වැටිච්ච උගුල තේරෙන්න ගන්නේ කාලයක් ගිහින් රක්ෂණ වන්දි ගන්න ගියහමයි. මේ ආයතනය විසින් අනතුරට ලක්වූවන්ට රක්ෂණ වන්දි ගෙවන එක මග හරිනවා. ක්‍රම ක්‍රමයෙන් ෆයර් ඔටෝ සහ මැරීන් සමාගමට ජනතා විරෝධය එල්ල වෙද්දි එමිල් කරන්නේ ඒ සමාගම විකුණලා දාල ඇඟ බේරගන්න හදන එක. එමිල් සමාගම විකුණලා වැඩි දවසක් යන්න කලින් සමාගම කඩාගෙන වැටෙනවා. ලක්ෂ 4ක සේවාදායකයන් අමාරුවේ වැටෙනවා.

තමන් කරපු වංචාව ගැන එමිල් කිසි දවසකවත් වැරැද්දක් පිළි ගන්නේ නැහැ. ලක්ෂ 4ක පිරිසගේ මුදල් නාස්ති කරමින් සුර සැප වින්දත් එමිල් ඒ ගැන කිසිම පසුතැවීමක් දක්වන්නෙත් නැහැ. කෙසේ නමුත් අවසානයේදී එමිල්ට මේ සඳහා වසර 8ක සිර දඬුවමක් නියම වෙනවා. වසර 6කින් පමණ පසු නිදහස ලබන්නත් ඔහු සමත්වෙනවා.

 

7. අවසාන තුරුම්පුව – යාපනේ රැජිණිය

emil saundra

Source – thingstodoinsrilanka.lk

එමිල්ගේ වංචාකාරී ජීවිතයේ දාපු ලොකුම සෙල්ලම රක්ෂණ සමාගම් වංචාව උනත්, ඒ වංචාවට දඬුවම් ලබල නිදහස ලැබුවාට පස්සෙත් මතක හිටින වැඩක් කරන්න එමිල් අර අදිනවා. තමන්ගේ බිරිඳට හිමි යාපනේ ඉඩම් අමෙරිකානු රජයට විකුණන්න එමිල් උත්සාහ දරනවා. හැබැයි මේ මිලදී ගැනීම සම්පූර්ණ කරන්න එක් කොන්දේසියකුත් ඔහු ඇමරිකාවට පණවනව. ඒ තමයි ඇයව උතුරු පළාතේ මහ රැජිණ හැටියට නම් කල යුතුයි කියන එක. කොහොම වෙතත් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නට කළින් හෘදයාබාධයක් වැළඳිලා 1976 දෙසැම්බර් මාසෙදි එමිල් අභාවප්‍රාප්ත වෙනවා.

 

පසු වදන –

එමිල් සවුන්ද්‍රනායගම් කියන නම මේ වෙද්දි බොහෝ දෙනෙකුට මතක නැති වුනාට, මීට දශක කිහිපයකට කලින් ලංකාව විතරක් නෙමෙයි, මුලු ලෝකෙම අවධානයට ලක්වුණු නමක් වී තිබුණා. ඕනෑම කෙනෙකුව වංචාවකට හසු කරගන්න පුළුවන් තරම් දැවැන්ත ආකර්ශනීය පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක් හැටියටයි එමිල් සවුන්ද්‍රනායගම් ගැන ඔහුව සැබැවින් ඇසුරු කළ අය කියන්නේ. රෝල්ස් රොයිස් ආදී මිලාධික රථ වාහන පදවමින්, අධී වේගී මෝටර් බෝට්ටු එකතු කරමින්, සුරූපී නිරූපිකාවන්ගේ පහස ලබමින්, මිලියනපතියන්ට වෙන්වූ ලන්ඩනයේ පෙදෙසක දැවැන්ත මාලිගාවක වෙසෙමින් දිව්‍ය සැප ලබන්නට ඔහුගේ ජීවිත කාලය ඇතුළතදී එමිල් සමත් වෙනවා.

එංගලන්තක්කාරයො නීතියේ හිලක් දැක්ක ගමන් ඒක හරහා මිනි මයිනර් එකකින් යනවා… මම යන්නෙ රෝල්ස් රොයිස් එකක් එළවගෙනයි…

තමන්ගේ වංචාකාරී ජීවිතය ගැන එක්තරා ආඩම්බරකාරී ස්වභාවයකින් එමිල් සවුන්ද්‍රනායගම් පසුවුණාය කියන එක ඔහුගේ ඉහත ප්‍රකාශයෙන්ම තහවුරු වෙනවා. එමිල් චීන තෙල් වංචාව මගින් ඉපයූ මුදලින් කොටසක් වියදම් කර තැනූ කන්‍යාරාමයක් නුවර පළාතේ තියන වගටත් ආරංචි තිබෙනවා. ජීවිත කාලය පුරා වධදුන් දියවැඩියා තත්ත්වයකිනුත්, හෘදයාබාධ වලිනුත් පීඩා වින්ද එමිල් ජීවිතයේ අවසාන කාලය වන විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටියේ යැයිද පැවසෙනවා.

Cover Image Source – gettyimages.com

One response to “එමිල් සවුන්ද්‍රනායගම් – ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා”

  1. […] අපි ලියපු ලිපිය තවමත් කියවලා නැතිනම් මෙතැනින් එ්ක කියවන්න. ඒ වගේම පාපන්දු ලෝකේ ලොකුම වංචාකාරයා […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *