මිනිසුන් 300ක් පමණ වෙසෙන ට්‍රිස්ටන් ඩ කුන්හා දූව එක්සත් රාජධානියට (UK) අයත් දූපතකි. එය ලොව ළඟාවීමට අපහසුම මනුෂ්‍ය ජනාවාසය ලෙස සැලකේ. දකුණු අප්‍රිකාවේ සිට ට්රිස්ටන් ඩ කුන්හාවට පිවිසීමට දින 7ක් පමණ බෝට්ටුවේ යා යුතුය. දකුණු අප්‍රිකාවේ සිට කිලෝමීටර 2400ක දුරින් මෙම දූපත පිහිටා තිබේ. දූපතට ආසන්නතම ගොඩබිම දකුණු අප්‍රිකාව වන අතර දූපත් ජනයාගේ සියළුම බඩු බාහිරාදිය සැපයෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවේ සිට එන නාවුක යාත්‍රා මගිනි. ට්‍රිස්ටන් ඩ කුන්හා අයිති එක්සත් රාජධානි ප්‍රධාන ගොඩබිමට එහි සිට කිලෝමීටර 8600ක් දුර තිබේ.
1.ක්වීන් මේරි ගිනිකන්ද
මෙම දූපත ගිනිකන්දක් මගින් සෑදුනු දිවයිනකි. ක්වීන් මේරි නැමැති ඒ ගිනිකන්ද පිහිටි ප්‍රධාන දූපත එහි වෙසෙන ජනයාගේ මූලික වාසස්ථානය වේ. කිලෝමීටර 13ක් පළලැති ප්‍රධාන දූපතේ වපසරිය වර්ග කිලෝමීටර 98කි. එක් ප්‍රධාන මාර්ගයක් දෙකක් තිබෙන නමුදු ඒවායේ නිතර දකින වාහන නැත. ට්‍රැක්ටරයක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කුඩා බස්රියක් එහි ධාවනය වේ.
2. දූපතේ ඉතිහාසය
මෙහි ජනයා යනු ඉතා ඈත අතීතයේ සිට පැවත එන අන්දමන් නිකොබාර් දූපත් වල මෙන් ආදි වාසීන් නොවේ. ඔවුහු 15 වන සියවසත් 19 වන සියවසත් අතර දූපතට පැමිණ වරින් වර පදිංචි වූ අය වේ. මෙහි වෙසෙන පවුල් 70ක පමණ පිරිස සමගියෙන් ගොවිතැන් බත් කරගෙන ජීවිකාව ගෙනයති. දූපත ඇතුළත සාමකාමීය. සියළුම ජනයාට නිවාස ඇති හෙයින් නව නිවාස ඉදිකරගැනීම මෙහි අයට ලොකු ගැටළුවක් නොවේ. එසේම හැඩට වැඩට යන්නට මෝස්තර දැමීම්, යාන වාහන ගැනීම් ඒ ජනයාට උවමනා නැත. අන්තර්ජාල සම්බන්ධතා ඉතාම සීමිත හෙයින් දූපත තුළ දී ස්මාට්ෆෝනය යනු තවත් එක් ලෑලි කැබැල්ලක් වැනි උපකරණයක් පමණි.
3. දූපත් වැසියන්ගේ ජීවිතය
ඔවුහු වගා කරති. අර්තාපල් වගාව දූපතේ සරුවට කෙරෙන වගාවකි. ගිනිකන්ද මගින් පෙරළුනු සාරවත් පසේ බහින විශාල අර්තාපල් වසර පුරාම ගබඩා කරගෙන ඔවුන් ආහාරයට ගනිති. දූපතේ ගව පාලනයද සාර්ථකව කෙරෙන අතර සත්ව ගහනය වැඩි නොවීමට ඔවුන් නිසියාකාරව පාලනය කරනු ලැබේ. නැතහොත් රිසි සේ බෝවන්නට දුනහොත් ටික කලකින් එය ලස්සන දූපතක් නොව ගව මඩුවක් බවට පත් වෙනු ඇත.
4. ගිනිකන්දේ අනතුර සමග ගෙවෙන ජීවිත
කවර නම් නිදහසක් නිස්කලංකයක් ඇත්තේ වුවද දූපතේ ජනයා දිවි ගෙවන්නේ බේරී පලා යෑමට තරම් ඈත ගොඩබිමක් නොමැති ගිනිකන්දක් සමීපයේය. මේ ගිනිකන්ද 1961 දී විදාරණය වුනේ භූමිකම්පාවක් සහ නාය යෑමක්ද සමගිනි. එහිදී ජනයා වසරකට දෙකකට එංගලන්තයට ගොස් සිටියෝය. එහිදී දූපතට අලුතින් සාමාජිකයින් කිහිප දෙනෙක්ද එකතු වූයේ දූපතේ යුවතියන්ගේ අත ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයින් කිහිප දෙනෙකු හේතුවෙනි. කෙසේ වෙතත් විශාල ජනාකීර්ණ එංගලන්ත පරිසරය ඒ දූපත්වාසීන්ට රුචි නොවීය. ඔවුහු නැවත 1963 ගිනි කන්දෙන් විනාශ වූ සිය දූපතට පැමිණ නැවත පදිංචි වූහ.
5. කුන්හා දිවයිනට ළඟාවන හැටි
ට්‍රිස්ටන් කරා පිවිසීම ලේසි පහසු කාර්යයක් නොවේ. ඒ කරා යන නැවක් ගැනීමට දකුණු අප්‍රිකාවට යා යුතුය. ඒ ගොස් දූපතට යන බෝට්ටුවකට ගොඩ වීමට අඩුම තරමේ වියදම ඇමරිකානු ඩොලර් 1500ක් වත් උවමනා වේ. දූපතට ගිය ද එතැන නවාතැනට විශාල සුවපහසු නවාතැන් නැත. ඇත්තේ තාවකාලික යම්තාක් සුවපහසු නවාතැනකි. අන්තර්ජාලය ඇත්තේ හදිසි පණිවුඩයක් යවාගැනීමේ තත්ත්වයට පමණි. කෙසේ වෙතත් ලෝකයේ කෙළවරක තිබෙන තැනක් මෙන් බොහෝ දුරස්ථ මෙම දූපත නැරඹීමට වසරකට යම්කිසි සංචාරකයෝ පිරිසක් පැමිණෙති.
6. දූපත මනුෂ්‍ය වාසයක් වූ සැටි
ට්‍රිස්ටන් ඩ කුන්හා දූපත ලොව ජනප්‍රිය ස්ථානයක් වන්නේ සූවස් ඇල සහ පැනමා ඇල ලොව නොමැති කාලයේදීය. එකල යුරෝපයේ සිට ලංකාවට නැව් පැමිණියේද අප්‍රිකාව වටා යාත්‍රා කරමිනි. අනෙක් පසට පැනමා ඇල නොමැති වීම හේතුවෙන් දකුණු ඇමරිකාව වටා ගොස් අනෙක් පස පැසිපික් සයුරට පිවිසීමට නාවුකයින්ට එදා සිදුවිය. එම කාලයේදී ට්‍රිස්ටන් ප්‍රධාන නාවුක මාර්ග අතර තිබූ දූවකි. එහෙත් මිනිසාගේ විශ්වකර්ම වැඩ වූ සූවස් ඇල සහ පැනමා ඇල කැපීමෙන් අනතුරුව නාවුක ගමනාගමන කටයුතු වල සැබෑ වෙනසක් සිදුවූ හෙයින් ට්‍රිස්ටන් දූව නාවුක ගමන් වලින් ඈත් විය.
7. දූපතේ ආදායම් මාර්ගය සහ තවත් තොරතුරු
මෙම දූපතේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ පොකිරිස්සන් අපනයනය වේ. දූපතට ආසන්න ගෆ් දිවයින නැමැති දිවයිනක් වේ. මුහුද රළු නිසා එයට පිවිසීමට අපහසුය. ඒ ගෆ් දිවයින යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ. තවත් කුඩා දූපත් දෙක තුනක් තිබෙන අතර ඒවායේ මනුෂ්‍ය වාසයක් නොමැත.
කුඩා තැපැල් කන්තෝරුවක් පාසැලක් සහ පල්ලි දෙකක් මෙහි තිබේ. නිතරම කාර්යයේ නිරත පොලිස් නිලධාරියෙක් වෙසෙන පොලිස් ස්ථානයක්ද දූපතේ වේ. මෙහි කිසියම් පුද්ගලයෙක්ට දරුණු අනතුරක් හෝ අසනීපයක් වුවහොත් ප්‍රතිකාර ගැනීමට දින ගණනාවක් ගෙවා දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව වෙත යා යුතු වේ.
අනෙක් මනුෂ්‍ය වාසයන්ගෙන් බොහෝ ඈත වුවත්, නූතන ලෝකයේ නාගරික ජන ජීවිතයේ බොහෝ පහසුකම් වලින් තොර වුවත් එම ජනයා බොහෝ සතුටින් කාලය ගත කරති. ද්‍රව්‍ය පසුපස, ඉලක්ක පසුපස හඹා යන මනුෂ්‍යයෝ මිලියන ගණනක් අතර වසර සිය ගණනක් තිස්සේ තවමත් අඩුවෙන් වෙනස් වූ ට්‍රිස්ටන් ඩ කුන්හා වැසියෝ සැබැවින්ම අපූර්වතම ජීවිතයක් විඳින මනුෂ්‍ය කොට්ඨාසයකි.
Cover Image Source – labandfield.wordpress.com
Leave a Reply