ඔබේ හිත මිහිරි අතීතයකට ගෙනයන 90 දශකයේ MTV මියුසික් වීඩියෝස් 17ක්

90s MTV

90 දශකයේ මැද භාගය වෙනකොට TNL නාලිකාවෙන් MTV මියුසික් චැනල් එක විකාශනය කරන්න පටන් අරගෙන තිබ්බා. ඒකෙ වැඩිහරියක්ම ප්ලේ කලේ හින්දි මියුසික් වීඩියෝස් තමයි. ඉතාම ලස්සන සින්දු, හිත ඇදිලා යන විදිහේ පෙනුම තිබ්බ කොල්ලො කෙල්ලොන්ගෙ රංගනයෙන් හැඩවෙච්ච මියුසික් වීඩියෝස් සමගින් අපේ ආලින්දයට එන්න පටන් ගත්තා. ඒ කාලෙ තරුණ වියට පා තබමින් හිටපු අපේ කොල්ලො කෙල්ලො මේවට පිස්සුවෙන් වගේ වහ වැටුනා. දැන් අවුරුදු විසි අන්තිම ගණන්, තිස් ගණන් වල ඉන්න කොල්ලො කෙල්ලන්ට නම් මේ ගීත ගැන අදටත් මතක ඇති.

ඉතින් අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඔබේ ඒ සුන්දරම අතීත මතකයක් අවුස්සන්නයි. 90 දශකයේ අපේ සිත් වසඟ කරපු MTV මියුසික් වීඩියෝ ලැයිස්තුවක් තමයි අපි මේ ඔබට ගෙන එන්නේ.

 

1. පියාරේ – නුස්රට් ෆතේ අලි ඛාන්


ඒ කාලෙ MTV මියුසික් වීඩියෝ චාට්ස් වල ඉහලින්ම වැජඹුන ගීතයක් මේක. නුස්රත් අලී ඛාන්ගේ දිව්‍යමය හඬින් ගැයෙන මේ ගීතයේ මියුසික් වීඩියෝවත් බොහොම ආදරණීයයි. ගමක ජීවත් වන අහිංසක පෙම් යුවළකගේ කතාවක් රැගත් මේ මියුසික් වීඩියෝවත් ගීතයත් එකසේ ජනප්‍රිය වුනා.

 

2. පෙහ්ලා නෂා – උදිත් නාරායන්, සධානා සර්ගම්


90 දශකයේ ජනප්‍රිය චිත්‍රපටයක් වෙච්ච “ජෝ ජීතා වොහී සිකන්දර්” චිත්‍රපටයේ තමයි මේ අතිශය ජනප්‍රිය ගීතය ඇතුළත් වුනේ. හැබැයි ලංකාවෙ වැඩිපුරම ජනප්‍රිය වුනේ මියුසික් ටෙලිවිෂනයේ පෙන්නපු මේකෙ රිමික්ස් එක තමයි. ලාබාල පාසල් ප්‍රේමයක් ගැන කියන මියුසික් වීඩියෝවෙදි මේ ගීතයට රැප් එකකුත් එකතු වෙලා තිබුණා.

 

3. ටෝරා ටෝරා – බාබා සේගල්


බාබා සේගල් කියන්නේ ඒ කාලේ වේග රිද්ම ගීත රැසක්ම කියපු ජනප්‍රිය රැප් ගායකයෙක්. අමුතු කොණ්ඩ සහ ඇඳුම් විලාසිතා වලින් සැරසිලා, නැගලා යන ඩාන්ස් මූව්ස් දාන බාබා සේගල්ගේ ටෝරා ටෝරා සින්දුවත් ඒ කාලෙ අපිව රොක් කරලා ගත්ත සින්දුවක්.

 

4. සයියෝනී – ජුනූන්


ජුනූන් කියන්නේ 90 ගණන් වල අතිශය ජනප්‍රියත්වයට පත් පකිස්ථාන සූෆී රොක් බෑන්ඩ් එකක්. එයාලගෙ ආසාදී කියන ඇල්බම් එකේ ආපු ජුනූන් ගීතය තමයි ඒ අයගෙ සුපර් හිට්ම ගීතය වෙන්නෙ. අහල බලන්න මේ ගීතය ඔබේ මතකය අළුත් කරනවද කියලා?

 

5. ජානම් සම්ජා කරෝ – ආශා බෝස්ලේ


මුල් කාලේ MTV මියුසික් එකක් වෙන ජානම් සම්ජා කරෝ ගීතය සංගීතවත් කරන්නේ කොලොනියල් කසින්ස් කණ්ඩායම හරහා පහුකාලීනව ජනප්‍රිය වෙච්ච ලෙස්ලි ලුවිස්. මේක ගායනා කරන්නෙ ආශා බෝස්ලෙ. ඒ කාලෙ මියුසික් වීඩියෝ වල ජනප්‍රිය චරිතයක් වෙච්ච මිලින්ද් සෝමන් තමයි මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් එකතු වෙලා තිබ්බෙ.

 

6. ඩිස්කො දිවානේ – සාගරිකා


සාගරිකා කියන්නේ අතිශය ජනප්‍රිය හින්දි ගායකයෙක් වන ශාන් ගේ සොහොයුරියයි. ළමා ගායිකාවක් හැටියට ක්ෂේත්‍රයට පිවිසෙන ඇගේ ජනප්‍රියම ගීතය තමයි ඩිස්කො දිවානේ කියන්නෙ. බලන්න මේක මතකද කියලා.

 

7. ඩූබ ඩූබ රෙහ්තා හූ – සිල්ක් රූට්


ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට ගායකයෙක් වෙන මෝහිත් චෞහාන්ගෙ මූලිකත්වයෙන් පිහිටවපු සිල්ක් රූට් බෑන්ඩ් එක 90 ගණන් වල ෆේමස් බෑන්ඩ් එකක්. ඒ අයගෙ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුව වෙච්ච සින්දුව තමයි මේ ඩූබ ඩූබා කියන සින්දුව. ජලය යට රූගත කරපු මේකෙ වීඩියෝ එකත් ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා.

 

8. දිල් ක්‍යා කරේ – ඉන්ස්ටන්ට් කර්මා


ජනප්‍රිය පැරණි හින්දි සින්දු රිමික්ස් කරලා අලුත්ම රසයක් මවාපු බෑන්ඩ් එකක් තමයි ඉන්ස්ටන්ට් කර්මා. ඒ අයගෙ සුපර් හිට් සින්දුව තමයි දිල් ක්‍යා කරේ. ටිකක් වෙනස් ආකාරයේ වීඩියෝ නිර්මාණයක් සහිතව තමයි මේ සින්දුව මියුසික් ටෙලිවිෂනයේ පෙන්නුවෙ. ඒ මියුසික් වීඩියෝ එකේ ඉන්න කපල් එකත් කොල්ලො කෙල්ලො අතර සෑහෙන ජනප්‍රිය වුනා.

 

9. බාරිෂ් – අනූ මලික්


ප්‍රවීන සංගීතවේදී අනූ මලික්ගෙ බාරිෂ් සින්දුව ඒ කාලෙ කොල්ලන්ව පිස්සු වට්ටපු සින්දුවක්. ගීතයේ ලයාන්විත බවම නෙමෙයි ඒකට හේතුව. බාරිෂ් මියුසික් වීඩියෝවෙ හිටපු අදිති ගොවිත්‍රිකාර් අක්කගෙ සරාගී ලස්සන රූපයත් ඒකට හේතුවුනා.

 

10. ක්‍රිෂ්ණා – කොලොනියල් කසින්ස්


හරිහරන් සහ ලෙස්ලි ලුවිස්ගෙන් සමන්විත වුන කොලොනියල් කසින්ස් කණ්ඩායමට දැවැන්ත ජනප්‍රියත්වයක් ගෙනාව ගීතය තමයි ක්‍රිෂ්ණා. ඒ කාලෙ කොලොනියල් කසින්ස් ලංකාවෙත් කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් කොලොන්නාවෙ මස්සිනාල කියල ඒ අයව හැඳින්නුවෙ සමහරු.

 

11. මේඩ් ඉන් ඉන්දියා – අලීෂා


අලීෂා චිනායි කියන්නේ ජනප්‍රිය ගීත රැසක්ම බිහි කරපු ඒ කාලෙ ගායිකාවක්. හුරුබුහුටි ලස්සනක් තිබ්බ අලීෂා එයාගෙ ගීත වල වීඩියෝ වලටත් පෙනී හිටියා. අලීෂාගේ මියුසික් වීඩියෝ වැඩි හරියක රංගනය දක්වපු මිලින්ද් සෝමන් තමයි මේඩ් ඉන් ඉන්දියා ගීතයෙත් අලීෂා එක්ක රඟපෑවෙ.

 

12. ඕ සනම් – ලකී අලි


ලකී අලීගෙ ඕ සනම් ගීතය ඒ කාලෙ MTV ටොප් චාට් වල අංක 1 ස්ථානයෙන් හොල්ලන්න බැරුව තිබ්බා සෑහෙන කාලයක් යනකම්. සංවේදී ආදර කතාවක් රැගත් ඒකෙ මියුසික් වීඩියෝ එකත් නියමයි. සින්දුව ඉවර වෙන්නෙ අන්තිම මොහොතේ අපේ හිතට ෂොක් එකක් දනවලයි.

 

13. මිස් ඉන්ඩියා – මේනාස්


මේනාස් කියන්නෙත් 90 ගණන් වල මියුසික් වීඩියෝ හරහා බිහිවෙච්ච ජනප්‍රිය චරිතයක්. මේනාස් ඒ කාලෙ ලංකාවෙත් මියුසිකල් ෂෝ එකක් කරන්න ආවා. ඇගේ ජනප්‍රියම ගීතය තමයි මේක. සාමාන්‍ය පෙනුමැති තරුණියක් මිස් ඉන්දියා තරඟයට ඉදිරිපත් වෙන හැටි පෙන්වන මේකෙ මියුසික් වීඩියෝවත් ඒ කාලෙ හිට් එකක් වුනා.

 

14. අනයිදා – ඌවා ඌවා


අනයිදාගෙ ඌවා ඌවා සින්දුව ඒ කාලෙ දවසකට කීප වතාවක්ම මියුසික් ටෙලිවිෂනයේ ප්‍රචාරණය වුනා. හාස්‍යමය ගතියක් තිබ්බ ඒ මියුසික් වීඩියෝ එකේ රංගනය දැක්වුවෙත් අනයිදාම තමයි. චාම් විදිහට ඉන්න කෙල්ලෙක් මොඩ් වෙලා අනිත් අයව පිස්සු කොර කරන ජනප්‍රිය හින්දි මියුසික් වීඩියෝ තේමාව තමයි මේ වීඩියෝවෙත් තිබ්බෙ.

 

15. මෙරි චූනර් උඩ් උඩ් ජායේ – ෆල්ගුනි පතක්


MTV මියුසික් වීඩියෝ ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි නමක් තමයි ෆල්ගුනි පතක්. ෆල්ගුනි ගේ හැම ගීතයක් වගේම හරිම ලස්සනයි. ඒ වගේම ඒ හැම එකක්ම වගේ හිට් සෝන්ග්ස්. අපි මේ කියන ගීතය ඒ කාලයේ ඉමහත් ජනප්‍රියත්වයක් ලබන්න සමත් වුනා. පසු කාලෙකදි ජනප්‍රිය නිළියන් දෙන්නෙක් බවට පත්වුණ අයේෂා ටාකියා සහ ට්‍රිෂා තමයි මේ මියුසික් වීඩියෝවෙ හිටියෙ.

 

16. තන්හා දිල් – ශාන්


අතීත ස්මරණයන් එක්ක සාංකාජනක, ශෝකී ජනක හැඟීමක් අපිට ඇති කරන්න සමත් වෙන සුපිරි ගීතයක් මේක. මේකෙ මියුසික් වීඩියෝ එකත් අපි දැඩි ලෙස ප්‍රිය කරපු එකක්. ශාන් පසුකාලීනව කොච්චර සින්දු කිවුවත්, අදටත් ශාන් කියපු ගීත අතරින් අපේ ප්‍රියතම එකක් හැටියට තන්හා දිල් වැජඹෙනවා.

 

17. නූරී – බැලී සාගෝ


1979 “නූරි” කියන චිත්‍රපටයට ලතා මංගේශ්කාර් ගායනා කරනවා” ආජාරේ ඕ මෙරෙ දිල්බර් ආජා” කියල ගීතයක්. මේ ජනප්‍රිය ගීතය තමයි පස්සෙ කාලෙකදි බැලී සාගෝ අතින් රිමික්ස් එකක් හැටියට එළියට එන්නෙ. කළු සුදු වීඩියෝවක් වුනු මේ මියුසික් වීඩියෝව ඒ කාලෙ වෙනසක් කරපු මියුසික් වීඩියෝවක්

 
Cover Image Source – youtube.com
 

zvr
Your Reaction

Comments