අගෝරි සාධූවරුන්ගේ අරුම පුදුම ජීවිත ගැන ඔබ නොදන්නා කරුණු 7ක්

Agories life style

ඉන්දියාව යනු සැබවින්ම අරුම පුදුම සුන්දරත්වයකින් හෙබි රටක්. එහි ඇති නානාවිධ ආගමික කොටස්, විවිධාකාර වූ භක්තීන් අදහන්නන් සහ ඔවුන්ගේ විශ්වාසයන්, සංස්කෘතීන් එකතු වෙලා අපූරු වර්ණවත් ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා. ඔව්, ගොඩක් දෙනෙක්ට ඉන්දියාව සම්බන්ධයෙන් විවේචනයන් තියෙනවා. හැබැයි ඒ විවේචනයන් පසෙකින් තියලා බලනවා නම් කුතුහලය අවුස්සන සුළු බොහෝ දේත් ඉන්දියාවේ වර්ණවත් කැන්වසය මත තියෙනවා කියලා කියන්න පුලුවන්. එයින් එක් දෙයක් තමයි අගෝරි සාධුවරුන් කියන්නේ. මේ කියන්න යන්නේ අගෝරි සාධුවරුන් ගැන ඔබ දැන නොසිටි විස්තර ටිකක්.

 

1. ශිව දෙවි අදහන අගෝරි සාධූන්

Agories life style

Source – daily.social

බොහොම සුවිශේෂී, ගුප්ත නිකායක් වන අගෝරි සාධූවරුන්ගේ එකම ඇදහීම වෙන්නේ ශිව දෙවිඳුන්. හරියටම කියනවා නම් ඔවුන් අදහන්නේ පරමේශ්වර ශිව යනු සර්වකාලීන, සර්වඥ, සර්වබලධාරී ලෝකාත්මය විදියටයි. අගෝරි වරු කියන විදියට අපි හැම කෙනෙකුගේම ඇතුළාන්තයේ ශිව වැඩ සිටිනවා. එහෙම වුනත් අපේ ආත්මය තුළ හිඳින ශිවාත්මය වැහිලා තියෙන්නේ රාගය, ද්වේශය, බිය, තණ්හාව වගේ ගැට අටකින්. අගෝරි සාධුවරුන්ගේ අරමුණ වෙන්නේ මේ ගැට බිඳලා ඒ හරහා ශිවාත්මය මතුකරගන්න එක, ඒ නිසා තමයි අගෝරි සාධුවරු ප්‍රසිද්ධ වෙලා ඉන්න ගොඩක් අරුම පුදුම, අසීරු, ගුප්ත සහ සමහර විට ජුගුප්සාජනක ක්‍රියාවන්හි ඔවුන් යෙදෙන්නේ. විමුක්තිය ලබාගන්න එක. අගෝරි සාධුවරුන් සංසාරය විශ්වාස කරන බවත් කියන්නට ඕනෑ. අගෝරි වරුන් වැඩි වශයෙන් දකින්න පුලුවන් වරණාසි වල. ඇත්තටම වරණාසි කියන්නේ විවිධාකාරයේ යෝගීන්ට සහ සන්‍යාසීන්ට ක්ෂේම භූමියක්.

 

2. අගෝරි සංකල්පය

Agories life style

Source – pinterest.com

අගෝරි කියන නම බිඳී එන්නේ සංස්කෘත අගෝර් කියන වචනයෙන්. මේ වචනයට අර්ථ දැක්වීම් ගණනාවක් තිබුණත්, අපිට හිතාගන්න පුලුවන් අගෝර් කියන්නේ අන්ධකාරයෙන් තොර වීම වගේම ස්වභාවික හා සරල විඥානයක් කියන එක කියලා. සාමාන්‍යයෙන් අගෝරිවරුන්ට වුවමනා කරන්නේ බිය, තැතිගැන්ම, ලජ්ජාව, ජුගුප්සාව වගේ සිතුවිලි ඉවත් කිරීම. ඒ නිසා තමයි මේ අය අන්තවාදී ජීවන රටාවක් අනුගමනය කරන්නේත්. ඒ ජීවන රටාවේ ඇතුළත් වෙන සමහර දේවල් නිසා ගොඩක් දෙනෙක් අගෝරි සාධුවරුන්ට බිය වෙනවා කියන එකත් අමුතුවෙන් කියන්නට වුවමනා දෙයක් නෙවෙයි.

 

3. නිරුවත යනු ස්වභාවිකත්වයයි

Agories life style

Source – pinterest.com

අගෝරිවරුන් ස්වභාවිකත්වය දැඩිවම විශ්වාස කරන කොටසක්. අගෝරි සාධූන් බොහෝ විට නිරුවතින් නැතිනම් කෙටි අමුඩයකින් විලිවසා ගෙන තමයි ඉන්නේ. විලි නොවැසීම තුළිනුත් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලජ්ජාව දුරු කිරීම. ගොඩක් වෙලාවට අගෝරි සාධුවරයෙක් ඉන්නේ නිරුවතින්ය කියන එක ඒ තරම් නොදැනෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අගෝරි සාධුවරුන් නවගුණ වැල් ගණනාවක් සිරුරේ පැළඳ සිටීම. ඒ වගේම ශිව දෙවියන් අනුගමනය කරමින් ශරීරය පුරා මිනී දැවූ අළු තවරා ගැනීමත් ඔවුන් සිද්ධ කරනවා. මේ නිසා සම්පූර්ණයෙන්ම සුදු පැහැ අස්වාභාවික ශරීර වර්ණයකින් අගෝරිවරුන් පෙනී ගියොත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අගෝරි සාධුවරුන් ශරීරය පවත්වා ගැනීමට විශේෂ වෙහෙසක් දරන්නේ නැහැ. ඒ කියන්නේ කොණ්ඩය පවා හැඩපළු ගෙතෙන්නට ඉඩ හැර තියෙනවා මිසක් කැපීමක් හෝ පවත්වා ගැනීමක් නැහැ.

 

4. අගෝරි සාධුවරයෙකු වීමේ මග

Agories life style

Source – sadhuindia.blogspot.com

අගෝරි සාධුවරයෙක් වීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කර්කෂ ජීවිතය ගැනම නෙවෙයි. යම් තාක් දුරකට දැඩි ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්නත් අගෝරි සාධුවරයෙකුට සිද්ධ වෙනවා. මූලිකවම අගෝරි සාධුවරයෙක් වෙන්න හිතන කෙනෙක් ඒකට අගෝරි ගුරුවරයෙක් හොයාගන්නට ඕනෑ. ඉන්පස්සේ ඒ ගුරූපදේශ වලට අනුව අගෝරි සාධුවරයෙක් වෙන්න කලින් අවුරුදු දොළහක් කෙනෙක් එක දිගට භාවනා කරන්නට ඕනෑ. දැඩි ධ්‍යානය සහ ශිව දෙවියන් අතර තියෙන නොබිඳිය හැකි සම්බන්ධයත්, මෝක්ෂය වෙත ධ්‍යාන වැඩීමේ තියෙන සම්බන්ධයත් මෙතනදී අවධානයට ගන්නට වුවමනායි. ඒ විදියට අවුරුදු දොළහක් ධ්‍යාන වැඩීමෙන් පසුවත් අගෝරි සාධුවරයෙක් වෙන්න නම් සම්පූර්ණ කරන්න ඕන දැඩි චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. එහෙම හැමදෙයක්ම සම්පූර්ණ කරලා අගෝරි සාධුවරයෙක් වුනාට පස්සෙත් ජීවත් වෙන්න වෙන්නේ කර්කෂ විදියට. මිනී දවන සොහොන් වල තමයි ඉන්න සිද්ධ වෙන්නේ, මිනී අළු සිරුරේ තවරගෙන, ඇඳුමක් අඳිනවා නම් මිනී වැසූ රෙදිකඩක් ඇඳගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ.

 

5. අගෝරිවරුන්ගේ යන්ත්‍ර මන්ත්‍ර සහ විශ්වාසයන්

Agories life style

Source – qz.com

ශිව දෙවි ඇදහීමත් එක්ක අගෝරිවරුන් තාන්ත්‍රික ඇදහීම් වල නිරත වෙනවා. ගොඩක් දෙනෙක් කියන්නේ අගෝරි වරුන්ට තන්ත්‍ර වල එන යන්ත්‍ර මන්ත්‍ර වැඩ කටයුතුත් හොඳට පුලුවන් කියලා. අගෝරි සාධුවරු මන්ත්‍ර සජ්ඣායනය සිද්ධ කරනවා. හැබැයි ඒ මන්ත්‍ර ශිව දෙවියන් හා බැඳුණු මන්ත්‍ර මිසක් අපි කියන මන්තර නෙවෙයි.

අගෝරිවරුන් ශිව දෙවියන් පරිපූර්ණත්වය කියලා විශ්වාස කරන නිසාම, ජීවිතයේ පරිපූර්ණත්වය සොයා යා යුතුයි කියලත් හිතනවා. හැමදෙයකම ශුද්ධ වූ ස්වභාවය බලාපොරොත්තු වෙන එක ඒකේ ප්‍රතිඵලයක්. ඒ වගේම මේ ලෝකයේ කිසිම දෙයක් අශුද්ධයි, අපවිත්‍රයි කියලා නොහිතිය යුතුයි කියලත් ඒ අය කියනවා. මේ අය ස්වභාවිකත්වයට ළංවෙලා ජීවත් වෙන එක ගැනත් ඒ විදියට හිතාගන්න පුලුවනිනේ. මීට අමතරව කිසිම මිනිසෙකු හෝ කිසිම දෙයක් වෙන් කර සැලකීමක් නොකළ යුතුයි කියලත් අගෝරිවරු විශ්වාස කරනවා. මේ විදියට බලනකොට අගෝරි සාධුවරුන්ගේ ආන්තික ජීවන රටාව අමතක කරලා බැලුවොත්, ඇත්තටම මේ අය දර්ශනයක් විදියට විශිෂ්ට දහමක් අනුගමනය කරන අය. ඒක වර්තමානයේදී ප්‍රායෝගිකව කොයි තරම් දුරට සිද්ධ වෙනවාද කියන එක නම් අපිට කියන්න බැහැ.

 

6. මිනීමස් බුදින අගෝරි වරුන්?

Agories life style

Source – thecoolimages.net

ඇත්තටම අගෝරි සාධූවරුන්ට බොහෝමයක් දෙනා බියවෙන්නේ මේ අය මිනීමස් කනවා කියන නිසාත්, මේ අයගේ භයංකර පෙනුම නිසාත් කිවුවොත් වැරදි නැහැ. බොහෝ දෙනෙක් හිතන විදියට මේ අය මිනිස්සු මරාගෙන කන්නෙ නැහැ. හැබැයි ගොඩක් දෙනා විශ්වාස කරනවා ගංගා නදිය ඔස්සේ පාවෙලා එන මිනිස් මළසිරුරු අගෝරිවරුන් ආහාරයට ගන්නවා කියලා. කොටින්ම කිවුවොත් අගෝරිවරුන් මිනිස් හෝ සත්ව මළසිරුරු අමුවෙන් හෝ ගින්නෙන් පුළුස්සා ආහාරයට ගන්නවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම ඒ මළසිරුරු කුණුවෙලා තිබුණත් ඒක ඒ අයට ගැටළුවක් නැහැ කියලා තමයි කියවෙන්නේ!

ඒ වගේම අගෝරි සාධුවරුන් මිනී හිස්කබලකින් නිර්මාණය කරපු බඳුනක් භාවිතා කරනවා. කපාල කියලා හඳුන්වන මේ මිනී හිස් කබලක් බඳුනක් ලෙසින් පාවිච්චි කරන සිරිත අගෝරි වරුන්ට විතරක් විශේෂ නැහැයි කියලත් කියන්න වුවමනායි.

 

7. අගෝරි වරුන්ට ගුප්ත බලයන් තියෙනවාද?

Agories life style

Source – indiadivine.org

අගෝරිවරුන්ගේ විශ්වාසයන්, ඇදහිලි සහ ජීවන රටාව ඇතුළේ තියෙන ගුප්ත භාවයත්, අගෝරි සාධුවරුන් අතිශයින්ම ස්වභාව ධර්මයට සමීපව ජීවත් වීමත් නිසා මේ අයට ගුප්ත බලයන් තියෙනවා කියලා විශ්වාස කරන අයත් ඕනෑ තරම් ඉන්නවා. සමහරු කියන්නේ අගෝරි සාධුවරුන්ට ලෙඩ රෝග සුවකරන්න පුලුවන් අරුම පුදුම බලයක් තියෙනවාය කියන එක. මේ අතරේ අගෝරි සාධූවරුන්ට අස්වාභාවික විදියට දීර්ඝ ජීවිත කාලයක් තියෙනවාය කියලත් විශ්වාසයක් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, අගෝරි වරුන්ගේ මූලාරම්භය විදියට සැලකෙන බාබා කීනාරාම් ඇත්තටම අවුරුදු 150ක් ජීවත්වුනා කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. හැබැයි ඉතින් අගෝරි සාධුවරුන්ට ඇත්තටම මෙහෙම බලයන් තියෙනවාද කියන එක කොහේවත් පර්යේෂණයකින් ඔප්පු වෙලා නම් නැහැ.

කොහොම වුනත් විශේෂයෙන් කියන්නටම වුවමනා කාරණාවක් තියෙනවා. ඒ තමයි අතිශයින්ම අන්තගාමී බවක් පේන, දැඩි සෙයින් දුෂ්කර සහ ගුප්ත, බාහිර ලෝකයට ජුගුප්සාජනක ජීවන පෙවෙතක් ගත කළත්, හැබෑවටම අගෝරි සාධුවරුන්ට අවශ්‍ය වෙන්නේත් ජීවිතයේ විමුක්තිය කියන එක. ඒකට ඒ අය ‍තෝරාගෙන තියෙන මාර්ගය හරිද වැරදිද කියන එක ඇත්තටම අපිට විනිශ්චය කරන්නට බැහැ.

 
Cover Image Source – localverandah.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *