බී ළූණු… එහෙමත් නැත්නම් බොම්බයි ළූණු ඔය උයන පිහන හැමදේ
ටම අපි දානවනෙ. ළූණු නොදා උයන දෙයක් නැති තරමට ළූණු අපිට එදිනෙදා අවශ්‍ය වෙනව. ළූණු වලින් පුළුවන් එච්චරයිද? අපොයි නෑ… ළූණු වලින් රස රස දේවල් සෑහෙන්න හදාගන්න පුළුවන්. මේ එයින් ටිකක් විතරයි. බී ළූණු වලින් හදන්න පුළුවන් පහසු කෑම 7ක් තමා මේ.
1. ස්ටෆ්ඩ් අනියන්

Source – truffle-assets.imgix.net
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ළූණු ගෙඩි එකයි
- සාදාගත් කට්ලට් පිරවුම
- බිත්තරයක්
- පාන් කුඩු
- බී ළූණු ගෙඩිය අඟල් භාගයක පමණ මහතට රවුම් කපාගන්න. කපාගත් රවුම් වලින් ළූණු මුදු වශයෙන් වෙන් කරගන්න.
- කට්ලට් මිශ්‍රණය මේ ළූණු මුදු මැදට පුරවා, බිත්තර සාරු වල දවටා, පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
2. අනියන් පකෝරා

Source – preetispalace.com.au
අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පිටි කප් එකයි
- හීනියට කපාගත්ත ළූණු
- චොප් කරගත්ත අමු මිරිස්
- ලුණු
- මිරිස් කුඩු
- දෙහි යුශ ටිකක්
- කොත්තමල්ලි කොළ
- සියල්ල එකට මිශ්‍ර කරගන්න. වතුර ටික ටික එකතු කර සාමාන්‍ය ඝණ මිශ්‍රණයක් සාදාගන්න. හැන්දකින් ටික ටික ගෙන රත් වූ ගැඹුරු තෙලට දමා බැදගන්න.
3. බ්ලූමින්ග් අනියන්

Source – paleogrubs.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ළූණු ගෙඩියක්
- පාන් පිටි කප් එකක්
- ලුණු
- ගම්මිරිස්
- බිත්තර දෙකක්
- කිරි කප් එකක්
- මොසරැල්ලා චීස් අවශ්‍ය නම්
- පින්තූරයේ දැක්වෙන විදියට ළූණු ගෙඩිය මලක් ලෙස විහිදෙන ආකාරයට පෙති වෙන් නොවන සේ කපාගන්න. පිටි, ලුණු සහ ගම්මිරිස් එකට මිශ්‍ර කරගන්න.
- වෙනම බඳුනක බිත්තර දෙක දමා එයට කිරි එක් කර හොඳින් ගසාගන්න.
- කපාගත් ළූණු ගෙඩිය පිටි මිශ්‍රණයේ හොඳින් දවටා ගන්න. (පෙති අතරත් පිටි තැවරෙන ලෙස) දැන් ළූණු ගෙඩිය බිත්තර මිශ්‍රණයේ දමා හොඳින් මිශ්‍රණය දවටා ගෙන නැවත පිටි මිශ්‍රණයේ දමාගන්න.
- චීස් දානවා නම් පෙති අතරට චීස් එක් කරගන්න. තෙල් කඩදාසියක් දාගත් තැටියක තබා සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත්ත උඳුනක විනාඩි 30ක් බේක් කරගන්න.
4. චීස් ස්ටෆ්ඩ් අනියන් රින්ග්ස්

Source – ytimg.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ළූණු ගෙඩියක්
- මොසරැල්ලා චීස්
- බිත්තරයක්
- පාන් කුඩු
- ළූණු ගෙඩිය අඟල් භාගයක් මහත රවුම් කපාගන්න. ප්‍රමාණයෙන් ලොකු ළූණු රවුමක් සහ පොඩි ළූණු රවුමක් ගෙන ඒ රවුම් දෙක අතරට චීස් පුරවා ගන්න. (පින්තූර බලන්න.)
- බිත්තර සාරු දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
5. චයිනීස් අනියන් පෑන් කේක්ස්

Source – honestcooking.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 2
- වතුර මිලිලීටර් 420
- ලුණු
- ගම්මිරිස්
- චොප් කරගත් ළූණු කප් 1
- හීනියට කපාගත් ළූණු කොළ
- පිටි සහ වතුර එකට මිශ්‍ර කර විස්ක් එකකින් ගසාගෙන, පිටි කැට නොසිටින්න මිශ්‍ර කරගන්න.
- ඉතිරි සියල්ල මෙයට එක් කර කලවම් කරගෙන, තෙල් මේස හැඳි දෙකක් දාගත් නන්ස්ටික් තැටියකට තෝසේ ආකාරයට මිශ්‍රණය දමාගෙන, දෙපැත්තම පුළුස්සා පෑන් කේක් සාදාගන්න.
6. බැටර්ඩ් අනියන් රින්ග්ස්

Source – realfood.tesco.com
අවශ්‍ය ද්‍රව්‍ය
- රවුම් කපා මුදු වෙන් කරගත් ළූණු
- පාන් පිටි කප් 1
- කෝන් ෆ්ලා තේ හැඳි 2
- ලුණු
- ගම්මිරිස්
- සෝඩා
- ළූණු හැර අනෙක් සියල්ල එකට එක් කොට පෑන් කේක් පදමට වඩා මදක් ඝණ බැටරයක් සාදාගන්න. ළූණු රවුම් බැටර් එකේ ගිල්වා රත් කරගත් ගැඹුරු තෙලේ බැදගන්න.
7. සුදුළූණු මිශ්‍ර ළූණු අච්චාරු

Source – pinterest.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ළූණු ග්‍රෑම් 500ක් (කුඩා බී ළූණු හෝ රතුළූණු)
- පොතු හැරගත් සුදුළූණු ග්‍රෑම් 100ක්
- අබ තෙල් කප් 1 1/2
- උළුහාල් තේ හැඳි 3
- මිරිස් කුඩු තේ හැඳි 2 1/2
- මහදුරු කප් 1/4
- කහ මේස හැන්දක්
- ලුණු මේස හැඳි 5
- විනාකිරි කප් 1/2
- පොල්තෙල් ටිකක් රත් වෙන්න තබා ළූණු ටික සහ සුදුළූණු වෙන වෙනම තෙලට දමා තත්පර දෙක තුනකින් ඉවතට අරගන්න.
- අබ තෙල් ටික රත් වෙන්න තබා එයට උළුහාල් සහ කහ එක් කර මිශ්‍ර කරගෙන ළූණු සහ සුදුළූණු එකතු කරගෙන මිශ්‍ර කරගන්න.
- ගින්දර වැඩි කරගෙන ඉතිරි සියල්ල එක් කර උතුරුවාගෙන ලිපෙන් ඉවත් කරගන්න. නිවුනු පසු සෝදා වියලාගත් වීදුරු බෝතලයකට දමා ගන්න. සති කීපයක් කල් තබා ගත හැකි ළූණු අච්චාරුවක්.
Cover Image Source – wisegeek.com
Leave a Reply