ලාංකික ගීතය යනු ලොව වටා සංගීත ශෛලීන් රැසක්ද දේශීය බෙර සහ නාද රටාද එකතු වූ අමුතුම සංකලනයකි. එයට ඉන්දීය උත්තර භාරතීය සංගීතයෙන් වැඩි බලපෑමක් එකතු වී ඇති මුත් ලාංකික ගීත උත්තර භාරතයේ ගීතවලට වඩා වෙනස්ය. ගුවන්විදුලිය මගින් ගීතය පාලනය වූවද එදා 70 දශකයේ තැනුන ගීත දශක 4කට පසු තවමත් අප අතර තුඩ තුඩ රැව් දේ. පසුගිය දශකයේ අපිට ඇසුන මතක හිටින ගීත 10ක් මතක් කරනවාට වඩා 70 දශකයේ ගීත දහයක් මතකයට නැගීම මෙන්ම ගායනා කිරීමද අපිට පහසුය.
1. ජිප්සීස්
ජිප්සීස් යනු ලාංකික ගී කලාව ඉහළ මහලේ සිට පහළ තලය දක්වාම පැතිරවූ අමුතුම සංගීත සංයෝගයකි. බයිලා ඌරුවකින් ඇරඹුනද සුනිල්ගේ රළු කටහඬ ඔස්සේ ගැයුනු සෑම ගීයක්ම බයිලා නොවීය. 70 දශකයේ දී සුනිල්ගේ ගීත ප්‍රබුද්ධ ගුවන්විදුලියට වැද්ද ගත්තේ නැත. එහෙත් අද මෙන්ම එදාද යකඩ මිනිහෙකු වූ ජිප්සීස් සුනිල් 70 දශකයේ ෆීල්ඩ් එකට එන්නේ ‘සොමිය’ නැමැති කැසට් පටය හරහාය. සොමිය යනු පිළිගත් වචනයකැයි පිළි නොගත් එකල ප්‍රබුද්ධ ගුවන්විදුලි පාලකයෝ එවැනි කැසට් පටයක් ගැන සඳහන් කිරීමටත් මැලි වූහ. සුනිල් ඇතුළු ජිප්සීස් ලාගේ ගී වලින් කුරුමිට්ටෝ සහ ලුණුදෙහි එදා පටන් අද දක්වාම ජනප්‍රිය ගී වෙති.
2. වික්ටර් ‘ස’
අපි 70 දශකයේ ගීත කලාව දෙස බැලුවොත් වික්ටර් එහි අමුතුම තැනක ලැගුම්ගත් ගායකයෙකි. වික්ටර් රත්නායක ගුවන් විදුලියට පැමිණියේ 60 දශකයේ වුවත් ඔහු ස ආරම්භ කරන්නේ 1973 දීය. එවකට යොවුන් වියේ සිත් සතන් වශී කල සරල ගීත රැසක් තිබූ වික්ටර් අලුතින්ම ප්‍රසංගයකට යන්නට සිතීය. රට වටා ගිය වික්ටර් ගේ ස සෑම අවස්ථාවකම ශාලා පිරී ඉතිරී ගිය සංගීත සැන්දෑවක් විය. එයටම ආවේණික සංගීත ශෛලියක්, ප්‍රසංග ශෛලියක් තිබූ ස ප්‍රසංග 2012දී වික්ටර් අවසාන කරන විට දර්ශන වාර 1450ක් පවත්වා තිබුණි.
3. අමරදේව – නන්දා මාලනී ශ්‍රවණආරාධනා
අද කාලයේ ඉඳහිට නෙළුම්පොකුණ, BMICH වැනි තැනක ගැයෙන සුභාවිත ගීත සමුච්චයක් රස විඳීමට ප්‍රේක්ෂකයින් සොයාගැනීමට සති ගණනක් විද්‍යුත් මාධ්‍ය දැන්වීම් පළ වේ. එහෙත් අදට වඩා අඩකට සමාජ ජනකායක් සිටි එදා 60-70 කාලයේ අමරදේව නන්දා මාලනී වැනි සරල සුභාවිත ගී තරු වෙත සමාජයේ මහත් ඉල්ලුමක් විය. අමරදේව මාස්ටර්ගේ සහ නන්දා මාලිනියගේ දායකත්වයෙන් පැවති ශ්‍රවණ ආරාධනා එකල ජනප්‍රිය වූ ප්‍රසංගයක් විය. සුනිල් ආරියරත්නයින් පවසන ආකාරයට පසුකලෙක වික්ටර් ගේ ‘ස’ වෙත ආභාෂය ලබාගන්නේද මේ අමරදේව මාලනී ගේ ශ්‍රවණ ආරාධනා තුළිනි. 70 දශකයේදී ජනප්‍රියතම ප්‍රසංගයක් වූ ශ්‍රවණ ආරාධනා ප්‍රසංග වාර 500කට වඩා පවත්වා තිබේ.
4. ජෝති, මිල්ටන්, ලතා
70-80 කාලයේ ද අද මෙන් ප්‍රසිද්ධ ප්‍රසංග වේදිකා පැවතුණි. එකල ඇතැම් විට ඒ සංගීත සංදර්ශන සඳහා භාවිතා කෙරුණේ විශාල ලවුඩ්ස්පීකර් වේ. කෙසේ වෙතත් තාක්ෂණය අද තරම් නොදියුණු යුගයේ, ගායකයා දැකගැනීමට, ඔහු රුව ගුණ විඳගැනීමට ප්‍රේක්ෂකයාට තිබූ මාහැඟි අවස්ථාව ප්‍රසංග වේදිකාව විය. ජෝතිපාල යනු එකල ප්‍රසංග වේදිකාවේ නොම්මර එකේ ගායකයා විය. ගුවන් විදුලියෙන්, සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන් සහ ඇතැම්විට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගෙන් පවා කැපිල්ල හිමි වූ ජෝති ජනතාව අතර නම් හැමදාම හදේ රැඳුන ගායකයෙකි. ජෝති සමග ගී ගැයූ මිල්ටන් ලතා වැනි අයගේ ගීත ඇසීමට මෙන්ම ඔවුන් දැකබලා ගැනීමට පොර කෑ ජනකායක් එදා සෑම කඩමණ්ඩියකම පැවති සංගීත සංදර්ශන සඳහා එක් රොක් වූහ.70 දී ප්‍රසංග වේදිකාවේ ජනතාවට වඩාත්ම මතක ගායකයා ජෝති වුවත්, ඒ සමගම මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක, නිහාල් නෙල්සන්, ධර්මදාස වල්පොල ආදී වූ විශාල ගායක පිරිසක් එදා ප්‍රසංග වේදිකාව හැඩකරන්නට දායක විය.
5. ධර්මරත්න බ්‍රදර්ස්
ධර්මරත්න බ්‍රදර්ස් යනු 70 ජනප්‍රියම සංගීත කණ්ඩායමකි. ක්‍රිස්ටි, මැක්ස්වෙල්, මෙල්රෝයි සහ රොනල්ඩ් ධර්මරත්න යන සොහොයුරන් 4 දෙනාගේ එකතුවෙනුයි ධර්මරත්න බ්‍රදර්ස් බිහිවුණේ. එකල සංගීත කණ්ඩායම් සතුව ඔවුන්ගේම ශෛලියක් තිබූ අතර ඒවාට අනුව ගැයුනු ජනප්‍රිය ගීතද ඔවුන් සතුවිය. ‘කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ’, ‘අව්ව පායලා අව්ව පායලා’, ‘කඳුකරේ පුංචි හුරතලා’ ආදී ගීත ධර්මරත්න බ්‍රදර්ස්ලාගෙන් ඉපදී අදද අප අතර රැව්දෙන ගීත වේ.
6. ත්‍රී සිස්ටර්ස්
ලාංකික ප්‍රසංග වේදිකාව අදද ගීත කෝකිලාවන්ගෙන් ඔපවත් වන්නීය. එදා යුවතියන් තිදෙනකු එකතුව තැනූ සංගීත කණ්ඩායමක් කණ්ඩායම් සංගීතයට එකතු වී තිබුණි. ඒ ත්‍රී සිස්ටර්ස් විය. ඉන්ද්‍රානි, අයිරාංගනී සහ මල්ලිකා පෙරේරා යන සහෝදරියන් තිදෙනා එහි ගීත ගායනා කළෝය. ඒ ගීත අතර ‘කළු කෙල්ල මමයි’,’අක්කලා නංගිලා’, ‘තිළිණේ ලෙසින් පිළිගන්වමි’ වැනි ගීත වඩාත් ජනප්‍රිය විය.
7. මූන්ස්ටෝන් සහ ගෝල්ඩන් චයිම්ස්
70 දශකයේ කණ්ඩායම් සංගීතය ගැන කියන විට ක්ලැරන්ස් විජේවර්ධන අමතක කල නොහේ. ක්ලැරන්ස් සහ මිතුරන් විසින් ආරම්භ කල මූන්ස්ටෝන් හැරදා පසුව ක්ලැරන්ස් විසින්ම ගෝල්ඩන් චයිම්ස් ආරම්භ කරන ලදී. ඇනස්ලි මාලේවන, මොන්ටි වත්තලදෙනිය ධම්මික විජේසිරි ආදී පිරිසක් මුල් කාලයේ මූන්ස්ටෝන් සමග විය. ‘මංගෝ කළු නැන්දේ’, ‘රුවන්පුරය’, ‘කිමද නාවේ’ ආදී ගීත රැසක් මූන්ස්ටෝන් සහ ගෝල්ඩන් චයිම්ස් විසින් නිපදවා ගායනා කරන ලදී . එකල එම කණ්ඩායම් සංගීතය ලාංකික ගී කලාවට නව සලකුණක් ඇති කරන්නට සමත් විය.
අප 70 දශකයට එබී බැලුවොත් අදට වඩා සැලකිය යුතු ලෙසින් අඩු ජනකායක් සිටියද, සංගීත රසිකයින්ගේ නම් අඩුවක් නොවූ බවට පැහැදිලිවම පෙනී යයි. අමරදේවයන්ගේ නන්දා මාලිනියගේ ගී ඇසීමට මෙන්ම වික්ටර් ගේ ප්‍රසංග වෙනුවෙන්ද ජනයා පෝලිමේ සහභාගි විය. ත්‍රී සිස්ටර්ස්, ගෝල්ඩන් චයිම්ස්, ලා බම්බාස්, ආදී කණ්ඩායම් සංගීතයටද තැනක් තිබූ අතර ඒ සංදර්ශන වෙනුවෙන්ද ජනයා පෝලිමේ සහභාගි විය. එයින් පසු එවකට යොවුන් වියේ වූ ජිප්සීස් සුනිල් මෙන්ම නිහාල් නෙල්සන් වැනි චරිතද සංදර්ශන වේදිකාව ඔපවත් කලහ. තැටි වලින් කැසට් පට කරා ගිය මුල්ම යුගය වූ 70 දශකයේ ගුවන් විදුලිය හරහාද සෑහෙන ශ්‍රාවක පිරිසක් ගීතයට සවන් දුන්හ. ජෝති, මිල්ටන්, ධර්මදාස වල්පොල ද මේ යුගයේම ප්‍රසිද්ධ ප්‍රසංග වේදිකා හැඩ කළෝය. ඒ අනුව බලන කල අද ලංකාවට වඩා කලාකාමී ජනකායක් විසූ 70 දශකය ලාංකික ගී කලාවේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකිය හැකිය.
Cover Image Source – akuphone.bandcamp.com
Leave a Reply