ලාවට හිත රිදුණ හාදයෙක්ට කරන්න හොඳම නැති දේ තමයි මල් සින්දුවක් අහන්න දෙන එක. මොකද ඒක ඇහුවට පස්සේ ඒ යකාගේ මොන මොන නහර පිපිරිලා මොන නස්පැත්තියක් වෙයිද කියලා කියන්න බැරි නිසා. ලංකාවේ සංගීත කලාව මොන වගේ ආශික් ද කියනවා නම් ඒ වගේ වයිරස් සින්දු කැටගරියකුත් තියනවා. වෙන මොනම රටකවත් නැති මේ මල් සින්දු එකක් අහලා අනෙක අහනකොට වෙනසක් දැනෙන්නෙත් නැති තරම්. ඉතින් මේ සමාන ලක්ෂණ මොනවාද?
1. මියුසික් එක

Source – theodysseyonline.com
හැම සින්දුවෙම තියෙන්නේ එක ම විදියේ මියුසික් ඉස්ටයිල් එකක්. සංගීත භාණ්ඩ තවදුරටත් සින්දුවක් ගහන්න ඕනෑද කියලා හිතන තරමටම යාන්ත්‍රීකරණය වෙච්ච අමුතු මියුසික් එකක් තමයි ඒක. සින්දුවේ වචන කියන්නත් කලින් අඳෝනාවක, මළ ඈඬියාවක තියන මුස්පේන්තු ගතිය මේ මියුසික් එකෙන් ලැබෙනවා. ගිටාර් එකක සම්මාදම හොඳට දැනුණට කිසි අකූස්ටික් ගතියක් නෑ. ඈත තියා මේ සද්දේ අඳුරගන්න පුළුවන්. අනේ මම දන්නෑ චාට් ෂෝවල හොඳම දහය කියලා පෙන්නනෝ දහය දහ විදියක් නැහැ.
2. වචන
මියුසික් එකටම තක්කිට තරිකිට ගැලපෙන්නේ මේ හැම සින්දුවකම එන වචන. මල් සින්දු හිට් වෙලා එන්න කලින් තිබුණ සින්දුවල කියන්න තිබුණ දේ වක්රාකාර විදියට ලස්සනට කියලා තිබුණා. ඒත් දැන්, මලක් ගත්තා මල පරවුණා වගේ කියන්න ඕනි දේ කෙලින් ම කියලා දානවා. දාලා ගියා නම් ඒක දාලා ගියෝ කියලම කියනවා. ඕනි ගොනෙක්ට අද කාලේ වචන ටිකක් එක්කහු කරලා ආ මේක සින්දුවක් කියලා දෙන්න පුළුවන් කාට හරි ගායනා කරන්න.
3. ගායනය

Source – feedyeti.com
මල් සින්දු කියන්න සෑහෙන ශක්තියක් ඕනි. මොකද ගායනයකට වඩා මෙතන තියෙන්නේ අඳෝනාවක් නිසා. එතකොට කටින් සින්දු කියනවට වඩා බොක්කෙන් කියන්න ඕනි. බොක්ක ඇතුළේ මල්වෙඩි පත්තු කරලා ඒ පිපිරුණාම එන දැවිල්ලට කෑ ගහනවා වගේ එකක් තමයි වෙන්නේ. එකම ගායන ශෛලියක් තියෙනකොට සින්දු එකකින් එකක් වෙන් කරලා අඳුරගන්න අමාරුයි.
4. මියුසික් වීඩියෝ එක
මල් සින්දුවකට පැවැත්මක් නෑ වීඩියෝ එකක් නැත්නම්. ඒ කිව්වේ අහන දේට වඩා බලන දේට ආකර්ෂණය වන රසික පිරිසක් වැඩි වෙලා නිසා. මේක වෙනම කර්මාන්තයක් වෙලා ඉවරයි. කොහොම හරි ගොඩක් මල් සින්දුවල කොල්ලයි කෙල්ලයි හරි ලස්සනට ඉඳලා අන්තිමේදි කොල්ලා බලුදුක් විඳිනෝ කියලා පණිවිඩයක් එළියට දාන එක තමයි වෙන්නේ. මේවයේ රඟපාන අය පුංචි කාලේ අම්මා කිරිදෙන්නැති ටිකට බෑඟිරි දීලා ඇඬුවට පස්සේ අඬන්නේ මියුසික් වීඩියෝ එකේ විතරයි. ඒ තරන් කාලයක් තිස්සේ ඉඳන් හිතේ හිරකරගෙන හිටපු දුක රාජාංගනේ වාන් දැම්මා වගේ තමයි.
5. සෘණාත්මක බව වැඩිවීම

Source – digest.bps.org.uk
මල් සිංදු තනිකරම බැරිබැරියාව ගැන කියන්න බැඳිලා ඉන්නේ. නැති එකයි බැරි එකයි ගැන කියවීමක් නැත්තම් ඒක මල් සින්දුවක් නෙවේ. මේක හෙන සීරියස් කතාවක්. ඇයි වදේ උදේට බස් එකට නැග්ගම ඇහෙන්නෙත් මේවා. දවස පටන්ගන්න මෙහෙම කික් එකක් ලැබෙනකොට කෝමද ඉතින්. නැති බැරි එකත් වෙන විදියකට කියනවට වඩා නෑ… බෑ… කියලා අමුවෙන් ම දමලා ගහලා තියෙන්නේ.
6. බස්වල තේමා ගීත වීම

Source – road-media.com
මල් සින්දුවලට පොදු වුන තවත් ලක්ෂණයක් තමයි මේවා බස්වල නිතර දෙවේලේ යන එක. මේ නිසාම මේවට බස් සින්දු කියන නමත් වැටිලා තියෙනවා. බස් එකකට නගින්න බෑ හිසරදේ. බස්වල සාමාන්‍යයෙන් කසිලිබිසිලි සින්දු යන්නේ රියදුරු තැනට දොයිමත හැදෙන නිසා කියලා කියනවනේ. හැබැයි එක දිගට මල් සින්දු අහන්න ගත්තොත් මොන මානසික රෝගේ හැදිලා නතර වේද කියන්න බෑ.
7. වැඩි වශයෙන් පිරිමි පාර්ශ්වය ගායනා කිරීම

Source – youtube.com
ගායිකාවන්ට වඩා මේවා කියන්න පෙළඹෙන්නේ ගායකයන්. සමහරවිට අර බොක්කෙන් එනවාය කිව්ව එක සෙන්ටිමෙන්ටල් විදියට කියන්න පුළුවන් නිසා වෙන්න ඇති. ඉස්ටේජ් එකකට නැග්ගම මල් සින්දුවත් නටන්න පුළුවන් විදියට කියන්නේ ගායකයන්. සින්දුවෙන් කෙල්ල මළා කියලා කිව්වත් ඒකත් බජව් ටයිප් එකෙන් කියන්න ගායකයන්ට පුදුම හැකියාවක් තියෙන්නේ.
අවවාදයයි: හැකිතාක් අඩුවෙන් මල් සින්දු අහන්න. ඇහෙන තැන්වල ගැවසෙන එක අඩුකරන්න
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
Leave a Reply