ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූයේ ශ්‍රී ලංකාවෙනි.ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ලොව පුරා සමස්ථයක් ලෙස ස්ත්‍රීන් ගේ දේශපාලන දායකත්වය තරමක් අඩුය. එහෙත් ඇතැම් රටවල පුරුෂයින්ටත් වඩා දක්ෂ ලෙස රටවල් පාලනය කරන කාන්තාවෝ වෙති. රටට ජනතාවට නායකත්වය දෙන ඒ වීරවරියෝ, කාන්තාව නම් සියුමැලිය, ලඳ බොළඳය, ඇයට සීමාවන් තිබේය යන පුරාණ මත වලින් ඔබ්බට කාන්තාව ගෙනයෑමට සමත් වී තිබේ.
1. ඇන්ජෙලා මර්කල්
2005 සිට නොකඩවා මේ වනතෙක් ජර්මානු චාන්සලර් වරිය ලෙස සැලකෙන ඇන්ජෙලා මර්කල් ලෝකයේ අද සිටින ප්‍රබල තීරණාත්මක චරිතයකි. 63 හැවිරිදි ඇන්ජෙලා 1989 ට පෙර සමාජවාදී සහ ධනවාදී ලෙස බෙදී තිබුන ජර්මනියේ නැගෙනහිර ජර්මානු කොටස හෙවත් සමාජවාදී පාර්ශවයේ සිටි අයෙකි. රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ඇන්ජලා අඩු වයසකින් ජර්මන් චාන්සලර් පුටුවට ළඟා විය. ඇයගේ කාලය තුළ ජර්මනියට සංක්‍රමණික ගැටළු, ආර්ථික ගැටළු වලට මුහුණ පාන්නට සිදු විය. ඒ අවස්ථාවන්හිදී නොබියව ඒවාට රටක් ලෙස මුහුණ දීමට ජර්මනියට මර්කල් නායකත්වය සැපයීය. රුසියාව යුක්රේනය හා යුධ වදින්නට සැරසෙන විට, සමස්ථ යුරෝපා සංගමයම එකතු වී රුසියාවට රතු එළි නිකුත්කර සාම මාවතකට අවතීර්ණ කරගැනීමට ඇන්ජෙලාගේ නායකත්වය ඉවහල් විය.
2. ශෙයික් හසීනා
70 හැවිරිදි ශෙයික් හසීනාගේ පියා බංග්ලාදේශයේ හිටපු ජනාධිපතිවරයෙකි. බංග්ලාදේශය 1991 සිට බෙගම් කලීඩා ශියා සහ ශෙයික් හසීනා යටතේ වරින් වර කාන්තාවන් අතින් පාලනය වන මුස්ලිම් රාජ්‍යයකි. 2009 සිට මේ දක්වා බංග්ලාදේශය පාලනය කරන ශෙයික් හසීනාගේ රජය බංග්ලාදේශය වෙත ආයෝජනයන් අද්දවා ගැනීමට යම්තාක් දුරකට සමත් වී තිබේ. එහෙත් දකුණු ආසියානු රටවලට ආවේණික වූ දූෂණය භීෂණය සම්බන්ධ සිද්ධින් වලට ශෙයික් හසීනාගේ නමද විටින් විට ඇතුළත්ව තිබේ. ඇයට එරෙහිව 2007-2009 කාලයේ දූෂණ චෝදනා එල්ල වූ විට ඇය ඒවාට නොබියව මුහුණ දෙනවා යැයි කීවද වෛද්‍ය ප්‍රතිකාර පිණිස යැයි පවසා ශෙයික් හසීනා විදෙස් ගත විය. අපේ රටේ නමගිය දේශපාලකයින්ගේ දූ දරුවෝ මෙන්ම ශෙයික් හසීනාගේද දූ දරුවෝ කැනඩාවේ ඇමරිකාවේ සැපවත් ජීවිත ගත කරති.
3. තෙරේසා මේ
වර්තමාන එක්සත් රාජධානියේ නායකයා වන්නී තෙරේසා මේය. යුරෝපා සංගමෙන් එක්සත් රාජධානිය හෙවත් එංගලන්තය ඉවත්ව යන්නේද නැද්ද යන වග අරඹයා 2016 දී ජනමත විචාරණයක් පැවත්විණි. එයින් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැයි තෙරේසා මේ විශ්වාස කල අතර ඩේවිඩ් කැමරන් හිටපු අගමැතිවරයා තවදුරටත් එංගලන්ත රට යුරෝපා සංගමයේ සිටිය යුතුයැයි විශ්වාස කලේය. ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව ඩේවිඩ් කැමරන්ගේ මතය පරාජය වූ අතර තෙරේසා මේ ගේ පාර්ශවය ජයගත්තේය. මතය පරාජය වීමත් සමග කැමරන් ඉල්ලා අස්වූ අතර තෙරේසා මේ එක්සත් රාජධානි පුටුවට පත් විය. ඇය අපේ දේශපාලකයන් කරනවාක් මෙන් පොරොන්දු වචනයට සිමා නොකොට, අඩු බලපෑමක් ආර්ථිකයට සිදුවන පරිදි යුරෝපා සංගමයෙන් එංගලන්තය පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කළාය. අග්‍රාමාත්‍ය ලෙස පත්වීමට පෙර ස්වදේශ කටයුතු සම්බන්ධ ලේකම් ලෙසද විශාල වැඩ කොටසක් ඉටු කරන්නට තෙරේසා මේ සමත්වී තිබේ.
4. ත්සායි ඉන් වෙන්ග් (Tsai-Ing Wen)
චීනයට යාබද තායිවානය නැමැති දූපතකි. වර්ග කිලෝමීටර 36,000ක් වූ මේ දිවයිනේ ලංකාවට සමාන ජනකායක් වෙසෙති. මහා ඉන්දියාවට යාබදව ස්වාධීන රාජ්‍යයක් ලෙස ලංකාව පවතිනවා වැනිව මහා මහජන චීන සමූහාණ්ඩුවට යාබදව පවතින ස්වාධීන රාජ්‍යයකි තායිවානය. චීනයේ දේශපාලන පෙරළියක් සමග තායිවානය චීන ජනරජය ලෙස හැඳින්වූ වෙනම කොටසක් බවට පත් විය. මෙම කොටස චීනයට නැවත එකතු කරගැනීමට මහජන චීන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන මහා ගොඩබිම විශාල උත්සාහයක් ගත්තේය. එහෙත් තායිවානය නැමැති දූව මහා චීනයට එකතු වීම ගැන දැඩි මතධාරී වර්තමාන තායිවාන ජනපතිනිය ත්සායි ඉන් වෙන්ග් එකහෙළාම අකමැතිය. ඇගේ අකමැත්ත කලින් පැවති රජයටත් මහජනතාවටත් දිගින් දිගටම දැනුම් දීමෙන් අනතුරුව ඇය නව ජනාධිපති ලෙස 2016 දී මහජන ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ලදී. ඇමරිකාව සහ ජපානය සමග හොඳ හිත වර්ධනය කරගත් අවිවාහක තායි ඉන් තායිවානයේ ආදීවාසී ජනයාගේ සම්භවයක් සහිත කාන්තාවකි.
5. බිද්යා දේවි බණ්ඩාරි
දකුණු ආසියානු රටවල් බොහොමයකම කාන්තා ජනපතිවරුන් අගමැතිවරුන් පත් වී තිබෙන අතර වර්තමාන නේපාල රටේද මුල් පුටුව හොබවන්නේ කාන්තාවකි. පරිසර සංරක්ෂණය ගැන වඩාත් උනන්දු ඇය ලොව උසම කඳු පියස්සට යාබද අභ්‍යන්තර රටක් වන නේපාල පරිසරය රැකීම ගැන උනන්දු වූ ක්‍රියාකාරිනියකි. ඇය අද එවැනිම අභ්‍යන්තර කඳුකර රටක් වූ ස්විට්සර්ලන්තයෙන් පරිසරය රැකීම ගැන උපදෙස් ලබාගෙන නේපාල පරිසරය රැකීමට පියවර ගනිමින් සිටී. දේශපාලන පවුලකින් පැවත ආ බිද්යා දේවිගේ සැමියා 1993 දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇත. ඇයට දරුවන් දෙදෙනකු සිටී. ඇයට මැතිවරණ කල්දැමීම, ඇගේ හිතවතුන් රජයට ඇතුළත් කරගැනීම ආදී චෝදනා විපක්ෂය විසින් ඉදිරිපත් කරයි.
6. අර්නා සෝල්බර්ග්
නෝර්වේ රට එක්තරා කාලයකදී ලංකාවේ ත්‍රස්තවාදී අර්බුදයට සාමකාමී විසඳුමක් දෙන්නට මැදිහත් වූ රාජ්‍යයකි. වර්තමාන නෝර්වේ මුල් පුටුව වන අග්‍රාමාත්‍ය තනතුර හොබවන්නේ අර්නා සෝල්බර්ග් නැමැති 57 හැවිරිදි කාන්තාවකි. සභාග රජයක් ගෙන යන ඇය 2013 දී පත්වුණ පසුව නැවතත් 2017 දීද මහජන ඡන්දයෙන් තේරී පත්වුණි. 1985 න් පසුව එරට දක්ෂිණාංශික පක්ෂයක් නැවත බලයට ආ අවස්ථාවක් ලෙස 2017 මැතිවරණය දැක්වේ. දරු දෙදෙනකුගේ මවක් වන අර්නා යුරෝපයේ තෙල් අපනයනයෙන් මුල්ම තැනකට පැමිණ සිටින නෝර්වේ රට එම ක්ෂේත්රයෙන් තවත් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන්නීය. ඒ හරහා දියුණු රටක් ලෙස නෝර්වේ මහජනයා මත පැටවුනු 45%ක් තරම් අධික බදු බර අඩු කරලීමට හැකි වෙතැයි අර්නා සෝල්බර්ග් බලාපොරොත්තු වේ.
කාන්තා භූමිකාව නම් මේ යැයි කොටුකොට දක්වා සියුමැලි වැඩකටයුතු වලට පමණක් කාන්තාව ලඝු කිරීම දැන් ලෝකයෙන් ඈත් වෙමින් පවතී. ඇයට පුරුෂයින් සේම රාජ්‍ය පාලනය වැනි භාරදූර කාර්යයන්ද සාර්ථකව කල හැකි යැයි ඇන්ජෙලා මර්කල්, තෙරේසා මේ සහ ත්සායි ඉන් වෙන් වැනි ඉදිරිගාමී චරිත විසින් අපිට ඇස් පනාපිටම පෙන්වා දී තිබේ. හුදෙක් ස්වාමියා මියගිය පසු ඉදිරියට පැමිණෙන කනවැන්දුම් කාන්තා දේශපාලනයෙන් ඔබ්බට සැබෑ කාන්තා හඬක් අවදි කර, වඩාත් ඉදිරිගාමී කාන්තා දේශපාලනයක් ඇති කරගැනීමට අපද උත්සාහ කල යුතුය.
Cover Image Source – lifie graphics
Leave a Reply