කැදැල්ලට දරු පැටියෙක් එකතු කරගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙන උපදෙස් 7ක්

What to think before making a baby

දරුවෙක් කියන්නෙ සම්පතක්. හැබැයි එහෙමයි කියලා තමුන්ගෙ කැමැත්තට ඇරෙන්න අම්මලාගෙ බල කිරීමට, රට ජාතිය ගොඩ දාන්න, තමුන්ට කරන්න බැරි වෙච්ච දේවල් කරවගන්න, නාකි වුනාම බලවගන්න දරුවෙක් හදන එක නං නොකළ යුතුම දෙයක්. එනිසා දරුවෙක් හදන්න ආසා නම් නිකංම දරුවෙක් හදන්න කලින් මෙන්න මේ දේවල් ටික හිතමින් සූදානම් වෙන්න.

 

1. ආර්ථික පසුබිම

What to think before making a baby

Source – startmarriageright.com

සල්ලිද වටින්නෙ? මිනිස්සුද වටින්නෙ? සල්ලිනෙ වටින්නෙ. සල්ලි නැත්තං මේ සමාජෙ කරන්න පුළුවන් දේවල් බොහොම අඩුයි. අන්න ඒ නිසා තමුන්ගෙ ආර්ථික පසුබිම හදාගන්න. ළමයෙක් කියන්නෙ ලොකු වියදමක්. දෙන්න දෙමාල්ලොන්ට සල්ලි නැත්තං මාසෙ අන්තිම දවස් ටික වේලක් ඇර වේලක් කකා ජීවත් වෙන්න පුළුවන් වුනත්, දරුවෙක් ඉඳිද්දි එහෙම බෑ. අතේ සල්ලි තියෙන්න ඕන හදිස්සියකට වියදං කරන්න. හදිසි කරදරයක් වුනොත් ටික කාලයක් ගොඩ දාගන්න පුළුවන් වෙන්න ආයෝජිත ඉතුරුවක් තියෙන්න ඕන. ඊට අමතරව දරුවාගේ පෝෂණය සහ සනීපාරක්ෂාව වෙනුවෙන් සැළකිය යුතු වියදමක් දිනපතා දරන්නත් සිද්ධ වෙනවා.

 

2. රෝග

What to think before making a baby

Source – everydayhealth.com

දරුවකු සාදනවානම් දරුවා රෝගවලින් බේරාගැනීම ඔබ සතු පරම වගකීමක්. වැඩුණු මිනිසුන් සතු ප්‍රතිශක්තිය දරුවන් තුළ නෑ. එනිසා දරුවකු බිහිකරන්නට පෙර නිවස අවට ඩෙංගු මදුරුවන් සිටිනවාද වැනි කරුණු ගැන විශේෂ අවධානයක් දැරිය යුතුමයි. නිවසේ පිළිකාකාරක දෑ තිබෙනවාද? නිවැසියෙකු නිතරම නිවස තුළ දුම්පානය කරනවාද? වැනි කරුණුත් ඒ අතරින් ප්‍රධානයි. එසේම මවු හෝ පිය පාර්ශවයෙන් එන ජානමය රෝග සම්බන්ධයෙනුත් දරුවෙකු සදන්නට බලාපොරොත්තු වෙන දෙමවුපියන් සිතිය යුතුමයි. ඒ වගේම ඒඩ්ස් වැනි‌ රෝග ඇතිද යන්න පිළිබඳවත් දරුවෙකු සෑදීමට මත්තෙන් සිතිය යුතුයි.

 

3. මවගේ රැකියාව

What to think before making a baby

Source – hbr.org

වර්තමානයේ මධ්‍යම පාන්තික පවුලකට පවතින ආර්ථික රටාවට තනි පුද්ගල රැකියාවකින් මුහුණ දීමට අපහසුයි. එනිසා බොහෝවිට මවටත් රැකියාවක් කරන්නට සිදුවිය හැකියි. එනිසා දරුවෙකු හදන්න පෙරාතුව මව විසින් තම රැකියා ස්වභාවය, ගමනාගමනය, රැකියා ස්ථානයේ සිට රෝහලකට ඇති දුර, තමන්ට ලැබෙන ගර්භණී නිවාඩු, රැකියා ස්ථානයේ සිට නිවසට ඇති දුර, රැකියාවේ ස්වභාවය අනුව රාත්‍රී වැඩ කටයුතු හෝ බර උසුලන වැඩ කටයුතු කරන්නට සිදු වෙනවාද? වැනි දෑ සියල්ල සොයා බලා, ඒවාට ප්‍රධානීන් සමග කතාබස් කර විසඳුම් සපයා ගත යුතුයි.

 

4. රැක බලාගැනීම

What to think before making a baby

Source – thebump.com

දරුවා බිහි කළ පසු දරුවා රැක බලාගැනීම පිළිබඳවත් අනිවාර්යෙන්ම දරුවකු බිහිකිරීමට ප්‍රථම සිතිය යුතුමයි. දරුවා ඉපදීමෙන් පසු මාතෘ නිවාඩු අවසානයේ මව රැකියාවට පිටත් වෙනවාද? එසේනම් දරුවා බලාගැනීම ‌තමන්ගේ දෙමවුපියන්ට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට, මෙහෙකාරියකට පැවරෙනවාද? ඒ අය තමන් හා සමානවම විශ්වාස කළ හැකිද? මේ අයුරින් දරුවා ඉපදුණු පසු රැක බලාගැනීම යන කාරණය පිළිබඳ පූර්ව සැළසුම් දරුවෙකු බිහිකරන්නට ආශා කරන දෙමවුපියන් සිතා තිබිය යුතුයි.

 

5. මනස සකසාගැනීම

What to think before making a baby

Source – pregnancyandbaby.com

ඕන කැපකිරීමක් කරන්න මනස හදාගන්න අවශ්‍යයි. අපිට දවසෙන් දවස අහන්න ලැබෙන දරුවන් කුණු ගොඩවල් වල වැසිකිළි වල දමා යෑම්වලට බොහෝමයක් හේතුව වෙන්නෙ මේ මනස සකසා නොගැනීමයි. තමුන් නොකා හෝ දරුවාගේ කුස පුරවන්න අදිටන් කරගෙන මිසක් දරුවෙක් හදන මූලික සිතුවිල්ල හිතට ගන්න එපා. ඔබම සිතන්න, ඔබේ උවමනාවට හෝ නුවුවමනාවට කුසින් බිහිවන, කිසිත් නොදන්නා දරුවෙක් ඔබේ ක්‍රියාකාරකම් නිසා අපහසුතාවෙන් සිටිනවා නම් එහි වගකීම ඇත්තේ ඔබට නොවේද?

 

6. පෙර සූදානම

What to think before making a baby

Source – zenparent.in

මේ සියල්ල සමග දරුවෙක් සෑදීමට ඔබ මනස සකසා ගත්තානම් ඔබට පෙර සූදානම ඉතා වැදගත්. ගැබ් ගැනීමට මාස තුනකට පෙරාතුව ෆෝලික් ඇසිඩ් පෙති ලබාගන්න. ඒ කාලය තුළ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. ගර්භණී කාලයේදී මුහුණ දීමට සිදුවන අපහසුතා ගැන දැනුම්වත් වී සිටීම ඔබට ඉදිරියට බොහෝසෙයින් ප්‍රයෝජනවත් වේවි. දරුවා පිළිබඳ ආශාව වැඩි කරගන්න. මේ පෙර සූදානම දරුවෙකු ලබන්නට ගර්භණී සමය ඇරඹීමට පෙර තිබීම ඉතා වැදගත්.

 

7. නිසි පෝෂණය

What to think before making a baby

Source – parentinghub.co.za

දරුවෙකු බිහිකරන්නට සූදානම් වන අම්මෙකු නිසි පෝෂණය පිළිබඳ සැළකිලිමත් විය යුතුමයි. වෛද්‍ය උපදෙස් මත ඒ ඒ සිරුරට ගැලපෙන අයුරින් සේම, පොදුවේ ආහාර සැකැස්ම විය යුතු ආකාරය අනුව මවක් පෝෂණය විය යුතුයි. නැතිනම් එය දරුවාට අහිතකර ලෙස බලපෑමක් සිදු කළ හැකියි. පෙර පැවසූ පරිදිම දරුවකු බිහිකිරීමට අප අරමුණු කරගත්තා නම්, එම දරුවා නිරෝගීව තබාගැනීමත් අපගේ වගකීමක් බවට පත් වන නිසා, අනිවාර්යයෙන්ම දරුවා බිහිකරන්නට පෙරාතුව සිටම මවගේ නිසි පෝෂණය පිළිබඳ අවධානයක් දැරීම වැදගත්.

 
Cover Image Source – womensbrainhealth.org
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *