චොකලට් කිව්වම පෙරේතකමක් එන්නෙ පොඩ්ඩොන්ට විතරක් නෙවෙයිනෙ… ලොක්කොන්ට පොඩ්ඩොන්ට ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් චොකලට් වලින් හදන රසම රස කෑම රෙසිපි එක්ක, වෙනස් රසකට හදාගන්න පුළුවන් හොට් ඇන්ඩ් කූල් චොකලට් ඩ්‍රින්ක්ස් දෙකකුත් අපි අරන් ආවා.
1. ඩබල් චොකලට් මෝකා මූස් (Double Chocolate Mocha Mousse)

Source – womansday.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක් කුකින් චොකලට් 110g
- ඩාර්ක් කුකින් චොකලට් 220g
- බිත්තර කහමද 2 (කුඩා නම් 3ක්)
- ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 1 1/2
- කුඩු කරගත් සීනි මේස හැඳි 5
- හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කප් 1 1/2 (සුපිරි වෙළඳසැලකින් ලබාගන්න පුළුවන්)
- ඩබල් බොයිල් ක්‍රමයට චොකලට් වර්ග දෙක දියකරගෙන නිවෙන්න පැත්තකින් තියාගන්න.
- ඒ අතරතුර බිත්තර කහමද, කෝපි කුඩු, හෙවි ක්‍රීම් කප් 1/2ක් සහ සීනි හැඳි 4ක් වෙනම බඳුනක දමා මිශ්‍ර කර, ලිප තබා විනාඩි 2ක් 3ක් පිසගන්න. (උතුරවා ගන්න අවශ්‍ය නෑ විනාඩි දෙක තුනක් රත් වෙන්නයි ඕන)
- මේ මිශ්‍රණය නිවෙන්න තියාගත්ත චොකලට් වලට එකතු කරගෙන, කලවම් කරල පැය භාගයක් ෆ්‍රිජ් එකට දාගන්න.
- දැන් ඉතිරි හෙවි ක්‍රීම් කප් 1/2ට සීනි ඉතිරි හැන්ද එකතු කරල හොඳින් බීට් කරගන්න. ඒකට ශීත කරගත්ත චොකලට් මිශ්‍රණය එකතු කරන් පැතලි හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න. සුදුසු භාජනයකට දාල විනාඩි 20ක් ශීත කරගෙන පිලිගන්වන්න.
2. චොකලට් බ්‍රෙඩ් පුඩින් (Chocolate Bread Pudding)

Source – sallysbakingaddiction.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් 140g
- දිය කරගත් බටර් කප් 1/8
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1 1/4
- වැනිලා තේ හැන්දක්
- කුකින් චොකලට් 225g
- බිත්තර කහමද 3
- සීනි කප් 1/3
- සරසා ගැනීමට කොකෝවා පව්ඩර් මේස හැන්දක්
- පොඩි භාජනයකට පාන්, කොකෝවා පව්ඩර්, බිත්තර සහ සීනි හැර අනෙක් සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන, මිශ්‍රණය උතුරන තුරු විටින් විට හැඳි ගාමින් රත් කරගන්න.
- වෙනම බඳුනක සීනි සහ බිත්තර කහ මද විස්ක් කරගන්න. එයට සාදාගත් චොකලට් මිශ්‍රණය එක් කරමින් විස්ක් කරගන්න.
වීදුරු බෝල් එකකට කැබලි කරගත් පාන් එක් කර, ඒකට උඩින් සාදාගත් මිශ්‍රණය දමා, මිශ්‍රණය පාන් වලට හොඳින් උරාගන්නකම් හැන්දකින් තද කරන්න. - බේක් කරන්න සුදුසු භාජනයකට මේ පාන් මිශ්‍රණය එකතු කරගෙන, උතුරන වතුර ටිකක් එකතු කරගත් තැටියක් මත තබා සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න. නිවුනු පසු කොකෝ පව්ඩර් වලින් සරසාගන්න.
3. මෙක්සිකන් හොට් චොකලට් (Mexican Hot Chocolate)

Source – seriouseats.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක් චොකලට් හෝ මිල්ක් කුකින් චොකලට් 85g
- සීනි මේස හැන්දයි
- කුරුඳු කුඩු තේ හැඳි 1/2
- කිරි කප් 4
- වැනිලා තේ හැඳි 1/2
- අවශ්‍ය නම් විප්ඩ් ක්‍රීම් ටිකක්
- චොකලට් සීනි සහ කුරුඳු එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. කිරි ටික භාජනයක දමා ලිපෙන් තබා, ඒකට චොකලට් මිශ්‍රණය එක් කර අඩු ගින්දරේ චොකලට් දිය වෙන තුරු රත් කරගන්න.
- ලිපෙන් ඉවත් කර, බ්ලෙන්ඩ් හෝ මදක් බීට් කරගෙන, උණු වතුරෙන් සෝදාගත් මග් එකක පිලිගන්වන්න. අවශ්‍ය නම් විප්ඩ් ක්‍රීම් වලින් සරසාගන්න.
4. චොකලට් පොට්ස් (Chocolate Pots)

Source – epicurious.com
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කප් 3/4
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- ෆ්‍රෙශ් මිල්ක් කප් 3
- කුකින් චොකලට් 180g
- බිත්තර කහ මද 4
- වැනිලා තේ හැඳි 1/2
- ලුණු පින්ච් එකක්
- වැනිලා සහ චොකලට් හැර අනික් සියල්ලම බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගෙන, ලිප තබා අඩු ගින්දරේ විනාඩි දහයක් පමණ රත් කරගන්න. උතුරන්නට නොදී ඝණ වනතුරු දිගටම හැඳි ගාන්න.
- ලිපෙන් ඉවත් කර වැනිලා සහ චොකලට් එක් කර, චොකලට් ටික දිය වෙනතුරු මිශ්‍ර කරගන්න. පිළිගැන්වීමට සුදුසු භාජන වලට දමා නිවෙන්නට හැර පැය හතරක් ශීත කරන්න. කැමති නම් කොකෝවා පව්ඩර් ඉස සරසාගන්න.
5. චොකලට් මිල්ක්ශේක් (Chocolate Milkshake)

Source – kitchenstories.io
අවශ්‍ය ද්‍රව්‍ය
- චොකලට් අයිස් ක්‍රීම් කප් 4
- ෆ්‍රෙශ් මිල්ක් කප් 2
- දුඹුරු සීනි කප් 1/4
- සුදු සීනි කප් 1/4
- උඩින් දමා ගැනීමට කැමති නම් විප් ක්‍රීම් සහ චොකලට් සිරප්
- අයිස් කැට
- අයිස් කැට, විප් ක්‍රීම් සහ චොකලට් සිරප් හැර අනෙක් සියල්ලම එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. අවසානයට අයිස් කැට දමා නැවත බ්ලෙන්ඩ් කර, වීදුරුවට දමාගන්න. විප් ක්‍රීම් සහ චොකලට් සිරප් උඩින් දමා පිලිගන්වන්න.
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
Leave a Reply