කට්ටිය ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වුනාට පස්සෙ ඒක ඉවර වෙන විදි ගොඩක් තියෙනවා. පොරොන්දු, හීන වගේම බොරු හේතුත් ඒ අතරේ පිරිලා. අපේ අද කතාව ඒ ගැන. ඇත්තටම අපි බීලා ඉවර වෙච්ච ගමන් කියන්නෙ එකම හේතු ටික නේද කියලත් හිතෙනව මේක දැක්කම. මීට වඩා වෙනස් කතා තියෙනවනං අපිට කියන්න. ඒ වගේම මේ කතා ටික කියන කට්ටිය ගැනත් අපිට කියන්න.
1. එම විට පවසනු මුවින් ඔබේ

Source – thedailybeast.com
බීලා බීලා අවසානයේ මහා මත් ගතියකින් හිස වෙලා ගන්නව. අන්තිමට පොඩ්ඩක් ඔලුව තියාගත්තම වමනෙට එනව. කබරෙක් කානුව දිගේ ඇදීගෙන ගියාට පස්සෙ ඔන්න විශාල ඇඟපත අමාරුවක් එක්ක කෙමෙන් කෙමෙන් සිහිය එන්න ගන්නව. අන්න එතකොට මුලින්ම ඔලුවට එන දේ තමයි මං දැන් කොහෙද ඉන්නෙ? මං මේ මොකද කරන්නෙ කියන එක. යාළුවොත් තමුං වගේම අමාරුවෙන් ඇදි ඇදි ඉන්නව දැක්කම ඔය ප්‍රශ්න දෙකටම උත්තර හම්බෙනවා. ඒ එක්කම හිතට එනවා දැඩි අධිෂ්ඨානයක්. ආයෙ මං බොන්නෙ නෑ. ඊට පස්සෙ වීරයා වගේ ඕක සභාගත කරනවා. ලාවට හරි සිහිය තියෙන යාළුවෙක් හිටියොත් එතකොට හිනාවෙනවා. අනිත් එවුන් ඒ කතාව සභා සම්මත කරනවා.
2. මෙහෙම නෙමෙයි අරෙහෙම

Source – now-here-this.timeout.com
ඔන්න ඉතිං පිස්සුවෙන් වගේ බීලා දවස අවසානයේ ඇඟේ අමාරුවත් එක්කම යාළුවො ගැන මහා ලොකු ආදරයක් ඇති වෙනවා. මේ තරං සහෝදරයො ජීවිතේට තවත් නෑ කියල හිතෙනව. ඊට පස්සෙ යම් ප්‍රකාශයක් මොවුන් වෙනුවෙන් සිදු කළ යුතුයි කියල සිත දැඩිව තීරණය කරනව. අන්න එහෙම තීරණය කරපු සිතකින් එක් තරුණයෙක් හඬ නගලා කියනව මෙන්න මෙහෙම. මෙහෙම බෑ ඊළඟ පාර සුපිරියට කරමු.
3. මිස්ටර් හෝම්ස්

Source – bbcamerica.com
මේකත් බෙබ්ස් ටේබල්වල ඇහෙන දෙයක්. සමහර රෙස්ටුරන්ට් කොහොමත් තමුන්ගෙ කස්ටමර්ට සිහිය අහිමි වුනාම ටේබල් එකට එවපු නැති බ්ලැක් පෙපර් පෝක් එහෙම බිලට දානව. ඒ වගේම සමහර කොල්ලො ඉන්නව ඔන්න ඔය වගේ දේවල් වලින් දිගින් දිගටම පීඩා විඳලා බේබදු රහස් පරීක්ෂක තත්ත්වයට උසස් වුනු. ඉතිං උන් කරන්නෙ කෙලින්ම බීලා අවසානයේ විසිර යන්න කලින් බිල අතට අරං කපුව කේන්දරේ දිහා කන්න වගේ බලනව වගේ බිල දිහා බලන එක. අන්න ඒ වෙලාවට කලියෙන් ඌ කරනව ප්‍රකාශයක්. හොඳට බලපං බිලට බොරු ගණං දාලද කියලා?
4. තව එක සැරයක්

Source – youtube.com
මේකත් අර යාළුවො ගැන විශාල ආදරයක් ඇතිවීමේ ද්විතීයික අවස්ථාවක්. බෝතල් හතරක් ඉවර වෙලාවත් හිතේ තියෙන ඔක්කොම දේවල් මුං එක්ක කතා කරන්න බැරි වුනා. මේ සහෝදර බැම්ම ඉස්සරහට තියාගන්න ඕන. අපි මෙහෙම මාස තුනකට පාරක් සෙට් වෙලා බෑ. අන්න ඒ නිසා මේ කියන ආදරය සිත තුළ ඇති වුනු බුවා යම් ප්‍රකාශයක් කරනවා. ලබන සතියෙ ආයෙ සෙට් වීමක් දාගමු.
5. අන්තිම කැමැත්ත

Source – businessinsider.com
මෙන්න මේ කතාව තමුන්ගෙ ගෙදර නොබොන මිනිස්සු අතින් නිතර කියවෙන කතාවක්. හොඳටම බීලා ඉවර වුනාම මිනිහෙකුගෙ අන්තිම කැමැත්ත තියෙන්නෙ ගෙදර යන්න. ත්‍රීවීල් එකකටවත් පාර කියන්න බැරි තරං කන පාත්වෙන්න බිවුවම පොරට සිහිවෙන්නෙ මිතුරු පිහිට තමයි. අන්න ඒ වෙලාවට සිදුකරන මේ ප්‍රකාශයත් මේ සටහනට අත්‍යවශ්‍යයි. මට ටිකක් අමාරුයි… උඹට මාව ගෙනියන්න පුළුවන්ද?
6. නව වෙනසක්

Source – foodandwine.com
දවස් දෙක තුනක් එක ළඟ දවස්වල යාළුවො ටික අඩියක් ගහන්න හීනියට සෙට් වුනාම, සෙට් එකේ ඉන්න එකෙකුට ඇතිවෙනව චාරිකා සන්නිය කියල ලෙඩක්. ඕක හෙන භයානකයි. මෙහෙම මේසෙක වාඩි වෙලා බීලා වැඩක් නෑ. ගල් පොත්තක ඉඳන් බොන්න ඕන. ඇලක නාන්න ඕන. වැවු මාලු එක්ක බත් කන්න ඕන වගේ විකාර ඔලුවට ගහනව. අන්න එහෙම විකාර ඔලුවට ගහපු එකෙක් රුපියල් දෙදාහෙ අරක්කු බෝතලයක් බොන්න පහළොස්දාහක් වියදං වෙන ප්ලෑනක් ඉදිරිපත් කරනව. හැමදාම බාර්වල බීලා බෑ… ට්‍රිප් එකක් යමං.
7. අද අවුල

Source – youtube.com
මේක ඩ්‍රින්ක් ටේබල්වල බහුල කතාවක්. ඇයි ඉතිං බීලා බීලා පමණ ඉක්මෙවුවම වෙරි වෙනවනෙ. ඊට පස්සෙ සිහි නැතුව ඉඳලා, දෙහි ගාලා යාළුවො යථා තත්ත්වෙට ගන්නව. ඊටත් පස්සෙ ඇතිවෙනවා ලැජ්ජාව. මුං මං ගැන මොනව හිතුවද දන්නෙ නෑ කියල හිතෙනව. ඔන්න ඊට පස්සෙ හේතු කියන්න පටන් ගන්නව. අද වැස්ස නිසා වැඩිපුර පෙවුනා, කෑම ටිකක් කැවුනා වැඩියි, සෝඩා තිබ්බෙ නැති නිසායි අවුල, අරක්කු මික්ස්ද කොහෙද? අද මං හිත අවුලෙන් බං ඉන්නෙ.
Cover Image Source – hdwallpapers.in
Leave a Reply