කෙල්ලෙක් ඉපදුණ එක ගෙයි කිතුලේ මලක් හටගන්නවා වාගේය කියලා පැරණි කියමනක් තියෙනවා. එතකොට කෙල්ලෝ දෙන්නෙක් ඉපදුණාම කිතුල් මල් දෙකයි. ඒ මල් දෙක උපන් දා හිටන් කරන්නේ එකිනෙකාට තමන්ගේ අඬුබඬුවලින් ඇනගන්න එක. ලොකු මල පොඩි මලට කරන තාඩන පීඩන හමුවේ ඉවසන්න බැරිම තැන කිතුලට පැමිණිලි කරත් කිතුලටත් ඉස්සෙල්ලම ආපු මල තරන් මලක් නැති තරම්. මොනා වුණත් මේ මල් දෙකම පවතිනවා. ජීවිතේ මොන තරම් අවුල් වුණත් එක මලකට අනික් මල නැතුව ජීවිතයක් නැහැ. ලොකු මලෙන් පොඩි මල එහෙමත් නැත්නම් අක්කා කෙනෙක් නිසා නංගි කෙනෙක්ට ජීවිතේ පුරා කන්න වෙන කටු ගැන කතා කරමු.
1. අක්කා කියන දේ නෑසීම නිසා අම්මාගෙන් කන පුරා අසා ගැනීම

Source – lifie graphics
අම්මලාටත් ඉතින් දැනුමින් අත්දැකීමෙන් ලොකු කෙලී තමයි සන්නද්ධ වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒ උත්තමාවිය කියන විදියට පොඩි තැන හැසිරෙන්න ඕනි. අක්කා කඩේ යන්න කිව්වොත් කඩේ යන්න ඕනි, බ්‍රහ්ම මුහුර්තය එළඹෙන වෙලාවට නැගිටලා අක්කා පාඩම් කරන්න කිව්වොත් ඒක කරන්න ඕනි, කොණ්ඩේ රිබන් එකක් මෙහෙමයි බඳින්නේ කිව්වොත් ඒකත් බලාගන්න ඕනි, බැරිවෙලාවත් අත්ලාන්තික් සාගරයේ පීනලා වරෙන් කිව්වොත් ඒකත් කරන්න ඕනි. මොකද නොකෙරුවොත් අම්මගෙන් පෝරියල් එකක් සෙට් වෙන නිසා.
2. අක්කාගේ ලව් හුටපටවලට උදව් කිරීමට සිදුවීම

Source – lifie graphics
සහෝදර සමාගමක් ඉන්න එකේ අගේ දැනෙන එක වෙලාවක් තමයි මේ. හැබැයි මෙහෙම වෙලාවක එක පාර්ශ්වයක් ඉන්නවා සදා අගතියට පත් වෙන. ඒ කියන්නේ උන්ට ලව් කරන්නයි මම මහන්සි වෙන්නයි ටයිප් එකේ. ඉතින් නංගිට ගැලවීමක් නෑ අක්කගේ ලව් කතන්දරේ චරිතයක් වෙන්න අනිවාර්‍යයෙන්ම සිද්ධ වෙනවා. මොකද නංගිගේ ෆයිල් එක අක්කත් හොඳට දන්න නිසා. තෑගිභෝග සහ ලියුම් කරදහි බෙදාහරින්නෝ සහ සමාගමේ නිත්‍ය සේවාදායක විදියට අක්කගේ සෙවල පිරුණු ප්‍රේමයට දරදිය අදින්නේ නංගි.
3. තමන්ගේ ලව් එකේ උන්නතිය උදෙසා බල්ලෙකුගේ තත්ත්වයට ඇදවැටෙන්න සිදු වීම

Source – lifie graphics
ගෙදරක ලොකු එකීට කලින් පොඩ්ඩි මොකෙක් එක්ක හරි පැටලිලා කියලා දැනගත්තම ගෙවල් ඇවිලෙන්නේ ඔස්ට්‍රේලියාව පැත්තේ ලැව් ගින්නකටත් වඩා වේගෙන්. එතකොට අක්කට එච්චර රිස්ක් එකක් නෑ. ඒක අක්කා නගෝ දෙන්නම දන්නවා. නගා ලව් එකක පැටලිලා නම් අක්කගේ රේඩාර් එකට ඒක හැරුණ ගමන් අවබෝධ වෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඒ ගැන ගෙදෙට්ට කියන්න එපා කියලා වැඳවැටෙන්න සිද්ධ වෙනවා, එක එක කප්පම් දෙන්න වෙනවා, අක්කගේ නෝන්ඩිවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
4. අක්කාව උදාහරණයට ගෙන කියන කතන්දර අසා සිටීමට සිදුවීම

Source – lifie graphics
ගෙදරින් පටන් ගත්තම යාළුවො, ගුරුවරු, නෑදැයෝ කියන මේ එකී මෙකී හැමෝම නංගිට ජීවිතේ ජයගන්න උපදෙස් දෙන්නේ අක්කව උපයෝගී කරගෙන. අක්කා හෙන බ්‍රයිටා නම් විසුමක් නෑ ඉතින්. බුද්ධියට අධිපති දෙවඟන අක්කද කියලා හිතෙන තරමට වටේ පිටේ එන ගුණ කථනයන්ගෙන් හෙම්බත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් යෑ අක්කගේ මට්ටමට නැත්නම් ඊටත් එහා යන්න මහන්සි වෙන්න වෙනවා. අක්කා නාහෙට නාහපු කටුකරෝසා ගාලක් නම් ඒ වගේ වෙන්න එපා කියලත් කියන බණ කතන්දර අහන් ඉන්න වෙන්නේ නංගිට තමයි.
5. දන්නේ නැති දේවල් දැනගන්න යන විට අක්කාගේ රැස් බලන්නට සිදු වීම

Source – lifie graphics
විශේෂයෙන් ම අධ්‍යාපනය සම්බන්ධ මොකක් හරි කාරණාවකදී ආකිමිඩිස් වෙනුවට හෙළුවෙන් දිව්වේ අක්කද කියලා හිතෙන තරමට ප්‍රමේයයන් ටිකක් දානවා ඇඩ්‍රස් නැතිවෙන්න. නංගි කෙනෙක්ට ඕවා අහන්න ඉතින් වෙන කෙනෙක් ඇත්තෙත් නැහැනේ. “අයියෝ ඒකවත් දන්නැද්ද”, “කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නෑනේ”, “ඔයාට කියලා දෙන්න මට තේරෙන්නේ නෑ” වගේ මාන්දමික කතන්දර ගොඩක් බහුශ්‍රැත අක්කා කෙනෙක් ඉන්න නංගි කෙනෙක්ට අහන්න වෙනවා.
6. අක්කාගේ පරීක්ෂණ භාණ්ඩය වීම

Source – lifie graphics
කෙල්ලෝ ඉතින් රූපලාවණ්‍යයට හරි ආසයිනේ. ආස වුණාට ඉස් ඉස්සෙල්ලාම තමන්ගේ මූණට මොකක් හරි අටමගලයක් කරගන්නවාට වඩා වෙන මනුස්සයෙක් කැපකරන එක ගුණයි. මේකට අහු වෙන්නේ ගෙදර ඉන්න නංගි. හොඳට හිටපු මනුස්සයාගේ මූණේ රටේ නැති රෙද්දවල් ගාලා අන්තිමට ඒක කුඹුරක් හෑවා වගේ කරන්න අක්කලා හරි ආසයි. මේ වෙලාවට නංගිලා හූම් කියන්නැතුව ඉන්නවා ඉතින්.
7. කෙහෙවලු පටලවා ගැනීමේ දී වරදකාරිය වීම

Source – lifie graphics
අක්කා රණ්ඩුවලට එන්නේ නෑමයි. නංගි කෙනෙක්ට වඩා මොළයක් තියෙනවා. හැම එකටම රණ්ඩු වෙන්න තරම් පිස්සුවක් ඒ ළමයට නැහැ. අක්කා ඉවසනවා. නංගිට තමයි දාංගලේ. මේ වගේ කොහෙන්දෝ මන්දා මතුවුණ තියරි එක්ක හැමදාම දංගෙඩියට යන්නේ නංගි. ඒත් සටන් බිමේදී පොඩි එකා වගේ හොඳටම හැසිරෙන්නේ අක්කා. වලිය පටන් ගන්නෙත් අක්කා. අනේ ඒත් අන්තිමට හොඳ කෙනා වෙන්නෙත් එයා.
Cover Image Source – lifie graphics
[…] කටු ගැන අපි කතා කරා මතක ඇති. අමතක නම් මෙතනින් බලන්නකෝ. ඉතින් අද කතා කරන්නේ මේ ලෝකේ ලාස්සන ම […]