ලංකාවෙ අය දෙවැනි ඉනිමට මෙච්චර කැමති ඇයි..?

Why Dewani Inima Is So Popular

දෙවැනි ඉනිම කියන්නේ දැනට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය කිවුවොත් මම වැරදි නෑ. කාලෙන් කාලෙට තරඟයට තවත් ටෙලිනාට්‍යය ආවට, දෙවැනි ඉනිම ප්‍රේක්ෂක ආකර්ශනය අතින් ඉතා ඉහළ තැනක් දිනාගෙන ඉන්නවා. YouTube නැරඹුම් ගත්තත් දෙවැනි ඉනිම විශාල පිරිසක් නරඹන බව පේනවා. ඉතින් අපි අද මේ කතා කරන්න සූදානම් වෙන්නේ “දෙවැනි ඉනිමට මෙච්චර ජනප්‍රසාදයක් ලැබෙන්න හේතු” ගැනයි. ලිපිය කියවලා ඉවර වෙලා ඔබටත් අදහසක් හිතට නැගුණොත් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 

1. සමන් එදිරිමුණි + සාරංග මෙන්ඩිස්

Why Dewani Inima Is So PopularWhy Dewani Inima Is So Popular

Source – youtube.com

සමන් එදිරිමුණි කියන්නේ කාලයක් පුවත් පත් වල නවකතා පිටුව පුරවපු රචකයෙක්. ඔහු බොහෝ විට ලිවුවේ ආදරය තේමා කරගෙන. ඒ ආදර කතා අනිත් කතා වලට වඩා වෙනස් වුණා. සාම්ප්‍රදායික ආදර කතා රාමුවෙන් එහාට හිතලා යතාර්ථවාදී සමාජෙට ඇවිල්ලා ලියපු කතා ඔහුගේ “ඉලංදාරියා, අත් හැරුණු අත්, ලිහිණි පියාපත්” වගේ කොටස් වශයෙන් පලවූ නවකතා වලදී අපට හම්බවෙනවා. “දෙවැනි ඉනිම” සමන් එදිරිමුණි ලියනවා කිවුවම ඔහුගේ කතා කියවපු බොහෝ දෙනෙක් මේ කතාව වටා රොක් වුණා.

ඒ වගේම සාරංග මෙන්ඩිස්. සාරංග ගොඩක් දුරට ලංකාවේ වෙනස් විදිහට දෙයක් කරන්න හදන, වෙනස් රසයන් හඹා යන්න උත්සාහ කරන අධ්‍යක්ෂවරයෙක්. සාරංගගේ “ගිනි අවි සහ ගිනි කෙළි” ටෙලිය බලපු බොහෝ දෙනා තවමත් එයට ආදරය කරනවා. ඉතින් “දෙවැනි ඉනිම” සාරංගගේ කිවුවම සාරංගගේ අධ්‍යක්ෂණයන්ට කැමති පිරිසකුත් ඒ වටා එක් වුණා. දෙවැනි ඉනිමේ සාර්ථකත්වයටත් හේතු වුණේ මේ සුසංයෝගය කියලත් කියන්න පුලුවන්.

 

2. පාසල් කාලය මතක් කරගන්න

Why Dewani Inima Is So Popular

Source – sirilakanews.com

දෙවැනි ඉනිම ටෙලිය ඇතුළේ යන්නේ පාසල් සමයේ සිදුවන සිදුවීම් කිහිපයක්. උසස් පෙළ සමයේ කිවුවොත් වඩාත් නිවැරදියි. බාලිකා පාසල සහ බාලක පාසල ලෙස පාසල් දෙකක සිදුවන සිදුවීම් මෙහිදී අපට නරඹන්න ලැබෙනවා. ඒ සිදුවීම් බොහෝ දුරට වැඩිහිටියන්ට ඔවුන්ගේ පාසල් කාලය මතක් කරගන්න බොහෝ රුකුලක් වෙනවා. පාසලේ සිදුවන සිදුවීම් සමග සීයට සීයක් සමපාත නොවුනත්, බොහෝ විට එවැනිම පරිසරයක් මවන්න අධ්‍යක්ෂකවරයා ඇතුලු කණ්ඩායම දැඩි උත්සාහයක් අරගෙන තියෙන බව පේනවා.

 

3. නළු නිලියෝ

Why Dewani Inima Is So Popular

Source – youtube.com

ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල බොහෝ විට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය මුල් තැන දෙන්නේ රඟපෑමටත් වඩා නළු නිලියන්ගේ හැඩරුවට. කතාවේ ප්‍රධාන නලුවො දෙන්නම ගායකයෝ දෙන්නෙක් වුණත්, රඟපෑම අතින් පොඩ්ඩක් පස්සෙන් ඉන්න බවක් පෙනුනත්, ඔවුන් දෙන්නටම ආදරය කරන වෙනම ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියෙන බව පේනවා මුහුණු පොතට යද්දී. ඒ වගේම තරුණ පරපුරේ නිලියන් කිහිප දෙනෙක්ම මේ ටෙලි කතාව රසවත් කරන්න යොදාගෙන තියෙනවා. එක නිලියකගේ රඟපෑම් ප්‍රේක්ෂකාගාරයට ඒකාකාරී වෙන කොට අලුත් නිලියක් ගෙනැත් ඒ කම්මැලි බවට උත්තරයක් දෙන්නත් අධ්‍යක්ෂකවරයා පැකිලෙන්නෙ නෑ.

 

4. විහිලු තහලු

Why Dewani Inima Is So Popular

Source – youtube.com

හාස්‍යය කියන්නේ ටෙලිනාට්‍යයක් ඒකාකාරී රටාවෙන් මුදවලා, ප්‍රේක්ෂකයා කතාවත් එක්ක රඳවා තබන හොඳ ඖෂධයක්. දෙවැනි ඉනිම කියන්නේ ආදර කතාවක් උනත්, සංවේදී සිදුවීම් දෙකක් තුනක් අතරට හාස්‍යය මතු කරන ජවනිකාවක් දාලා එහි ඒකාකාරී බව නැති කරන්න අධ්‍යක්ෂකවරයා පියවර ගන්නවා. චබී, මයික්, රණේ, ලයනල් වැනි චරිත, කතාවට ගේන ඒ හාස්‍යමය රසය නිසා ප්‍රේක්ෂකාගාරය කතාවෙන් නොමිදී තියාගන්න හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම දෙවැනි ඉනිමේ සමහර ප්‍රේක්ෂකයෝ මට හමුවෙනවා. ඔවුන් බලන්නේ හාස්‍යමය කොටස් ටික විතරයි. ඒකෙන් පේනවා මේ ටෙලියේ හාස්‍යමය ජවනිකා වල තියෙන ඇඳ බැඳ ගැනීමේ හැකියාව.

 

5. කතාවේ සංකීර්ණ බවක් නැතිකම

Why Dewani Inima Is So Popular

Source – youtube.com

සංකීර්ණ නෑ කියන්නේ මොකක්ද..? සමහර ටෙලිනාට්‍යය තියෙනවා ඒවායේ කතාවෙ එක සිද්ධියක් ගැන හිතන්න පැති කිහිපයක් තියෙනව. උදාහරණයක් විදිහට “කූඹියෝ” කතාව කලින් කියන්න අමාරුයි. ඒ වගේම දැන් අපි බලන කොටසේ තේරුම මොකක්ද කියලත් එක පාරට හිතාගන්න අමාරුයි. ඒ වගේම කතාවේ එක කොටසක් මිස් උනොත් ඊළඟ කොටස බලද්දී “තේරෙන්නෙ නෑ” වගේ. අන්න එහෙම සංකීර්ණ බවක් දෙවැනි ඉනිමේ නෑ. අද බලලා තව දවස් කිහිපයකින් බැලුවත් කතාව තේරුම් ගන්න මහ ලොකු අපහසුතාවයක් නෑ. ඒ නිසා අර සංකීර්ණ බවට ආස නැති, ටෙලිනාට්‍යය ගැන හිත හිතා දවස ගත කරන්න වෙලාවක් නැති මිනිස්සුන්ට දෙවැනි ඉනිම සෙට් වෙනවා. ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ඒ ටෙලිනාට්‍යය වර්ගයේ ස්වභාවය.

 

6. ඉන්දියානු කතා වලට හොඳ ආදේශකයක් වීම

Why Dewani Inima Is So Popular

Source – varunamultimedia.com

රෑ 7 ප්‍රවෘත්ති ඉවර වෙලා, විනාඩි තිහේ කාලයන් අරගෙන ගුවන් ගත වුණු ටෙලිනාට්‍ය පහෙන් ගොඩක් ටෙලිනාට්‍ය ඉන්දියානු ටෙලිනාට්‍ය වුණ යුගයක් ලංකාවේ තිබුණා. ලංකාවේ ගොඩක් අධ්‍යක්ෂකවරු ඒ වෙලාවට කලේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට බැනපු එක විතරයි. ඉන්දියානු ටෙලි නාට්‍ය වලට හරියන ලංකාවේ අපේ ආදේශකයක් දෙන්න කිසිම අධ්‍යක්ෂකවරයෙක් ඉදිරිපත් වුණේ නෑ. ඒ වගේ කාලයක තමයි ශාන්ත සොයිසා සහ මහේශ් රත්සර මද්දුමආරච්චි එකතුවෙන් මෙගා කතා කිහිපයක් ගේන්නේ. “පබා, අමා, පබලු” ඒවට උදාහරණ විදිහට කියන්න පුලුවන්. ඊට පස්සේ “බට්ටී, ඉතින් ඊට පස්සේ” වගේ චිත්‍ර කතා පදනම් කරගෙන නිර්මාණය වුණු ටෙලි නාට්‍ය රැල්ලක් ආවා මතක ඇති ඔබට. ඒ රැළි හැම එකක්ම නිමාවෙලා ලංකාවේ නාලිකා වල ටෙලිනාට්‍ය වෙලාවන් නැවතත් ඉන්දියානු කරණය වුණා. අන්න ඒ වෙලාවේ තමයි “දෙවැනි ඉනිම”, “සිඳූ”, “කූඹියෝ” වගේ දේශීය නිර්මාණ ප්‍රේක්ෂක ආකර්ශනය නැවත දිනාගන්න සමත් වෙන්නේ. එයිනුත් ආදර කතාවක් වෙන “දෙවැනි ඉනිම” සුවිශේෂී ලෙස ඉන්දියානු කතාවලට ආදේශකයක් වුණා. ඉන්දියානු කතා රහට වහ වැටිලා හිටපු මිනිස්සු දෙවැනි ඉනිම කතාව ආදරයෙන් භාර ගත්තේ අන්න ඒ හන්දයි.

 

7. දෙවනි ඉනිම ගැන ඇති මතභේදාත්මක කාරණා

 

අපේ අය කැමතියි ගොඩක් මතභේදාත්මක, කුතුහලය දනවන කාරණා කතා කරන්න සහ බලන්න. දෙවැනි ඉනිම කතාවේ ප්‍රධාන චරිතයක් වුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවී ප්‍රනාන්දු මහත්තය පහුගිය සතියක හදිසියේම මියගියා (ටෙලිනාට්‍යය ඇතුළේ). ඔය කතාවට ගොඩක් දෙනා කිවුවේ බිමල් ජයකොඩියි දෙවනි ඉනිම කණ්ඩායමයි අතරේ පොඩි අවුලක් ගිහිල්ලා, බිමල් කතාවෙන් අයින් වුණ හන්දා රවීව මැරුවා කියලයි. ඒත් සාරංග මෙන්ඩිස් කිවුවේ රවීගේ චරිතය එතැනින් නවත්තන්න මුල ඉඳන්ම සැලසුමක් තිබ්බා කියලයි. ඒ විතරක් නෙමෙයි ආනන්දගේ චරිතය රඟපාන ධර්මප්‍රිය ඩයසුත් කතාවෙන් ඉවත් වෙන්න යනවා කියලා රාවයක් ගියා. ඒ වගේම දෙවනි ඉනිම තරමක් ඒකාකාරී නාට්‍යයක් හන්දා දෙවනි ඉනිම විවේචනය කරන පිරිසක් හැදිලා ඉන්නවා. විශේෂයෙන්ම දෙවනි ඉනිමේ තියෙන්නේ එකම ලොකේෂන් ටික, ඇහැට අමාරු පාටවල් ටිකක්, කතාවෙ තාත්වික බව වගේ කාරණා ගැන දරුණු විවේචන එනවා. ඒ වගේම අමතක කරන්න එපා කූඹියෝ ටෙලිය විකාශනය වෙන කාලයේ දෙවනි ඉනිම ෆෑන්ස්ලයි කූඹි ෆෑන්ස්ලයි හිටියේ නයි මුගටි වගේ. ඔන්න ඔය වගේ විවේචන සහ මතභේදාත්මක කාරණා හන්දා දෙවනි ඉනිම කතාව වටා තවත් පිරිසක් එකතු වෙලා තියෙන බව පේනවා.

කොයිතරම් විවේචන තිබුණත් දෙවැනි ඉනිම කියන්නේ ලාංකීය ප්‍රේක්ෂකාගාරය නැවතත් රූපවාහිනිය ඉස්සරහට ගේන්න සමත් වුණු ටෙලිනාට්‍යයක් බව කිව යුතුමයි. ඒ හන්දා කර්මාන්තයක් විදිහට ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ උන්නතියට තවත් මෙවැනි දේශීය නිර්මාණ බිහිවිය යුතු නැද්ද..? තීරණය ප්‍රේක්ෂක ඔබට භාරයි.

 
Cover Image Source – lkmodelzone.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *